අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියට සුන්දරත්වය කැඳවන සුන්දර ග්‍රෙගරි වැව

    අප්‍රේල් 22, 2015

    නුවරඑළිය නගරයට ප්‍රවිෂ්ඨ වන ඔනෑම අයෙක් නුවරඑළිය ග්‍රෙගරි වැව මග හැර නොයනු නොඅනුමානය. අප්‍රේල් වසන්තය වන විට පමණක් නොව සෙසු කාල සීමාවන් හිදී ද ග්‍රෙගරි වැව රස විඳින්නන් බහුලය. එයට දිවා රෑ අදාළ නොවේ. එතරම්ම එය සුන්දර පාරිසරික ස්මරණයකි. ග්‍රෙගරි වැව නිර්මාණය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිදු වූවකි.

    1872 වර්ෂයේ මෙරට ආණ්ඩුකාර ධූරයට පත් සර් විලියම් ග්‍රෙගරි සිය පරිපාලන කටයුතු වෙනුවෙන් නුවරඑළිය තෝරාගත්තේ ය. ඔහු සැබවින්ම කලාවට හිතැති සෞන්දර්යවාදියෙකු විය. බෙහෙවින් පරිසරයට ඇළුම් කල අයෙක් විය. සිය ස්ථිර වාසස්ථානය වශයෙන් නුවරඑළිය නගරය තෝරාගත් හෙතෙම නගර අලංකරණයට දැක්වූයේ මහත් ඇල්මකි. ඒ පිළිබඳව විදේශිකයන් ද ඔහුව ඇගයීමට ලක් කල අතර සිය හිතවතුන් නගරයට පැමිණෙන බැවින් සිය නගර අලංකරණය වඩාත් විධිමත් කිරීමටද ඔහු කටයුතු කළේය. සුන්දර ග්‍රෙගරි වැව නිර්මාණයට අවශ්‍ය හේතු සාධක නිර්මාණය වූයේ මෙම පදනම මතයි.

     

    පිදුරුතලාගලින් ආරම්භවන සුන්දර තලගල ඔය නුවරඑළිය නගරය මැදින් ගලා විත් වගුරු බිමික් ඔස්සේ නිම්න ඔස්සේ නානු ඔයට ගලා බසී. මෙම සුන්දර ඔය අලංකාර කිරීමට ඔහු කටයුතු සැලසුම් කලත් නගරාසන්නයේ පිහිටි අප්‍රසන්න වගුරු බිම එයට බාධාවක් වූවා පමණක් නොව නගර අංකරණයටද මහත් හිසරදයක් බවට පත් විය. මෙම වගුරු බිම ප්‍රමාණයෙන් අක්කර 12ක් පුරා පැතිර තිබිණ. මෙහි ඵල ප්‍රයෝජන ලබාගත්තේ එම වගුරු බිම සහ හාත්පස දිවෙන වනාන්තර තුළ දිවිගෙවන සතා සිවුපාවුන් ය. එවකට මෙම වගුරු බිම කපිතාන් පී. ගැල්වේ සතු භුමි භාගයක් වූ අතර ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් 1873 වර්ෂයේ මෙම වගුරු බිම සහිත බිමි කොටස මිලදී ගනු ලැබිණි. එතැන් සිට වගුරු බිම වැවක් ලෙස තැනීමේ වැඩකටයුතු ආරම්භ විය. ඒ අනූව තලගල ඔය හරස් කොට බැම්මක් නිර්මාණය කළ අතර හාත් පස වඩාත් සුන්දර ලෙස අලංකරණය කරලන්නට විය.

     

    යුරෝපීය පෙම්වතුන් සහ මධු ලෝලීන්ගේ පාරාදීසයක් බවට පත් වූ මෙම සුන්දර ග්‍රෙගරි වැව 1927 වර්ෂයේ එවකට නුවරඑළිය දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ සී.සී වුලී මහතා විසින් සංවර්ධනය කරන්නට විය. ඒ අනූව වැව අශ්‍රිතව නිර්මාණය කළ උද්‍යානය, විසිතුරු ගස් සහ මල් වර්ග වලින් ගහන අපූරු පාරිසරික වටපිටාවක් බවට පත් විය. පසු කාලය වන විට මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිතව පිහිටා තිබෙන විල්ලුව විශේෂ පාරිසරක කලාපයක් බවට හඳුනා ගෙන තිබේ. එය අද වන විට සැබවින්ම සංරක්ෂිත පාරිසරික කලාපයකි. විශේෂයෙන්ම දෙසැම්බර් සීත කලාපීය සංචාරක පක්ෂීන්ගේ සංක්‍රමණයද මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිත පාරිසරක කලාපය තුල දැකිය හැක. ඉන්දියාව, කාම්බෝජය, ඉන්දුනීසියාව ආදී විදෙස් රටවල් සිට මෙරටට පැමිණෙන සංචාරක පක්ෂී විශේෂ ද මෙම පාරිසරික කලාපය තුළ දැකිය හැක.

     

    ග්‍රෙගරි වැව වසරේ සෑම දිනකම සිය ජල ධාරිතාව එකම මට්ටමක පවත්වාගෙන යාම විශේෂිත ය. අප්‍රේල් වසන්තයට සුන්දර ග්‍රෙගරි වැව වඩාත් ජනාකීර්ණ වන තරමටම එම පාරිසරික කලාපයට වන හානියද ඉහල අගයක පවතී. එබැවින් නුවරඑළිය මහනගර සභාව විසින් මෙම පාරිසරක පද්ධතිය සුරැකීම සඳහා විවිධ වැඩසටහන් දියත් කරයි. මධ්‍යම පරිසර අධිකාරියද මේ සඳහා අත හිත ලබා දෙයි. හෙට දවස වෙනුවෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව වඩාත් විධිමත්ව සංරක්ෂණය කරලීම ජාතිය සතු වගකීමකි.

     

    සැකසුම - සහන් හේවා ගමගේ (නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී)

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya