Print this page

කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි

මාර්තු 15, 2017

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 ජනවාරි මස සඳහා වූ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කොට ඇත.

කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මෙම දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකිය.

 

තව ද මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ අනුව මෙම දර්ශකය 2017 ජනවාරි මස සිට දින 42 ක කාල පරතරයකට පසුව දර්ශක අගයන් නිකුත් කරනු ලබන බව 2017 ජනවාරි මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාල්ඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. 2015 වර්ෂය, පදනම් වර්ෂය ලෙස ගෙන මෙම දර්ශකය ගණනය කරනු ලැබේ.


ඒ අනුව 2016 වර්ෂයේ මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 ජනවාරි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 0.7%  ක වැඩිවීමක් වාර්තා වන බව ඔහු පැවැසීය. තව ද, 2016 මාසික නිෂ්පාදනයට සාපේක්ෂව 2017 ජනවාරි  මස ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදන (24.7%), විදුලි උපකරණ නිෂ්පාදන ( 12.2%) සහ මූලික ලෝහමය නිෂ්පාදන (9.1%), වල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ.

මෑත කාලීන ඉදිකිරීම් කර්මාන්තයෙහි සිදු වූ වර්ධනය  ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදන වල නිෂ්පාදන ධාරිතාවෙහි සිදුව ඇති කැපීපෙනෙව වර්ධනයට හේතු විය හැක.

 

2017 ජනවාරි මස ආහාර නිෂ්පාදන අංශයෙහි  නිෂ්පාදනය 1.6% ක වැඩිවීමක් වාර්තා වේ. අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන (44.2%), රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන (23.2%) සහ කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන (5.0%)  ඒවායේ 2016 වර්ෂයේ ජනවාරි මාසික නිෂ්පාදනයට සාපේක්ෂව අඩුවීමක් වාර්තා කරයි.

මේ පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. ( www.statistics.gov.lk/Industries)