අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා නියෝජනය වැඩිකර එය නීති ගත කිරීමට සුදුසුම කාලය එළඹ ඇත

    ජූලි 27, 2015

    ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට  මැති සබයට පැමිණි කාන්තාව වන්නේ ඇඩ්ලින් මොළමුරේ කුමාරිහාමිය. ඒ 1931.11.14  දින රුවන්වැල්ල ආසනය සඳහා පැවති අතුරු මැතිවරණය ජය ගනිමිනි . ඒ වැඩි ජන්ද 9,398 කින් එම අසුන ජය ගෙන ලංකාවේ ප්‍රථම මන්ත්‍රීවරිය වීමේ වාසනාව උදාකර ගෙනය.1932.05.28 දින උතුරු කොළඹ ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් වැඩි ජන්ද 8,701 ක් ලබා ගෙන තේසම් සරවන මුත්තු මහත්මිය දෙවන මන්ත්‍රීවරිය බවට පත් විය.

     

    add1956 මැතිවරණයේ දී කාන්තාවන් පස් දෙනෙකු ඉදිරිපත්ව ඉන් හතර දෙනෙකුට ජය ගත හැකි විය.එහි දී මීරිගම ආසනයට තරඟ කර ජයගත් විමලා විජයවර්ධන මහත්මිය ශ්‍රී ලාංකීය ප්‍රථම ඇමතිවරිය බවට පත්විය.එහි දී ඇයට සෞඛ්‍ය ඇමති ධුරය හිමි විය. 1956 සැත්තැම්බර් 25 වන දින එස්.ඩබ්ලිව්.ආර්.ඩී.  බණ්ඩාරනායක මහතාගේ මරණින් පසු සිරිමාවෝ බණ්බාරනායක මැතිණිය පත්කළ මන්ත්‍රීවරියක් වීමේ භාග්‍ය උදාකරගෙන ශ්‍රී ලංකාවේ අගමැතිනිය බවට පත් විය.

     

    ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක ඉතිහාසයේද ප්‍රථම අගමැතිවරිය වීමේ අවස්ථාව ඇයට මෙහි දී හිමිවිය.1970 මැතිවරණයෙන් නැවත වරක් අගමැති වූ ඇය 1989 විපක්ෂ නායිකාව බවට පත් විය. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවති පළමු මැතිවරණය 1989 දී පැවති අතර එයින් මන්ත්‍රීවරියන් 10 දෙනෙකු තේරී පත් විය.1994 අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් ලංකාවේ දෙවන අගමැතිවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පත්වූවාය.මෙහි වැදගත් සිද්ධියක් වූයේ අගමැතිවරුන් දෙපලකගේ දියණියක් අගමැති බවට පත්වීමය.එම වසරේ දීම පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රථම ජනපතිවරිය බවට පත් වූ ඇය ප්‍රථම විධායක ජනාධිපතිවරියද වේ.

     

    2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී සුවිශේෂ සිද්ධියක් විය.ඒ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ මුස්ලිම් නියෝජිතවරියක් ලෙස ෆේරියල් අෂ්රොප් මහත්මිය පත් වීමත් එම කාලයේදීම ජාතික ලැයිස්තුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඒ.ඩී.අන්ජාන් උම්මා මහත්මිය මන්ත්‍රීවරියක ලෙස පත් වීමයි. 2004 පැවති පාර්ලිමේන්තු මැතිවරණය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරියන් තිදෙනෙකු නම් කරන අතර එයින් පවතින්නේ මේරි ලුසීඩා මහත්මිය පමණි.ඇය ද ඉතා කෙටි කලකින් තම ස්වාමි පුරුෂයාට මන්ත්‍රී ධුරය ලබා දීම සඳහා ඉල්ලා අස්විය.

     

    ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන ඉතිහාසයේ මෙවැනි පසු බිමක් තුළ වසර කිහිපයක සිට පාර්ලිමේන්තුවේ හා අනෙකුත් දේශපාලන ආයතන තුල කාන්තා නියෝජනය වැඩි කළයුතු බවට කථිකාවක් ඇති විය.ඒ සඳහා විවිධ යෝජනා සැලසුම් කාන්තා සංවිධාන, කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ,විවිධ දේශපාලන පක්ෂ හා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් හා මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබීය. මෙවන් පසුබිමක් තුල 2015 ජුනි 26 දින මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීය.ඒ අනුව 2015 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා සැත්තැම්බර් 01 දින වන විට නව පාර්ලිමේන්තුවක් පත් කිරීමට දින නියම කර ඇත.

     

    එම ඉදිරි මැතිවරණය සඳහා දැනුවත් වීමත් ඒ තුලින් උගත් බුද්ධිමත් කාන්තා පිරිසක් නව පාර්ලිමේන්තුව වෙත තෝරා යැවීමේ වගකීම ජනතාව වෙත පැවරේ.

     

    පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතු බව ශ්‍රී ලංකාවේ තරුණ දේශපාලන නායකයින්ගේ කණ්ඩායමද පවසති.2014 මාර්තු මස වල මුල් දිනවල දී එසේ පැවසූ ඔවුන් YPLFSL කණ්ඩායම ලෙස හඳුන්වයි.මේ පිරිස විවිධ දේශපාලන පක්ෂ ජාතීන් හා ප්‍රදේශ නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායමකි. ඔවුන් පෙන්වා දෙන්නේ තරුණ කාන්තාවන් වැඩි වශයෙන් මෙරට පාර්ලිමේන්තු සාමාජිකාවන් බවට පත් විය යුතු බවයි. මේ සඳහා කටයුතු කිරීමේ දී ගැටළු කිහිපයක් ඇති වන බව ඔවුන් විසින් පෙන්වා දෙති.ඒ පවතින දේශපාලන සංස්කෘතිය තුල පුරුෂ පක්ෂයට වැඩි ඉඩක් වෙන් වීම, කාන්තාවන්ට අවාසිදායක වන ප්‍රතිපත්ති පැවතීම, දේශපාලනයට පැමිණෙන කාන්තාවන්ට ලැබෙන මූල්‍ය පිටු බලය අවම වීම සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට පැමිණීම සඳහා ඇති ඉඩ කඩ සීමා වීම යන කරුණුය. මෙම බාධක ඉවත් කිරීම සඳහා ස්ථාවර නියෝජනයක් මඟින් කාන්තාවන් සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවට මෙම තරුණ මන්ත්‍රීවරු යෝජනා කරති.

     

    මෙම කෝටා ක්‍රමයක් මඟින් පාර්ලිමේන්තුව පලාත් සභාව, පලාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය වැඩි කල යුතු බව තවත් බොහෝ දේශපාලන පක්ෂ ,සංවිධාන,සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ද පෙන්වා දෙන කරුණකි. එයට හේතුව පවතින මැතිවරණ ක්‍රමය තුල කාන්තාවන්ට මුහුණ දීමේ අපහසුතාවයක් පවතී. මේ ක්‍රමය තුල මැතිවරණයක් ජය ගැනීමට උගත්කම, බුද්ධිමත්කම හා වයස බල නොපායි.ඒ සඳහා පෝස්ටර් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ,උගුර ලේ රස වන තෙක් ප්‍රතිවාදීන්ට කරනු ලබන මඩ ගැසීම,චරිත ඝාතනය, ප්‍රචණ්ඩත්වය කළ හැකිකෙනා ජය ගනී.  

     

    ඒ සඳහා කාන්තාවන්ට මුහුණ දීමට නොහැකිය.මෙවැනි දේට ඇය අකමැතිය.මේ නිසා ඇය පසකට යයි. ඒ නිසයි කාන්තාවන් කෝටා ක්‍රමයක් ඉල්ලා සිටින්නේ.මේ ක්‍රමය වෙනත් රටවල පවතී.ඇතැම් අවස්ථා වලදී උගත් කාන්තාවන් මැතිවරණයට ඉදිරිපත්ව ඉහත කරුණු වලට මුහුණ දිය නොහැකි නිසා පරාජයට පත්ව ඇත. කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කර තබන එක් කරුණකි දේශපාලන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්. සාමකාමී දේශපාලන කටයුත්තක් සිදුවෙනවා ට වඩා ප්‍රචණ්ඩකාරී දේශපාලනයක් සිදුවන විට මිණීමැරුම්, දේශපාලන පලිගැනීම්, දේපළ විනාශය, රැකියා තර්ජන, චරිත ඝාතන සිදු වේ.එම ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරමින් ඒවාට මුහුණ දී මේ හැකියාව පුරුෂයාට ඇතත් කාන්තාවන්ට එය දරා ගැනීමට නොහැකි වේ.මේ නිසා ආසන සංවිධායකවරුද  නාමයෝජනා දීමට අකමැති වීමත් සමඟ ඔවුන් පසෙකට විසිවේ. මේ නිසා කෝටාවක් ලබා දීමට පක්ෂ නායකයින් මැදිහත් විය යුතුය.එසේ කලහොත් කාන්තා නියෝජනය මඟින් රටට සුවිශාල සේවාවක් ලබා ගත හැකි වනු ඇත.

     

    කාන්තාවන් සඳහා දේශපාලන ක්ෂේයේදී තැනක් ලැබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනීය වීමත් itytiසමඟය.එහි දී ඇය තැබූ වාර්ථාවත් සමඟ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි,පාකිස්ථානයේ බෙනාසීර් භූතෝ ,එංගලන්තයේ මාග්‍රට් තැචර් ,ඉන්දුනීසියාවේ සුචර්ණෝ පුත්‍රි,බංගලාදේශයේ බලීඩාෂියා හා ෂිල් හසීනා යන කාන්තාවන් ඒ ඒ රටවල රාජ්‍ය නායිකාවන් බවට පත්විය.ලෝක මට්ටමේ දී අපේ කාන්තාව උගත් නායකත්ව හැකියාව ඇති පිරිසක් ලෙස සැලකුම් ලබන බව පෙනේ.

     

    2010 දෙසැම්බර් 26 ඉරිදා ජාතික පුවත් පතක් සඳහා ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලනය පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමලා ලියනගේ මහත්මිය දැක් වූ අදහස් වැදගත් වේ.


    "ජනගහනය සමාන වීම නොසලකා ඕනෑම ප්‍රජාතාන්ත්‍රික රටක මූලික මානව අයිතිය තහවුරු කරනවා.ලෝකයේ බොහෝ රටවල් කාන්තා අයිතිය ආරක්ෂා කර තිබෙනවා.එක්සත් ජාතීන්ගේ සංවිධානය 1979 දී සම්මත කර1981 සිට ක්‍රියාත්මක කල කාන්තාවන්ට එරෙහි සියළුම එදිරිවාසිකම් ගිවිසුමට ලංකාව අත්සන් කලා.1993 දී කාන්තා ප්‍රඥප්තිය ඇතුලත් කලා. 2005 දී කාන්තාවන් වෙනුවෙන් විශේෂ පනතක් සම්මත කලා.ඒත් මේ කිසිවක් ප්‍රායෝගික නැහැ.මේවා නොසලකා හැරියාම නිකම්ම අවලංගු වෙනවා.ලෝකයේ බොහෝ රටවල් කාන්තා අයිතිය තහවුරු කරලා. මිලිටරි පාලනයක් තිබෙන පකිස්ථාන‍යෙත් පලාත් පාලන ආයතන නියෝජනයට කාන්තා දායකත්වය තිබෙනවා.ඉන්දියාවේ දියුණුවේ රහස කාන්තාවයි.ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කලා.ඉන්දියාවේ පංචායතී පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය 33% බවට පත් කළා.ඉන්දියාවේ මිලියන 1.3 ක කාන්තා නියෝජනයක් ප්‍රදේශයේ අභිවෘද්ධියට රටේ දියුණුවට තීරණ ගන්නා පලාත් පාලන ආයතන තුළ තියෙනවා. ඉන්දියාවේ පලාත් පාලනයේ දී කාන්තා නියෝජනය ඉහල යාම නිසා තම ප්‍රදේශයට ලැබෙන ප්‍රතිපාදන සමාජයට , පරිසරයට හා දරුවන්ට හිතකාමී ලෙස මිනිස් ජීවිතයේ ව්‍යුහාත්මක වර්ධනනීය වෙනසක් කරන්න යොදවලා තියෙනවා."

     

    "අපේ ප්‍රජා සංගම්වල නායකත්වය දරන්නේ කාන්තාවයි.  ග්‍රාමීය ජනතාව තුල කාන්තා නියෝජනය ඉතා ඉහලයි.1984 සිට කරන ලද සමීක්ෂණයකට අනුව ප්‍රජා සංගම්වල කාන්තා නියෝජනය 98% කි.සමාජ සංස්කෘතික දේශපාලන කරුණු කාරණා මත විවිධ ගැටළු පැවතියද ශ්‍රී ලාංකික ප්‍රජා නායකත්වය ලෝක ප්‍රජා නායකත්වය හා සමානයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ පොඩි දිරි ගැන්වීමක් පමණයි.මා විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකික කාන්තාව තීරණ ගන්නා මට්ටමේ සිටිය යුතු බවයි.ශ්‍රී ලංකාව තීරණය ගන්නා ස්ථානයන් හී කාන්තා නියෝජනය වැඩි කරන සම්මුති අත්සන් කොට තියෙනවා.ඒත් ඒවා ප්‍රයෝගිකව ක්‍රියා කර නැහැ. කාන්තාව හා පුරුෂයා සමාජීය හා ජීව විද්‍යාත්මකව වෙනස් වගේම ඔවුන් ලබන අත් දැකීම්ද වෙනස්ය.එබැවින් තීරණ ගන්නා ස්ථානයන්හි කාන්තා නියෝජනයට සම අවස්ථාව හිමි විය යුතුයි.තීරණ ගන්නා ස්ථානයන් හි කාන්තාව සිටීමෙන් ධනාත්මක වෙනස්කම් වන බව නෝර්වේ,දකුණු අප්‍රිකාව,ස්වීඩනය,පින්ලන්තය වැනි රටවල්  දත්ත සහිතව පෙන්වා දී තිබෙනවා.එසේ නම් ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම,තිරසාර සාමය,තිරසාර සංවර්ධනය,ආර්ථික හා සමාජීය ගැටළු සඳහා වූ අවසාන දේශපාලන සාකච්ජාවලදී කාන්තා නියෝජනය අත්‍යවශ්‍ය වේ."

     

    ප්‍රජාතාන්ත්‍රික රටක් ලෙස ජන්දය සඳහා නාම යෝජනා භාර දීමේදි කාන්තා නියෝජිතයන් 40% දක්වා ඉදිරිපත් කල යුතුය යන්න තහවුරු විය යුතුය. ස්වේච්ඡා දේශපාලනයට කාන්තාවන්ට නාම යෝජනා ලබාදෙන රටවල් අතරින් 94% ක තීරණ ගන්නා ස්ථාන වල කාන්තා නියෝජනය 30% කි. ඔවුන් සමාජයට හා දරුවන්ට හිතකාමී,ආර්ථික අභිවෘද්ධියට සහය දක්වන නිවැරදි තීරණ ගන්නා රටවල් බව තහවුරු වී තිබෙනවා. ප්‍රජා නායකත්වය තිබුනත් කාන්තාවන්ට තනිවම ඉදිරියට එන්න බැහැ ඒ සඳහා අවස්ථාව දෙන්නේ නැහැ. කාන්තාව සාමූහිකව ඒකරාශි වී කටයුතු කල යුතුය.ශ්‍රී ලංකාවේ කාන්තාව නායකත්වයට පත් කිරීමට.ඡන්දය භාවිතා කල යුත්තේ ඇයි කියන පැනයට පිළිතුර සමාජ ගත කල යුතුය.

     

    රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සංවිධානාත්මකව අත්පත්‍රිකා,දේශන,සම්මන්ත්‍රණ පවත්වමින් කාන්තාව දේශපාලන කරලියට ප්‍රවිශ්ඨ කිරීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාත්මක වීම වැදගත්ය. එසේ නොකොට ශ්‍රී ලාංකික කාන්තාවට තම අරමුණු කරා ලඟා වෙන්න බැහැ යයිද ලියනගේ මහත්මිය පවසයි.

     

    මැතිවරණයක් නම්කර තිබෙන පසු බිමක ඇය එදා ඉදිරිපත්කළ අදහස් කාන්තාවන්ට වැදගත් වේ.ඒ තුළින් නිවැරදි තීන්දු තීරණ ගැනීමට මඟ පදා දෙයි. මහාචාර්යතුමිය පවසන පරිදි ඉන්දියාවේ දියුණුවට එක් හේතුවක් වූයේ කාන්තාවයි.කාන්තාව තීන්දු තීරණ ගන්නා තැන සිටින විට ධනාත්මක වෙනස් කම් සිදුවන බවත් එය රවල් කිහිපයක උදාහරණ සහිතව පෙන්වාදුනි. ලංකාවේ ප්‍රසිද්ධ කියමනක් වන‘’හැම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැනියෙක් සිටින්නේය’  යන කියමන සනාථ කරන්නකි. සමාජ ක්‍රියාකාරිත්වයට යහපැවැත්මට දියුණුවට  කාන්තාවකගේ දායකත්වය අනිවාර්ය වේ.මෙය දේශපාලන ක්‍රියාවලියේ දීද එසේමය. පාර්ලිමේන්තුව ,පලාත් සභාව ,ප්‍රාදේශීය සභාව,නගර සභාව,මහ නගර සභාව තුලදීත් සැලකිය යුතු කාන්තා නියෝජනයක් පවතින විට ඒවා සාර්ථක නිවැරදි තීරණ ගන්නා ස්ථාන වේ.

     

    පාර්ලිමේන්තුව යනු රටේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන ස්ථානයයි.එම ස්ථානයට පත් කර යවනු ලබන පිරිස උගත් බුද්ධිමත් අය විය යුතුය. ඉදිරි මැතිවරණයේ දී කාන්තා නියෝජනය ඉහල දැමීම සඳහා ද මේ වන විට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරන බව අපිට පෙනුනි.ඒ ඒ පක්ෂ වෙත එම වගකීම ඉටු කිරීමට ද මේ හොඳම අවස්ථාව වේ.මෙහි දී උගත් බුද්ධිමත් කාන්තාවන් හට නාමයෝජනා ලබා දීම මෙන්ම ජාතික ලයිස්තුවෙන් ද වැඩිපුර කාන්තා නියෝජනයක් ලබා දීමේ වැදගත්කම කාන්තා සංවිධාන පෙන්වා දෙති.

     

    අපේ රටේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් තම ජන්දය භාවිතා කිරීමේ දී තමන් වෙනුවෙන් පෙනී සිටින තමන් නියෝජනය කරනු ලබන කාන්තාවන් සඳහා පළමුව ජන්දය භාවිතා කර වැඩි කාන්තා නියෝජනයක් මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙති.එසේ වුවහොත් මෙතෙක් අරගල කල අයිතීන් දිනා ගැනීමේ හැකියාව උදාවන බව ඔවුන් පෙන්වා දෙති.

     

    එසේම නව පාර්ලිමේන්තුව සැත්තැම්බර් 01 දින ආරම්භවීමත් සමඟ පලමු දින 100 තුල දී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කරන බවට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. මෙම සංශෝධනය මඟින් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කෙරේ.ඒ සඳහා මුලින් කථා කල කාන්තා නියෝජනය සඳහා වූ කෝටා ක්‍රමය ජාතික ලැයිස්තුව නම් කිරීමේ දී වැඩි පිරිසක් කාන්තා නියෝජිතයන් වීම වැනි කරුණු ඉදිරිපත් කළ හැකිය.

     

    ඉදිරි පාර්ලිමේන්තුව තුල වැඩිපුර කාන්තා නියෝජනයක් ලබා ගැනීමට පෙරමුණ ගැනීමට පත්වන කාන්තා මන්ත්‍රීවරියන් ක්‍රියා කළ යුතු වේ. ඒ සඳහා ඉදිරි පාර්ලිමේන්තුවට නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇති උගත් බුද්ධිමත් කාන්තා නියෝජිතයන් තෝරාපත් කර ගැනීම 52% ක් වන කාන්තා ඔබ ඇතුළු මහජනතාවට මෙන්ම අපේක්ෂා ලැයිස්තු සඳහා නම් යෝජනා කරන දේශපාලන පක්ෂ සතු වැදගත් සුවිශේෂී වූ වගකීමක් වේ.

     

     

    ජනක ප්‍රසාද්
    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය-හම්බන්තොට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya