අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2015.02.11

    පෙබරවාරි 12, 2015

    2015 02 11 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

    දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම හා සුදුසු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම

    පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණයේ දූෂණ වංචා කටයුතු විමර්ශනය කිරීම සහ ඒවාට වගකිව යුතු පුද්ගලයින්ට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා සහ අනාගතයේදි එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස පත් කරන ලද දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද

    යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මීට අමතරව, මුදල් විශුද්ධිකරණය ඇතුළු විශාල පරිමාණයේ නීතිවිරෝධී මුදල් ගනුදෙනු ගැන පරීක්ෂා කිරීම සඳහා මූල්‍ය ගනුදෙනු වලට අදාළ අපරාධ විමර්ශන ඒකකයක් (Financial Crimes Investigation Division) පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පිහිටුවීම සඳහා ද අනුමැතිය දෙන ලදී. මේ පිළිබඳව වන නිවේදනය පොලිස් ආඥාපනතේ 55 වන වගන්තිය යටතේ පොලිස්පතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ඇත.

     

    රණවිරු උපහාර අනුස්මරණ උත්සවය 
    එල්ටීටීඊ ත්‍රස්ත ව්‍යාපාරයේ යුදමය පරාජය සනිටුහන් කරමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඒ සඳහා දැක් වූ දායකත්වය අගය කිරීමට හා තිස් වසරකට අධික කාලයක් පැවති යුද සමයේදී දිවි පිදූ සන්නද්ධ සේවාවන්හි සියලුම සාමාජිකයින්ද, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ද අනුස්මරණය කිරීම පිණිස 2009 වර්ෂයේ සිට සෑම වසරකම මැයි 18 දින හෝ ඊට ආසන්න දිනක පැවැත්වෙන විජයග්‍රහණ පෙළපාලිය මෙම වර්ෂයේදී රණවිරු උපහාර උළෙලක් ලෙස ගාලු නගරයේ දී පැවැත්වීම සුදුසු බවට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන අක්‍රමිකතා, දූෂණ හෝ බලය අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව විමර්ශනය සහ වාර්තා කිරීම සඳහා කමිටුවක් පත් කිරීම

    ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතනවල ඇතැම් පාර්ශ්වයන් විසින් සිදු කර ඇති බව පැවසෙන විවිධ අක්‍රමිකතා, දූෂිත ක්‍රියාකාරකම් හා බලය අයථා ලෙස යොදා ගැනීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහාත්, අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කිරීම සහ එවැනි කටයුතු නැවත ඇතිවීම වැළැක්වීමට ගතයුතු පියවර පිළිබඳව පරීක්ෂා කර වාර්තා කිරීම පිණිසත් කමිටුවක් පත් කිරීමට ආහාර සුරක්ෂිතතාව අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දූෂණ විරෝධී කටයුතුවල නියැළෙන ස්වෙච්ඡා සංවිධාන රාශියක්ම රජයේ විවිධ ආයතනවල සිදුවී ඇති දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණවලදී සහාය දීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බැවින් මෙම කමිටුව සඳහා එවැනි වෘත්තිකයින් ස්වේච්ඡා පදනමින් සහභාගි කරවා ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතු බවටද තීරණය කරන ලදී.

     

    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ නගරයේ සිදු කෙරෙන ප්‍රතිස්ථානගත කිරීම් සහ ඉවත් කිරීම් සමාලෝචනය කිරීමේ කමිටුව 

    එවක පැවැති රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2010 වර්ෂයේදී සිදු කළ සමීක්ෂණයක් අනුව නාගරික පුනරුත්ථාපන ව්‍යාපෘතියේ සහ කොළඹ නගරයේ වෙනත් ක්‍රියාකාරකම් කොටසක් ලෙස කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත නිවාසවල වෙසෙන පවුල් 68,000 ක් පමණ ඒවායින් ඉවත් කර වෙනත් ස්ථානවල පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. එම ක්‍රියාවලියේදී අසහනයට පත් වූ අයගෙන් සහ ඒ පිළිබඳව සැලකිල්ල දක්වන පුරවැසියන්ගෙන් නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය වෙත පසුගිය දෙසතියක කාලය තුළ පැමිණිලි රාශියක් ලැබී ඇත. එබැවින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරන ලද කොළඹ නගරයෙහි පදිංචිව සිටි පවුල් ඉවත් කිරීම හා ඔවුන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම හා සම්බන්ධ සියලු කටයුතු සමාලෝචනය කොට සහන ලැබිය යුතු පුද්ගලයන්ට ලබා දිය යුතු කඩිනම් සහන හා ඒ හා බැඳුනු ගැටලු වලට ලබා දිය යුතු දිගුකාලීන විසඳුම් ඇතුළත් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඉහත සඳහන් ක්‍රියාවලියේදී අගතියට පත්වී ඇති පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වෙන දුක්ගැනවිලි ගැන නිසි අවධානය යොමු වන බව තහවුරු කර ගැනීම සඳහා මෙම නිලධාරි කමිටුවේ කටයුතු පහත සඳහන් අමාත්‍යවරුන් තිදෙනාගෙන් (03) සමන්විත කමිටුවේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවටද වැඩිදුරටත් තීරණය කරන ලදී.

     

    * ගරු රවී කරුණානායක ඇමතිතුමා

    * ගරු රෝසි සේනානායක රාජ්‍ය ඇමතිතුමිය 

    * ගරු ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමතිතුමා

     

    වකුගඩු රෝගය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සහ දැනට රෝගය නිසා පීඩාවට පත්ව ඇති රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සුබසාධනය
    ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති වකුගඩු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහ රෝගය නිසා පීඩාවට පත්ව ඇති රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සුබසාධනය සැලසීමේ අරමුණින්, මෙම කරුණට අදාළව මීට පෙර පත් කරනු ලැබ ඇති විද්වත් කමිටුව මඟින් නිර්දේශ කර ඇති යෝජනා ඒ ඒ අමාත්‍යාංශ මඟින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් යුතු අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවට සහාය වීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිසත් සමාජ සේවා, සුභසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සපුගස්කන්ද විදුලි බලාගාරයේ එන්ජින් අංක 01 හා එන්ජින් අංක 04, 12,000 Rhr ප්‍රධාන අලුත්වැඩියාව සඳහා අමතර කොටස් මිලට ගැනීම

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ටෙන්ඩරය පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පාඨලි චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස්, හෙපටයිසිස් බී සහ හිමොෆිලස්, ඉන්ෆ්ලුඅන්සා වර්ග බී හි සංයුක්ත දියරමය බීපී, යූඑස්පී හෝ ඊපී, අයිපී හෝ ඩබ්එච්ඕ අයිපී මාත්‍රා 1,200,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

    ඉහත සඳහන් අත්‍යවශ්‍ය ඖෂධවල ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි නැවත ඇණවුම් කිරීම යටතේ ඉහත ටෙන්ඩරය පිරිනැමීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2015 02 10 දිනට දින 100 වැඩසටහන පිළිබඳ ප්‍රගති වාර්තාව

    දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අධීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රගති වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. මෙම දින 100 වැඩසටහනට ඇතුළත් සහන රාශියක් ගරු මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද නව අයවැය කථාවේ සඳහන් යෝජනා මඟින් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදී. පනත් සංශෝධනය කිරීම මඟින් හෝ අලුතින් පනත් සම්මත කිරීම මඟින් හෝ ක්‍රියාත්මක කළ යුතු යෝජනාවන්ට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම ආරම්භ කර ඇති අතර, සුවිශේෂ ක්‍රමවේද මඟින් ක්‍රියාත්මක කළ යුතු බවට හඳුනාගත් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස ගත යුතු එක් එක් පියවර හඳුනාගෙන නියමිත දින වකවානු තුළ එම කටයුතු ඉටු කළ යුතු බවට අදාළ එක් එක් අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බවද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.


    රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරනු ලබන ගිවිසුම

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරට අතර වලංගු රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන ඉහත සඳහන් ගිවිසුමට එළැඹීම පිණිස මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය, ගරු ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉන්දීය ජනරජය අතර නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

    යෝජිත ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම මඟින් නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ වැදගත්කම හඳුනා ගන්නා අතර, එය දෙරටේ ශිෂ්‍ය ප්‍රජාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ගයක් ලෙස ද වැදගත් වනු ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අදහස පෙරදැරිව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ ඉන්දීය ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඉහත යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2015 පෙබරවාරි මැද භාගයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ඉන්දීය නිල සංචාරය ඇතුළතදී මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගැනෙන විෂයන් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම පිණිස අනුමැතිය ලබාගැනීම

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා 2015 පෙබරවාරි මස මැද භාගයේදී ඉන්දියාවේ සිදු කෙරෙන නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සහයෝගිතාව සඳහා මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ගැනෙන විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉන්දියාවේ අදාළ ආයතනයන් සමඟ සාකච්ඡා කොට එකඟතාවකට පැමිණීමටත්, 2015 මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිත ගරු ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාගේ නිල සංචාරයේදී එම ක්ෂේත්‍රයන්ට අදාළව අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අවශ්‍ය කටයුතු කිරීමටත්, මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ගරු කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ 2014 සහ 2015 වර්ෂ සඳහා වූ ක්‍රියාකාරි සැලැස්ම අත්සන් කිරීම 

    කෘෂිකාර්මික සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින අවබෝධතා ගිවිසුමෙන් එකඟවී ඇති පරිදි දෙපාර්ශ්වයේ එකඟතාව මත සහයෝගිතාව ප්‍රවර්ධනය පිණිස ද්විවාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් අත්සන් කොට ක්‍රියාවට නැංවිය යුතු වේ. ඒ අනුව, ජනාධිපතිතුමාගේ‍ යෝජිත ඉන්දියානු නිල සංචාරය තුළදී එම ක්‍රියාකාරී සැලැස්ම අත්සන් කිරීම පිණිස වැඩබලන වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය, ගරු අනෝමා ගමගේ මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවකයින්ගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම පිණිස ඉන්දියානු රජයේ ආධාර මත නිවාස ඉදි කිරීම

    හැටන් ඇතුළුව නුවරඑළිය දිස්ත්‍රික්කය, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ සහ ගාල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැවිලි ක්ෂේත්‍රයේ වතු කම්කරුවන් සඳහා තනි නිවාස 20,000ක් ඉදි කිරීමට සහ පළමු අවස්ථාවේදීම අවශ්‍ය නව තනි නිවාස ලබා දීමට නොහැකි පවුල් සඳහා වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කිරීම පිණිස තාවකාලික පියවරක් ලෙස දැනට පවතින ලයින් කාමර 30,000ක වහලවල් අලුතින් සවි කිරීමට සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියානු රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක පමණ ප්‍රදානයක් ලබා ගැනීම පිණිස ජනාධිපතිතුමාගේ යෝජිත ඉන්දීය සංචාරයේදී ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීම පිණිස වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, ගරු යූ.පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වී අලෙවි මණ්ඩලය මඟින් 2014/2015 මහ කන්නය සඳහා රජයේ ප්‍රතිපාදන යොදවා වී තොග මිල දී ගැනීම  

    2014/2015 මහ කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම පිණිස, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා සහ මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පරිදි වී මෙ.ටො. 200,000ක් ලියාපදිංචි ගොවි සංවිධානවලින් දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් මිල දී ගැනීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශයට ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඉන්දීය ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අත්සන් කිරීමට යෝජිත රේගු කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා ගිවිසුම

    මෙම යෝජිත ගිවිසුම මඟින් රේගු කටයුතු සම්බන්ධයෙන් දෙරට අත‍ර අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය හා වැඩිදියුණු කිරීම මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය සහ සන්නිවේදනය ශක්තිමත් කිරීමද අපේක්ෂා කෙරේ. ඒ අනුව, දෙරට අතර පුළුල් වෙළඳ පහසුකම් සඳහා සහ රේගු කටයුතුවලදී බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීමට ද අපේක්ෂා කෙරේ. මෙම යෝජිත ගිවිසුම ජනාධිපතිතුමාගේ එළඹෙන ඉන්දීය සංචාරයේදී අත්සන් තැබීම පිණිස මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම  

    යුද සමයේ හමුදා පාලනය යටතේ තිබූ අක්කර 11,639 ක ඉඩම් ප්‍රමාණයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇති අතර, පලාලි ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනය යටතේ අක්කර 6,152 ක භූමිභාගයක් දැනට අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. එම අධි ආරක්ෂිත ප්‍රදේශයෙන් තවත් අක්කර 1,000 ක් අදියර වශයෙන් නිදහස් කිරීමට හා එහි පළමු අදියර වශයෙන් වලිකාමම් නැ‍ඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජේ 284-වලලායි ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අක්කර 220 ක් යුද්ධයෙන් අවතැන් වූ පවුල් 1,022 ක් නැවත පදිංචි කිරීම පිණිස ආදර්ශ ගම්මානයක් පිහිටුවීම සඳහා නිදහස් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මේ යටතේ එක් පවුලක් සඳහා පර්චස් 20 ක ඉඩම් කොටසක් සහ නිවාස ඉදි කිරීමට අවශ්‍ය ආධාර ද ලබා දීමට නියමිත අතර, පාසලක්, පෙර පාසලක්, රෝහලක්, ආගමික ස්ථාන, ප්‍රජා ශාලා සහ අනෙකුත් යටිතල පහසුකම් ඇති කිරීමට ද යෝජිතය. නිදහස් කිරීමට අපේක්ෂිත ඉතිරි අක්කර 780 ද යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම පිණිස යොදා ගැනීම පිණිස ඉදිරියේදී කටයුතු කරනු ඇත.

     

    නැ‍ඟෙනහිර පළාතේ පානම ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනය යටතේ පවතින ඉඩම්වලින්, දැනට ඉදි කෙරෙමින් පවතින ගොඩනැඟිලි ආශ්‍රිත අක්කර 25 ක භූමිභාගය හැර, ඉතිරි ඉඩම්, ප්‍රදේශයේ ඉඩම් නොමැති අයට ලබා දීමට හැකි වන පරිදි නිදහස් කිරීමට ද තීරණය කරන ලදී.

     

    කොළඹ ජනාධිපති මන්දිරය අසල අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගොඩනැඟිලි හා අරලියගහ මන්දිරය අවට පිහිටි දැනට ආරක්ෂක අංශ භාරයේ පවතින ගොඩනැඟිලි නිදහස් කිරීමට ද වැඩිදුරටත් තීරණය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya