මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 - ජාතික අලුත් සහල් මංගල්‍යය

    අප්‍රේල් 03, 2015
    ක‍්‍රි. පූ 3 වැනි සියවසේ විජයශ‍්‍රී ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් ශ‍්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේදී එවකට ශ‍්‍රී ලංකාවේ රාජ්‍යත්වය දැරූ දේවානම් පියතිස්ස රජු විසින් ශ‍්‍රී ලංකා භූමිය ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කළ බව වංශ කතාවල සඳහන් වේ.එදා සිට ම ශ‍්‍රී ලංකාවේ රජවරුන් අපේ ප‍්‍රධාන වගාව වූ වී අස්වැන්නෙන් මුල්ම කොටස (අග‍්‍ර සස්‍ය) බෝධීන් වහන්සේට පූජා කිරීම ප‍්‍රධාන රාජ්‍ය උළෙලක්ව පැවතුණි. 
     
    පසු කාලීනව විදේශීය ආක‍්‍රමණ හේතුවෙන් මේ රාජ්‍ය උත්සවය හා පූජා විධි අප සමාජයෙන් බැහැර වුවද නුවර කලාවියේ ජනතාව බෝධීන් වහන්සේට කරන ලද අග‍්‍ර සස්‍ය පූජාව (අලූත් සහල් මංගල්‍ය) දාහත් වැනි සිය වසේ සිට පැවති බව ජන මූලාශ‍්‍රවලින් තහවුරු වෙයි.
     
    ශ‍්‍රී ලංකා රාජ්‍යයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවයක් ලෙස ශ‍්‍රී මහා බෝ රජුන් වෙනුවෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය ආරම්භ වන්නේ හැටේ දශකයේ දීය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වූ මේ අලුත් සහල් මංගල්‍යය මේ වන විට හතලිස් හත් වාරයක් අඛණ්ඩව පවත්වා තිබේ.
     
    මුල්ම යුගයේ අලුත් සහල් මංගල්‍ය දුරුතු මංගල්‍ය ලෙස පවත්වා ඇති අතර පසු කාලීනව මේ සඳහා අලුත් අවුරුදු සමය යොදාගෙන ඇත. මහා බෝ සමිඳුන් වෙනුවෙන් කරනු ලබන දුරුතු මංගල්‍ය, පරණ අවුරුදු මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය හා කාර්තු මංගල්‍ය යන ප‍්‍රධාන මංගල්‍ය හතරෙන් ප‍්‍රධාන තැනක් ගන්නා මෙම අලුත් සහල් මංගල්‍යය සඳහා අද වන විට ශ‍්‍රී ලංකාවේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවල සහභාගිත්වය ලබා ගනිමින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පුරෝගාමී මෙහෙවරක් ඉටුකරයි. එය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පිදූ ශ‍්‍රී ලංකා භූමියේ උපදින සියලු ම අලූත් සහල් ඒකරාශී කර පූජා කිරීමක් ලෙස අර්ථ දැක්විය හැක. 
     
    නියමිත නැකත් දිනට පෙර දින රාත‍්‍රියේ සර්වරාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පසු දින බෝධි ආරක්ෂක දෙවි දේවතාවුන් සඳහා සඳුන් දරෙන් හතර වාසල කිරි උතුරවා නියමිත වේලාවට මහ සඟ රුවන හා රටේ රාජ්‍ය නායකයාමහ පාත්තරේ අලුත් සහලින් පිරවීමෙන් මේ අලුත් සහල් මංගල්‍ය චාරිත‍්‍ර ඉටු කරනු ලැබේ. රාජ්‍ය නායකයාට අනතුරුව ප‍්‍රදේශීය නායකයන්, නුවර කලාවියේ ප‍්‍රදේශීය නායකයන් හා ගොවිජන සංවිධාන විසින් මහ පාත්තරේට සහල් දැමීම සිදු කරනු ලැබ ඇත.
     
    අතීතයේ නුවර කලාවියේ ප‍්‍රාදේශීය ප‍්‍රධානීන් අලුත් සහල් මංගල්‍යය සඳහා ග‍්‍රාමීය මට්ටමින් වෙන් කර තබන වී ගමේ පිරිමි අය විසින් කොටා සහල් කර ගනු ලැබූ අතර ගමේ ගමරාළගේ මහ මඩුවේ උඩු වියන් බැඳ මේ කාර්යය දැඩි භක්තියකින් සිදුකල බව අනාවරණය වෙයි. ග‍්‍රාමීය මට්ටමින් එක්රැස් කරන ලද අලුත් සහල් ප‍්‍රදේශීය කෝරාලවරුන් විසින් ගැල් පෙරහැරකින් උඩමළුවට වැඩම කරන ලද්දේ හේවිසි හොරණෑ හඬ මැදිනි. එදින උඩමළුවේ නවාතැන් ගත් එම පිරිස පසු දින අලුත් සහල් මංගල්‍යයට සහභාගී වී මහ පාත්තරේට සහල් දැමීම තුළින් අපේක්ෂා කරන ලද්දේ ඊළඟ කන්නයේ සරුසාර අස්වැන්නකි. සරු අස්වැන්නක් සමඟ ම ගම්වල ආරක්ෂාව, බවභෝගවල ආරක්ෂාව වෙනුවෙන් කළුදේවතා බණ්ඩාර දෙවියන්ට භාරහාර ඔප්පු කිරීමද මෙදින සිදු කෙරිණි.
     
    අනාදිමත් කාලයක් තිස්සේ පැවත එන මේ අලුත් සහල් පූජා මංගල්‍ය මෙවර පවත්වනු ලබන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (03) හා හෙට (04) දිනවලදී වන අතර අලුත් සහල් මංගල්‍යයේ බල මහිමයෙන් රජරට ප‍්‍රමුඛ සමස්ත ශ‍්‍රී ලංකාව සස්‍ය සම්පතින් මෙන්ම යස ඉසුරින් පරිපූර්ණ දේශයක් වේවායි ප‍්‍රාර්ථනා කරමි. 
     
    පේෂල ජයරත්න බංඩාර
    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya