මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිත් සුව පතා වෙහෙසෙන් මනු සතුන්නේ බුදු දම් බෙලෙන් ඒ සරු ඵල ලැබෙන්නේ

    ජූනි 04, 2015
     
    පොසොන් සමය නම් , ලාංකීය ජන හදවත් නිරතුරු බුදු දම් ප්‍රභායෙන් උස්කරවන  සමයකි. 
    සිරිලක ජනයා චිරාත් කාලයක් සිය සිතුමෙහි පැතුමෙහි ප‍්‍රමුඛ තැන තබාගත්තේ බුදු දහම බව 
    නොකිවමනාය. ඒ අපරිමිත වු භක්තියක් ද සහිතවයි. පෙර වක උගත් නූගත් භේදයකින් තොරව 
    ස්වකීය හද සද බුදු දහම වෙත විවර කර එයින් විහිදුන අධ්‍යාත්ම සුව ඉතා අපුරුවට වින්ද වගට 
    සාධක අපමණය. 
     
    බුදු දහම තරම් සිත පිළිබදව විග‍්‍රහ කරන ලද තවත් දහමක් කොහිද ? නිවැරදිව සිතීමත් . නිවැරදිව 
     කතා කිරිමත්, නිවැරදිව ක‍්‍රියා කිරිමත් අතර අන්‍යසම සම්බන්ධතාවක් පවතී. එසේ නම්  ඕනෑම 
     කෙනෙකුගේ චර්යාවට චිත්ත අභ්‍යන්තරයේ ඇතිවන සිතිවිල්ල හේතුවේ. මේ බැව් ධර්ම 
     දේශනයෙන්, බණකතාවෙන්, ඉතා සරලව අපූර්ව ආකාරයට ලාංකීය ජනතාවට නොඅඩුව ලැබුණි. 
     
    සුවහසක් ජන සිත්  පහන් සුවය පතා තුන්ලෝකාග‍්‍ර වූ අමා මෑණි බුදුපියාණන් වහන්සේ  ශ‍්‍රී 
     සද්ධර්මය දේශනාකළ සේක. එහි ඵල සංවර්ධනාත්මක අන්තයෙන් බලා භුක්ති විදිමට අප 
     කවුරුත් සිතා ගත යුතුවේ. 
     
    සංවර්ධනයේ විශේෂ මාන දෙකකි. එනම් භෞතික සංවර්ධනය හා අධ්‍යාත්මික සංවර්ධනය යි. 
     සංවර්ධනයේ තිරසර බවට හෙවත් ධරණීය සංවර්ධනයක් ඇතිකර ගැනීම සදහා යන ගමනේ දී 
    මෙම දෑ අංශයම සමබරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය ය. එහිදී වඩා වැදගත් කලින්ම වඩවාගත යුතු  
    සංවර්ධනය වන්නේ අධ්‍යාත්මික සංවර්ධනය යි. මනස ව්‍යාකූල වු , මානසික පීඩා වලින් පෙළෙන 
     
    සිත් ලෙඩ වූවන් සිටින සමාජයක් කිසිවිටකත් සාර්ථක භෞතික සංවර්ධනයක් කරා ගමන් 
     
    කරන්නේ නැත. මෙම තත්ත්වය මත පිහිටා විග‍්‍රහ කිරීමේ දී බුදු දහම යනු පුද්ගලයා තුල උත්තරීතර 
     අධ්‍යාත්මය නන්වාලීමට මුඛ්‍ය වන අමිල දහමකි. 
     
    බහු භාණ්ඩික බව, තරගකාරීත්වය. පවුල් ආරවුල්, වංචා දුෂණ , දික්කසාද , ළමුන්ගේ මානසිකත්ව 
    වැරදි අතට වෙනස්වීම්, ළමා අධ්‍යාපනය බිදවැටීම්, ආදි විවිධ සමාජ අසම්මතයන් ගොඩනැගී 
    වැඩෙන්නේ යට කී අධ්‍යාත්මයේ අඩුව පදනම් කරගෙනයි. මුල්‍ය උත්පාදනය පරමාභිලාශි 
    කරගන්නා හා ඒ වෙනුවෙන් මතුපිටින් සුදු පැහැ පෙන්වන නමුත් යටිසිතේ ගැඹුරු මමත්වයක් 
    තැන්පත්කරගනි.  අනෙකා ගැන නොසිතා ස්වාර්ථය සාධනය කරගන්නා මනු විලස් මකාගත්  
    පුද්ගලයින් අපමණය.  ඉන් උන් මුදා , සුන් සිත් පිලිසකර කර යථාවට ගන්නා ශක්තිය ඇත්නම් 
    භාග්‍යවත් බුදුන් වහන්සේ විසින් දේශිත ශ‍්‍රී සද්ධර්මයටම  පමණි.  එහි අලෙන්නාට නිරාමිස 
    සුවයේ අගයත් , උසස් විනෝදය හෙවත් විශ‍්‍රාන්තියේ අගයත් මනාව සපථ කරගත හැකිය. 
    වත්මන් ජිවන රටාව අනුව බොහෝ මිනිසුන්ගේ අධ්‍යාත්මය නැමැති අත  ඉතා කෙටි වී තිබේ. 
     
    භෞතිකත්වය නැමැති අත ඉතා දිගුය. එයින් ගම්‍ය වන විශේෂ සාධකයක් තිබේ. වඩා දිගු අතින් 
     
    ඇති ඵලය කිම, එමෙන්ම වඩා කෙටි වු අතකින් ද කිසිදු ප‍්‍රයෝජනයක් නැත. 
     
    එසේ නම් අද ජිවත්වන බොහෝ දෙනා ස්වකීය වර්ධිත අවිඥානය නිසා අධ්‍යාත්මික හා භෞතික 
     යන අංශ දෙකෙන්ම අංගවිකලයින් බව ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකිය. පිං කිරිම සමාජ 
     වටිනාකමක් සේ සිතා කිරිම, වන්දනා ගමන් විනෝද ගමන් බවට හරවා ගැනීම, ආදි සාධක මතින් 
     වත්මන් පරපුරේ ආටෝප සාටෝප පොකුර මනාව විද්‍යමාන වේ. රටම පවින් මුදන  ජය ශ‍්‍රී මහා 
     බෝධිය, පොසොන් සද එළියේ දීප්තියෙන් බබළන රන්වැලී සෑය, ආදි මන් පිනන  පිං පුරන 
     ඓතිහාසික සිද්ධස්ථානවලින් විරාජමාන වන අනුරාපුර පිං බිම, අනුබුදු මිහිදු මහ හිමිපාණන්ගේ 
     පාද ස්පර්ශය ලැබ ලංකේය සමාජයම දහමින් නැහැවු හදබිම වන මිහින්තලාව, බොදු දිවියට දම් 
     සිසිලස පොරවන තන්තිරිමලය පුදබිම ආදි  අති පුජනීයත්වය පත් සිද්ධස්ථාන පෙරටුකර 
     පවත්වන පොසොන් උත්සවයේ දී සිරිලක  සිව්කොට බොහෝ දනෝ රැස් කකා එහි ඇදෙති. 
     වදිති . බොහෝ දේ පතති. මේ  අමතරව විරූප විගඩම් සෝබන සහිත සැණකෙලි බිම් හි 
     රදන්නෝද හිග නැත. ඔවුන් සිත් හි සුපසන් ගුණ ඇත්දැයි සැක සහිතය. සතියෙන් සැරිසරන 
     බැතිමත්හු ද හිග නැත. ඒ අප හික්මුණු සම්ප‍්‍රදායෙන් උපයාගත් ශුද්ධ වූ වත්කමයි. 
     
    සහජීවනයේ සත්තාව ඉතා සරලව සිරසට පෙරන යතිවරයාණන් වහන්සේලා විසින් සහජිවනය 
    සදහා ඇවැසි පහසු මං තනනුයේ බදු දහම ඉතා භක්ති සම්ප‍්‍රයුක්තව ඇසුරු කරමිනි. එම බොදු දම් 
    පද ජිවන සාක්ෂාත්කරණය වෙනුවෙන් බුද්ධියට ගෝචර කරගන්නා පිරිස හිගය. එහෙත් එම පිරිස 
    නොබෝ කල්හිම ඉහළට ගෙන ආ යුතුය. 
     
     චිත්ත අභ්‍යන්තරික සහජීවනය, එනම් පුද්ගල සිතෙහි තැන්පත් සාමකාමී බව පවුලක සාමකාමි 
     බව ගොඩනගයි. සමාජයේ සාමකාමි බව සැකසෙන්නේ ඊට අනුව ය. බුදු දහමේ බහුතර ඉගැන්විම් 
     සිත පෙරටුකරගෙන ඇති නිසාවෙන්ම එකී අත්‍යවශ්‍ය අභ්‍යන්තරික සාමය ලගාකර ගැනිම අපහසු 
     වන්නේ නැත. එහෙත් අතිශය ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් , සිය දිවි නසාගැනිම් , මිනී මැරුම් ආදියෙන් 
     ආඪ්‍ය සමාජයක් අද දක්නට ලැබේ. ඊට මුඛ්‍ය හේතු සාධකය නම් පුද්ගල මනස තුල ධර්මතා 
     සංවර්ධනය නොවීමයි. මේ නිසා පුද්ගලයා තමා පිළිබදව නිවැරදි තක්සේරුවකට එන්නේ හෝ 
     අන් සිත් හි ස්වභාවය මද පමණකට හෝ හදුනාගන්නේ ද නැත. 
     
    පෙර කල මෙන් නිති පතා ආගමික ස්ථානයකට යාම  තබා නිවස තුල ආගමික වතාවත් සිදුකිරිමට 
     වත්මන් පරපුරට ඉඩ ප‍්‍රස්ථා නැත. එතරම් තරගකාරී, සංකිර්ණ දිවි පෙවෙතක් ඔවුන් ගතකරයි. 
     රැඩින් ලිෆ් බ‍්‍රවුන් නැමැත්තා ඉදිරිපත් කරන සමාජ ව්‍යුහය තුල මවක විසින් සිදුකල යුතු අනිවාර්ය 
     සාධකයක් ලෙස දරුවන් රැකබලා ගැනීම හදුන්වාදී තිබේ. විවාද නැත. එය සත්‍ය ය. නමුත් 
     වත්මන් මව්වරු තම දරුවාගේ  සැදුම වැඩුම දිවා සුරැකුම් මධ්‍යස්ථානයට භාරදී තිබේ. මෙයින් 
     රුවා තුල සමාජය යහපත් වෙනසකට පත්කිරිමට අවශ්‍ය වෙනසකට ලක්නොවේ. අයහපත් 
     සමාජ වෙනසට මෙම තත්ත්වය හේතු නොවන්නේ ද? මෙය එක් උදාහරණයක් පමණි. 
    විවේකයක් නැති මිනිසුන්ට විවේක බුද්ධියක් කොයින් ලැබෙන්නද? දැන් සිටින්නේ එක් දෙයකට 
     සිමා වු රොබෝවරුන් වන් පිරිස් ය.  බුද්ධියේ හා සංවේදිතාවයේ සමබරතාවයක් ඔවුන් තුල 
     
    ඇත්තේ නැත. දරුවාට සරුංගලය කඩෙන් ගෙනවිත් දෙන්නේත්, දානය සකසා සැදැහැතින් 
     පංසලට ගෙනගොස් බුද්ධ පුජා පවත්වා පිං රැස්කරගන්නවා වෙනුවට  දානය හිමි දිනට පංසලට 
     මුදල් යවා සැනසෙන්නේත් , පොදු වැඩ මගහරින්නේත්, නිතර ගැටුම් ඇතිකර ගන්නේත්, කායික 
     හා මානසික රෝගී බවින් පෙළෙන්නේත්, මේ හේතු  දුරදිග යාම නිසා බව දැන් සැබෑවක් වි 
     හමාරය. 
     
    මෙවන් තත්ත්වයක් පවතින සමයෙක මිහිදු හිමි සමරන , මිහිදු බණ පිළිපදින දනන් තනන්නට 
    ඇවැසි සමයෙක විවෘතභාවය පසක් කරන හෘදය සාක්ෂිය මතුකර ගැනිම අගනාම කටයුත්තකි. 
     එවිට දැඩිව පවතින පුද්ගල අවිඥ්ඥානය මර්දනය වී හෘදය සාක්ෂියේ උතුම් ඵලයක් වන සමාජය 
     සකසන මිනිසුන් නිර්මාණය වන්නට පටන් ගනී. එනම් විඥ්ඥානධාරී මිනිසුන් බිහිවන්නට පටන් 
     ගනී, ඒ මතින් සැබෑ බොදු බැතියෙන් ක‍්‍රියා කරන සමාජ හිතැතියන් තව තවත් බිහිවීම වලකාලිය 
     නොහැකිය. ඔවුන් විසින් බුදු දහමේ ශක්තිය උපයෝගි කරගෙන සමාජයේ පවතින වල් පැළෑටි 
     ගලවා දමා හොද බීජ වපුරනු ඇත. එයින් ලැබෙනා අනර්ඝ ඵලය නම් මුලින් කි පරිද්දෙන් සැමට 
     සෙත සදන භෞතික හා අධ්‍යාත්මික යන දෑ අංශයේ ම සමබර තිරසර සංවර්ධනයක් ඉපැදිමයි. ඒ 
     වෙනුවෙන් වන පණිවුඩය පැතිරවීමට අවැසි උත්තරීතර උත්තේජනයක් ලෙස මිහිදු හිමි සමරමු, 
     
    මිහිදු බණ පිළිපදිමු  බැති සිතින් සදා. 
     
     
    ෂෙල්ටන් බණ්ඩාර 
    අනුරාධපුර ප‍්‍රවෘත්ති නිලධාරී  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya