අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්තමාභිවන්දනා ජාතික මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මාර්තු 01 වන දා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී

    පෙබරවාරි 28, 2017

    1818 ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් විසින් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 මාර්තු 01 වනදා ප.ව.4.00ට මහනුවරදී පැවැත්වේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල්මඩුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම උත්සවයේදී විරුවන් 82 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ නිල ගැසට් පත්‍රය අතිගරු ජනාධිපතිතුමන් විසින් අත්සන් කිරීමට නියමිතය.

     

    අතිගරු ජනාධිපතිතුමා‍ගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කරන ලද මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය අනුර මනතුංග, ආචාර්ය කේ.ඩී. විමලරත්න හා ආචාර්ය ප්‍රදීප් වීරසිංහ යන විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම විරු නාමලේඛනය නිර්දේශ කර ඇත.

     

    දේශයේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් අරගල කිරීම හේතුවෙන් අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ විරුවන් එම ‍අවමන් සහගත නාමකරණයෙන් මුදවාලීම ජාතික වගකීමක්ව පැවතියද, වසර දෙසීයකට ආසන්න කාලයක් පුරා එම වගකීම ඉටු කිරීම අතපසුවී තිබිණි. ඒ අනුව, මෙම වසරේ මා‍ර්තු 02වන දිනට උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් වර්ෂ 202 ක් සම්පූර්ණ වීම නිමිති කරගනිමින් එම විරුවනට නිසි ගෞරවය පුද කිරීම මෙම ජාතික මහෝත්සව‍යේ අරමුණ වේ.

     

    මල්වතු, අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනාව හා මගපෙන්වීම සහිතව සංවිධානය කෙරෙන මෙම ජාතික උත්සවයේදී ශ්‍රී දළදා මාළිගාවේ සාම්ප්‍රදායානුකූල චාරිත්‍ර විධි ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා‍ විසින් ඓතිහාසික මඟුල් මඩුවේදී ගැසට් පත්‍රය අත්සන් කිරීමේ සුවිශේෂී අවස්ථාව සම්භාවනීය අයුරින් සිදුකිරීමට නියමිතය.

    මීට සමගාමීව, දේශීය නිදහස් අරගල පසුබිම් කරගත් නිර්මාණාත්මක ප්‍රාසාංගික ඉදිරිපත්කිරීම් වලින් සමන්විත උත්සවයක් දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, මෙහිදී විෂයානුබද්ධ ආරාධිත දේශනය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා විසින් සිදු කරනු ලැබේ.

    මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය මෙන්ම මැති ඇමතිවරුන්, ආරක්ෂක ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත මෙම ඓතිහාසික අවස්ථාව එදින ප.ව.4.00 සිට රූපවාහිනී නාලිකා මගින් සජීව ලෙස මහජනතාවට නැරඹීමට අවකාශ සලසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya