අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වන ජීවී දිනය සමරමින්

    මාර්තු 07, 2016
    මාර්තු 03 වනදාට ලෝක වන ජීවී දිනය යෙදී තිබිණි. ”වනජීවී අපරාධයන්ට ඒරෙහිවීම යුතුකමකි. ඒසඳහා ඔබට අයිතියක් ඇත” යන තේමාව යටතේ  මුළු ලෝකයම වන ජීවී දිනය සමරද්දී උඩවලව ජාතික උද්‍යානයේ දී ලෝක වන ජීවී දිනය අපද සමරනු ලැබීය.
    සිඝ්‍රයෙන් වඳවී යන වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් සංරක්ෂණය කිරීම සඳහා වන සතුන් 05 දෙනෙකු හදුන්වාදෙන්නේ එහි එක් පියවරක් වශයෙන් බවත් තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී පැවසීය.
     
    ඒ අනුව උනහපුලුවා, කළු වඳුරා, කැබැල්ලෑවා, අශෝක පෙතියා, ගේ කුරුල්ලා යන සතුන් සංරක්ෂණය කළ යුතු සතුන් බවට හදුන්වාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගැනීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවත් සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය,සත්ව මිනිස් සංහිදියාව ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. නමුත් සත්ව මිනිස් ගැටුම් ඉතිහාසයේ පුරා සිදුවෙනවා. සත්ව මිනිස් ගැටුම් නොව වර්තමානයේදී මිනිසුන් අතරද දරුණු ගැටුම් ලෝකය පුරා දක්නට ලැබෙනවා. ඒක නිසා සංහිදියාව ඇතිකරගන්න ඒක අද විශාල අභියෝගයක්.12
     
    අලි මිනිස් ගැටුම් හේතුවෙන් ජීවිත විශාල ප‍්‍රමාණයක් විනශ වෙනවා. ඒ වාගේම දේපළ, වගාවන් විනාශ වෙනවා. ඒවගේම අලියා සත්වයෙකු ලෙස රැක ගත යුතුයි. එම නිසා මිනිසාත් ඒවාගේම අලියාත් රැකගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීම සඳහා සත්ව මිනිස් සංහිඳියාව යනුවෙන් නව වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා තිරණය කළා. මේ අවස්ථාවේදී ඇමතිතුමා විදේශගතව සිටින නිසා ඇමතිතුමා වෙනුවෙනුත් ලෝක වනජීවී දින සැමරුමට මං සුභපැතුම් එක්කරනවා.
     
    පසුගියදා ඇත්දළ විශාල තොගයක් ගාලූ මුවදොර දී විනාශ කිරීමට කටයුතු කළේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අනුව. කෙන්යාවේ ඇතුන්ගේ දළ මෙසේ විනාශ කළේ අප‍්‍රිකානු රටවල මහා පරිමාණයෙන් සිදුකෙරගෙන යනු ලබන ඇත්දළ මාෆියාවට එරෙහිව දැඩි විරෝධය පළකරන්නයි. ඒ ඇත්දළ මාෆියාව මහා ඛේදවාචකයක්. ශ‍්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් යම් යම් ආකාරයෙන් සිදුවෙනවා. අප‍්‍රිකානු රටවල වගේ අලි ඇතුන් අමානුෂික ලෙස ඝාතනය කිරීමට අපේ රටේ ජනතාව ක‍්‍රියාකරන්නේ නැහැ. අපේ ජනතාව සත්වයින්ට ආදරය කරන බවට ඉතිහාසයේ සිටම ලෝකයට හොඳ පණිවිඩයක් ලබාදී තිබෙනවා.
     
    විශේෂයෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් 05 දෙනෙකු සංරක්ෂණය කිරීම සඳහා අද දින හදුන්වා දීම ඉතාම වැදගත්.
     
    උණහපුලූවා, කළු වඳුරා, කැබැල්ලෑවා, අශෝක පෙතියා, ගේ කුරුල්ලා යන සත්වයින් මෙසේ සංරක්ෂණය කළ යුතු සත්වයින් ලෙස හදුන්වා දිම  මුළු රටම දැනගතයුතුයි. පරිසර සංවිධානවල, පරිසරවේදින්ගේ, පාසල් දරුවන්, ගුරුවරු, මාධ්‍යවේදීන් ඇතුළු සියළුම දෙනාගේ අවධානය මීට යොමුවිය යුතුයි. 
     
    වනජීවීන්ගේ පැවැත්ම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෙලෙස මාර්තු 03 ලෝක වනජීවී දිනය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. මෙවර වනජීවී දිනයේ ලෝක තේමාව වනජීවීන්ගේ අනාගතය අපේ අතේය The future of wildlife lies in our hands යන්නයි.
     
    වන ජීවින්ගේත් මිනිසාගේත් පැවැත්ම උදෙසා ලැබෙන පාරිසරික, ජානමය, සාමාජීය, ආර්ථික, විද්‍යාත්මක, අධ්‍යාපනික, සංස්කෘතික, සෞන්දර්යාත්මක, සහ විනෝදාත්මක දායකත්වය මෙන්ම මිනිසාගේ පැවැත්ම උදෙසා ධරණිය ලෙස වන ජීවී සම්පත භාවිතා කිරීමේදී මිනිසාට ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමුකිරීම ලෝක වනජීවී දිනය සැමරීමේ ප‍්‍රධාන අරමුණක්.
     
    ලෝකයේ වනජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ලෝකයේ දෛනිකව සිදුවන වනජීවී අපරාධ මැඩලීම අත්‍යවශ්‍ය වේ. මිනිසාගේ ප‍්‍රයෝජනය සඳහා දිනකට ලක්ෂ ගණනින්  වනජීවීන් ජීවිතක්ෂයට පත්වේ. මිනිසාගේ ආහාර, නිවාස, ශරීර සෞඛ්‍යය, ඖෂධ, පාරිසරික, සංචාරක, රූපලාවන්‍ය සහ මෝස්තර, ක‍්‍රිඩා සහ විනෝදාංශ, විසිතුරු නිර්මාණ සහ පර්යේෂණ සඳහා වනජීවීන් විශාල වශයෙන් ජීවිතක්ෂයට පත්වීම වැලැක්විය නොහැකි තත්වයකට පත්ව තිබෙනවා.
     
    මෙලෙස මිනිසා විසින් ප‍්‍රමාණය ඉක්මවා සිදුකරණු ලබන අධි භාවිතය හේතුවෙන් වනජීවින් ලෝකයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත. අනාගතය සඳහා වනජීවී සම්පත ඉතිරි කිරීම වර්තමාන පරම්පරාවේ භාරදුර වගකීමක් වන අතර එසේ නොවන්නේනම් සතා සිපාවන්ගෙන්ද ගහ කොළෙන්ද මිහිතලයට ලබාදෙන සමතුලිතභාවය තුරන්වී ගොස් මිනිසාට මිහිපිට ජීවත්වීමේ හැකියාව තුරන්ව යනු ඇත.
     
    ශ‍්‍රී ලංකාව භූ ගෝලිය වශයෙන් ඉතා කුඩා දූපතක් වුවද ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකි. එබැවින් ශි‍්‍ර ලංකාව ජෛව විවිධත්වය අතින් ලෝකයේ උණුසුම් ස්ථානයක් ලෙස හැදින්වේ. ශි‍්‍ර ලංකාවේ සිදුවන සංවර්ධන ක‍්‍රියාවලිය සහ වනජීවින්ගේ අක‍්‍රමවත් භාවිතය හමුවේ බොහෝ වන ජීවීන් තර්ජනයට ලක්ව තිබේ. ශී‍්‍ර ලංකාවේ ජෛව විවිධත්ව කළාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් වැදගත්වන අතර ශ‍්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 10,000 තුළ වන ජීවී උභය ජීවීන් උරගයින්  සහ ක්ෂිරපායි විශේෂ මෙන්ම සපුෂ්ප ශාක  ප‍්‍රමාණය ඉතා ඉහල මට්ටමක පවතී. එබැවින් ආසියානු කලාපය තුළ ජීවී විශේෂ ඝනත්වය වැඩිරටක් ලෙස ශ‍්‍රී ලංකාව පිළිගැනීමට ලක්ව තිබේ.
     
    ශ‍්‍රී ලංකාව වනජීවී සංරක්ෂණය පිළිබදව අතීතයේ සිටම අවධානය යොමුකළ රටක් ලෙස ඉතිහාස ගතව ඇත. මහින්දාගමනයත් සමග මෙරට ආරම්භ වූ ලෝකයේ ප‍්‍රථම අභයභූමිය ලෙස පිළිගැනෙන මිහින්තලා අභයභුමියත් ඉන් පසුව විවිධ රජවරු  යටතේ මෙරට ජෛව විවිධත්ව සංරක්ෂණයට පැනවූ අණපනත් පිළිබඳවත් පුරාවිද්‍යාත්මක සාධක හමුවී තිබේ.
     
    වර්තමානයේදී ජනගහන වර්ධනයත් සමග භූමිය  වනසතුන් සමග බෙදා හදා ගැනීමේ ගැටළුවත් වනජීවී  සම්පත් අධි පරිභෝජනයත් හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ අභියෝගයකට ලක්ව තිබේ. කෙසේ වුවද ලෝකයේ අනෙකුත් රටවල් සමග සංසන්දනාත්මකව බලන කළ ශ‍්‍රී ලංකාව තවමත් වනජීවී සංරක්ෂණයෙහි ඉහල ස්ථානයක පසුවේ. මේ තත්වය අනාගතයට දායාද කිරීමේ අරමුණු ඇතිව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය සංරක්ෂණ ක‍්‍රියාමාර්ග රාශියක් ක‍්‍රියාවට නැංවීමට කටයුතු සැලසුම් කර තිබේ.
     13
    සාගරයේ සිටින  ජීවීන් ආරක්ෂා කිරීමටද වර්තමානයේ දී විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නංවලා. තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් වාගේම හික්කඩුව ඇතුළු ප‍්‍රදේශවල තිබෙන ස්වාභාවික කොරල්පර සංරක්ෂණය කිරීමටද පියවර ගෙන තිබෙනවා.
     
    පරිසරය රැකගෙන පරිසරයට හිතකර ආකාරයෙන් සංවර්ධන කටයුතුද මෙහෙයවීම අද ලෝකයේ තිබෙන බරපතලම අභියෝගාත්මක ගැටළුවකි. පසුගිය අවුරුදු 30, 40 තුළ විවිධ ආකාරයෙන් පරිසරය‍ දුෂණය වීම නිසා සිදුවූ පළවිපාක මේවන විට මුළු ලෝකයේම ජනතාවට ක‍්‍රම ක‍්‍රමයෙන් අතිවීදීමට සිදුවී ති‍බේ. සෑම රටකම විවිධ දේශගුණික විපර්යාසයන් ඇතිවී අඩු වැඩි වශයෙන් හදිසි ආපදා, ස්වභාවික විපත් සිදුවී ජනතාව අසරණ වී සිටින්නේද තිරසර සංවර්ධනයක් සැලසුම් සහගතව ක‍්‍රියාත්මක නොවූ නිසාය. එම නිසා තිරසර සංවර්ධනය යන විෂය ප‍්‍රථම වරට අමාත්‍යංශයක් යටතට පත්කොට තිබීම ඉතාමත්ම වැදගත්.
     
    මීට අමතරව අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී භාරය යන ආයතන මගින් පරිසරය ඇතුළු වනජීවීන් රැකගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කරනු ලබන මෙහෙය වචනයෙන් විස්තර කළ නොහැක. එම ආයතන වලට අයත් රට පුරා විසිරී සිටින සියළුම නිලධාරීන් ඇතුළු සේවකයින් තම ජීවිත පරදුවට තබා දිවා රැ නොබලා කරනු ලබන මෙහෙය මේ අවස්ථාවේ දී සිහිපත්කරනු ලබන්නේ කෘතඥ පූර්වකය.
     
    ශ‍්‍රී ලංකාවේ රක්ෂිත වනජීවී ජාලය ස්ථාපිත කිරීම, වඳවීමේ තර්ජනයට ලක්ව සිටින සියලූ වනජීවීන් සංරක්ෂණය කිරීම, දේශිය ශාඛ හා මල් වර්ග ගවේශණ කටයයුතු සිදු කිරීම, මානව සම්පතට හා අලි සම්පතට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් අලි මිනිස් ගැටුම් අවම කර ගැනීම ඇතුළු කරුණු රැසක් අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මේ වන විට සාර්ථකව ක‍්‍රියාත්මක වෙමින් පවතී.
     
    වනජීවී, වන රක්ෂණ, උද්භිද උද්‍යාන ඇතුළු සියලූ ස්වාභාවික සම්පත් අපගේ උරුමය වේ. මේ සියල්ල රැකගැනීම අප සියලූම දෙනාගේ වගකීමය. මේ සියල්ල නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් වැඩිපුර ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන් රැසක් ද මේ වන විට ක‍්‍රියාවට නංවා ඇති අතර, එමගින් රටේ ආර්ථිකයටද හිමිවන්නේ ඉහළ ආදායමකි.
     
    මිනිසාගේ පැවැත්ම සඳහා වනජීවීන් මෙන්ම වනසම්පත ද අනිවාර්යයෙන්ම රැකගතයුතුය. එය අභියෝගයකි. නමුත් එම එභියෝගය ජය ගැනීම අපහසු නැත. ඒ සඳහා අප සියලූ දෙනා සහයෝගය ලබාදිය යුත්තේ මතු පරපුර වෙනුවෙන් එම ස්වාභාවික සම්පත් අනිවාර්යයෙන්ම සුරක්ෂිත කිරීම අපගේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වන නිසාය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya