අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2014.12.17

    දෙසැම්බර් 18, 2014

    තැපැල් කාර්යාල ඇප අරමුදල    

    වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි තැපැල් කාර්යාල අරමුදල් ආඥ පනත සංශෝධනය කිරීම පිණිස නීති සම්පාදන කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් සැපයීමට, තැපැල් සේවා අමාත්‍ය, ජීවන් කුමාරණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය

    සාමාජිකයන්ට ලාභාංශය ගෙවීීම හා අරමුදලට සේවා යෝජකයාගේ දායකත්වය වැඩි කිරීම පිළිබඳ  විධිවිධාන හඳුන්වාදීම
    වත්කම් මිලියන ටි‍්‍රලියනයකට වඩා ඇති සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුව මගින් කළමනාකරණය කෙරෙන අතර බැංකුව මෑත කාලයේ 10٪ක පමණ ආයෝජන ආදායම් උපදවන වාණිජ වත්කම්වල යෙදීමෙන් ලැබී ඇති ප‍්‍රාග්ධන අධි ප‍්‍රමාණය රුපියල් බිලියන 10ක් පමණ වේ. 2015 අයවැය යෝජනාවලට අනුකූලව වසර 10කට වැඩි ක‍්‍රියාකාරී ගිණුම් ඇති සාමාජිකයනට ලාභාංශ බෙදා දීමටත්, සේවා දායකයනට සිය වැටුපෙන් 22٪ක ඉතුරුම් ලැබෙන පරිදි සේවා යෝජකයාගේ දායකත්වය 14٪ දක්වා 2٪කින් වැඩි කිරීමටත් අපේක්ෂිතය. ඒ අනුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබා දීමට කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගන්නා ශික්ෂණලාභීන්  සඳහා අධ්‍යාපනවේදි උපාධිය පිරිනැමීම

    වර්තමානය වන විට විද්‍යාපීඨ 19ක් ක‍්‍රියාත්මක වන අත ඒවායේ පුහුණුව සඳහා වාර්ෂිකව බඳවා ගැනෙන ප‍්‍රමාණය 3000ක් පමණ වේ. විද්‍යාපීඨවල අධ්‍යයන කාලය අවුරුදු 04ක් වන පරිදි තවත් එක් අවුරුද්දකින් දික් කොට, ඒ පාඨමාලාව සාර්ථකව නිම කරන්නන් හට, 2014 වසරේ ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ සිට අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    මීරියබැද්ද නායයෑම - මිය ගිය අයගේ අවමංගල්‍ය වියදම් සඳහා ආසන්නම ඥාතීන්ට මූල්‍යාධාර හා තුවාල ලැබූවන්ට වෛද්‍යාධාර ලබා දීම

    ඉහත ආපදාවට ගොදුරු වූවන්ට පහත පරිදි සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

    x යෝග්‍ය ප‍්‍රතිලාභීන් නිසි පරිදි හඳුනා ගැනීමෙන් අනතුරුව ඉහත ආපදාව හේතුවෙන් මරණයට පත් වූ 12 දෙනා හා අතුරුදහන් වූ 20 දෙනා වෙනුවෙන් රුපියල් 100,000 බැගින් ගෙවීම.

    x තුවාල ලැබූ පස් දෙනා වෙනුවෙන් ඔවුන්ගේ තුවාලවල ස්වභාවය සැලකිල්ලට ගෙන එක් අයෙකුට රුපියල් 50,000ක උපරිමයක් දක්වා ගෙවීමට හා එහි මූලික වාරිකය වශයෙන් රුපියල් 10,000ක මුදලක් ගෙවීම.

    x අවමංගල්‍යාධාර වශයෙන් මිය ගිය තැනැත්තන්ගේ වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා හෝ ළඟම ඥතියාට රුපියල් 25,000ක් ගෙවීම.


    නායයෑම් උවදුරට ලක් වන ප‍්‍රජාවගේ අවදානම අවම කිරීම

    නායයෑමේ අවදානමට ලක් වූ පවුල් ඇතුළුව වතු ආශ‍්‍රිතව ජීවත්වන ප‍්‍රජාවන් සඳහා නිවාස 50,000ක් ඉදි කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන 2015 අයවැයෙන් රජය මේ වන විටත් වෙන් කොට ඇත. ආසන්න නායයෑමේ විපතට ලක් වූ වතු යාය ඇතුළුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉහළ අවදානමක් සහිත කලාප වශයෙන් හඳුනා ගන්නා ලද වතු සඳහා නිවාස ඉදි කිරීමට වැවිලි මානව සංවර්ධන භාරය හරහා මේ වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රමුඛතා පදනමින් ඒකාබද්ධව කටයුතු කරමින් පවතී. සුදුසු තාක්ෂණය යොදා ගනිමින් නායයෑම් අවදානම් සහිත ප‍්‍රදේශ හඳුනා ගැනීමට හා නාය යෑම් අවදානම අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.එ


    රත්මලාන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ පස් මහල් කාර්යාලීය ගොඩනැගිල්ලක් ඉදි කිරීම

    රත්මලාන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ පස් මහල් කාර්යාලීය ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හා එයට අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා ජලසම්පාදන හා ජලපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    Solar Universal Pumps සහිත පානීය ජල පවිත‍්‍රාගාර 10ක් සපයා ස්ථාපනය කිරීම

    හඳුනා නොගත් වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා ආරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණ ඇතිව Solar Universal Pumps සහිත පානීය ජල පවිත‍්‍රාගාර 10ක් සපයා ස්ථාපනය කිරීමට ජලසම්පාදන හා ජලපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    අනුරාධපුර ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීම යටතේ දෙමහල් දාන ශාලාවක් හා බහුකාර්ය ශිෂ්‍ය  කේන්ද්‍රීය මධ්‍යස්ථනයක් ඉදි කිරීම

    රුපියල් මිලියන 171.6ක  වියදමින් දාන ශාලාවක් හා රුපියල් මිලියන 76.4ක වියදමින්  බහු කාර්ය ශිෂ්‍ය කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් සඳහා දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින්  ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    මුලතිව් පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම

    රුපියල් මිලියන 209ක වියදමින් මුලතිව් පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිමය අවශ්‍යතාවන් සම්පූර්ණ  කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
     
    අර්තාපල් ආනයනය තහනම් කරමින් නිකුත් කරන ලද 2014.10.10 දිනැති අංක 1883/16 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය පරිච්ඡින්න කිරීමට අදාළ 2014.11.18 දිනැති අංක 1889/15 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    ශී‍්‍ර ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරීම

    රාජගිරියේ පිහිටි ශී‍්‍ර ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරීමට අදාළ කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප‍්‍රදානය කිරීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    ප‍්‍රමුඛතා පදනම මත ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සපයනු ලබන නළ ජල සැපයුම් සේවා ආවරණ ප‍්‍රදේශය පුළුල් කිරීම සඳහා භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යටතේ ජල සම්පාදන ව්‍යාපෘති 22ක් කි‍්‍රයාත්මක කිරීම.

    රටෙහි සියලු පළාත් ආවරණය වන පරිදි ජලසම්පාදන ව්‍යාපෘති 22ක් කි‍්‍රයාත්මක කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් කඩිනම් වැඩසටහනක් සැලසුම් කර ඇති  අතර දේශීය බැංකු මගින් මූල්‍යාධාර සැපයෙන  මේ ඔස්සේ 2015 මාර්තු වන විට 150,000ක ජනගහනයක් සඳහා ආරක්ෂිත පානීය ජලය සැපයීමට නියමිතය. මේ අරමුණ සඳහා අරමුදල් ලබා  ගැනීමේ කටයුතු ඉදිරියට කර ගෙන යෑම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන  අමාත්‍යවරයා වශයෙන්  අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු මගිල් ලබා ගත් අරමුදල් මගින් මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම

    මේ  අරමුණ  සඳහා අරමුදල් ලබා ගැනීම පිළිබඳ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ. මෙම ව්‍යාපෘතිය 2016 වසරේදී අවසන් කිරීමට නියමිතයි.


    පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය අදියර 111

    කි.මී. 29.22ක මුළු දිගින් යුත් පිටත වටරවුම් අධිවේගී මාර්ගය කොට්ටාවෙන් ඇරඹී කඩුවෙල කඩවත හරහා කෙරවලපිටිය තෙක් දිවේ. එය කොළඹ නගරයට පිටතින් ගමන් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගය,  කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය හා අනෙකුත් ප‍්‍රධාන අධිවේගී මාර්ගයන් සම්බන්ධ කරයි. මේ සඳහා අදාළ මූල්‍යාධාර ලබා ගැනීමේ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    හැටන් නුවරඑළිය මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය

    ප‍්‍රදේශයේ ජීවත්  වන ජනතාවගේ ප‍්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම, මේ මාර්ගයේ පවතින මාර්ග තදබදය දුරු කිරීම හා මාර්ගාරක්ෂාව වැඩි දියුණු කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණ වෙයි. මංතීරු දෙකක්  සහිතව කි. මී. 35.6ක් දිග හැටන් නුවරඑළිය මාර්ගය පුළුල් කිරීම හා දියුණු කිරීම මෙයට ඇතුළත් වේ. මේ සඳහා අදාළ මූල්‍යාධාර ලබා ගැනීමේ කටයුතු ඉදිරියට කර ගෙන යෑම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මගින් ඌරුගස්මන්හන්දිය, ගෝනාපීනුවල, දික්කුඹුර හා වැලිගම ජලසම්පාදන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම

    ඉහත කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප‍්‍රදානය කිරීමට ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එයට අදාළ මූල්‍යාධාර සපයා ගැනීමට  අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාම සදහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන ජාතික මාර්ග ජාලයේ ප‍්‍රධාන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය

    ඉහත ව්‍යාපෘතිය සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වෙතින් ශ‍්‍රී ලංකා රජය වෙත ජපන් යෙන් මිලියන 12,381ක් ලැබී ඇත. ජාතික මාර්ග ජාලයේ පවතින පටු හෝ අබලන් තත්ත්වයේ හෝ පවතින පාලම් තිස් හතක් (37) බස්නාහිර, දකුණ, වයඹ, උතුරු හා සබරගමු පළාත්වලින් මේ සඳහා හඳුනා ගෙන ඇත. කොන්ත‍්‍රාත් පැකේජ අංක 01ට පාලම් 10ක් අයත් වේ. කොන්ත‍්‍රාත් පැකේජ අංක 01 සඳහා වූ කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප‍්‍රදානය කිරීමට මහා මාර්ග වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    වික්ටෝරියා ජලාශ වේල්ලේ පුනරුත්ථාපන වැඩ කොන්ත‍්‍රාත්තුව පිරිනැමීම

    ලෝක බැංකුුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය ශ‍්‍රී ලංකා රජය වෙත වේලි ආරක්ෂණ හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා ණය මුදලක් ලබා දී ඇත. වික්ටෝරියා වේල්ලේ පුනරුත්ථාපන කටයුතු සඳහා එම ණය මුදලෙන් කොටසක් වැය කිරීමටත්, ඊට අදාළ කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප‍්‍රදානය කිරීමට වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ නිල කාලය දීර්ඝ කිරීම.

    ඉහත කමිටුවේ නිල කාලය 2014.12.31 සිට 2015.03.10 දින දක්වා දීර්ඝ කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    පිවිතුරු බලශක්ති හා ජාල කාර්යක්ෂමතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය

    - ලොට් A නව පොල්පිටිය හා පාදුක්ක ග‍්‍රිඩ් උපපොළ දෙක ඉදි කිරීම, පන්නිපිටිය දැනට පවතින කි.වො. 220/132/33 ග‍්‍රිඩ් උපපොළ වැඩි දියුණු කිරීම. ඉහත කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප‍්‍රදානය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    කොළඹ, ජාත්‍යන්තර සබඳතා සහ ක‍්‍රමෝපයික අධ්‍යයන සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය (LKIIRSS සහ බීජිංහි, කාලීන ජාත්‍යන්තර සබඳතා සඳහා චීන ආයතනය (CICIR) අතර අවබෝධතා ගිවිසුම

    ජාත්‍යන්තර සබඳතා සහ ක‍්‍රමෝපායික අධ්‍යයන සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය, කාලීන දේශිය හා ගෝලීය සන්දර්භයන් තුල, ජාත්‍යන්තර සබඳතා විෂය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමෝපායික අභිලාෂයන් විශ්ලේෂණය කිරීම සඳහා ඇපකැපවුණ බහු විෂයික පර්යේෂණ සංසදයකි. මෙම ආයනතය, ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනයෙහිලා දායකත්වය ලබා දීමේ අරමුණින් පර්යේෂණ හා විශ්ලේෂණ උත්පාදනය කිරීමේ සංසදයක් ලෙස කටයුතු කරයි.

    මේ සම්බන්ධයෙන් ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    පොහොර ප‍්‍රසම්පාදනය - මහ කන්නය 2014/2015

    සහනාධාර මිලක් යටතේ ගොවීන්ට පොහොර ලබා දීමේ වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සි/ස ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සි/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) විසින් ඉටු කරනු ලබයි.
    කැබිනට් ප‍්‍රසම්පාදන කමිටුව මගින් නිර්දේශිත පරිදි 2014/2015 මහ කන්නය සඳහා පොහොර මිලදී ගැනීමේ කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    2015 දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනය සහ සංවර්ධන වැඩසටහනට සමගාමීව මාතර කොටවිල වත්ත භූමියේ ඉදි කිරීමට නියමිත පුහුණු මධ්‍යස්ථානය

    2015 දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනය සහ සංවර්ධන වැඩසටහනට සමගාමීව මාතර කොටවිල වත්ත භූමියෙහි බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා පුහුණු පාසලක් ඉදි කිරිමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වශයෙන් චන්ද්‍රසිරි ගජධීර මහතා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් හා එහි ප‍්‍රවේශ මාර්ගය තැනීම

    කැබිනට් ප‍්‍රසම්පාදන කම්ටුව මගින් නිර්දේශි පරිදි ඉහත සඳහන් ඉදි කිරීම් කටයුතු සඳහා වූ ටෙන්ඩරය ප‍්‍රදානය කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    2014.10.29 වන දින කොස්ලන්ද, මීරියබැද්ද ග‍්‍රාමයේ සිදු වූ නාය යාම් ව්‍යසනයෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස ඉදි කිරීම.

    මස්කෙළිය වැවිලි සමාගමට අයත් අම්පිටිකන්ද/කොස්ලන්ද වතු යායේ මීරියබැද්ද කොටසෙහි, 2014.10.29 වන දින සිදු වූ නාය යෑම හේතුවෙන් පවුල් 75 ක් අවතැන් වී ඇති බැවින් ඔවුන් සඳහා නව නිවාස ඉදි කිරීමට, එම වතු යායට අයත් මැල්වන් කොටසෙහි (Malvan Division) හෙක්ටයාර 02ක පමණ භූමි ප‍්‍රමාණයක් වෙන් කර ඇත.

    මෙම නිවාස සෑදීම සඳහා සුදුසු බවට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය (NBRO) විසින් නිර්දේශ ලබා දී ඇති අතර, එහි මිනුම් කටයුතුද (Land Survey and Blocking Out Plan) අවසන් කර ඇත. මෙම නිවාස ඉදි කිරීම නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලැබේ. ඉදි කිරීම් ආරම්භ කරමින් මුල්ගල් තැබීමේ උත්සවය 2014.12.18 වන දින මස්කෙළිය වැවිලි සමාගමට අයත් අම්පිටිකන්ද/ කොස්ලන්ද වතුයායේ මැල්වන් කොටසෙහි පැවැත්වීමට සැලසුම් කර ඇත.
     
    මේ සම්බන්ධයෙන් පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya