අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.04.03 දින කැබිනට් මණ්ඩල තීරණ

    අප්‍රේල් 04, 2014

    රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අවිධිමත් ලෙස භාවිත කිරීම සහ 2012.11.22 දින පැවති රජරට වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය පිළිබඳ වූ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම

    මුදල් හා ක්‍රමසම්පාදන, තාක්ෂණ හා පර්යේෂණ , ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම්, කෘෂිකර්ම හා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගෙන ඉහත කී ක්‍රියාකාරී සැලැස්ම කඩිනමින් ඉටුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.


    යෝජිත ජාතික ඖෂධ, උපකරණ සහ විලවුන් නියාමන අධිකාරිය පනත් ‍‍කෙටුම්පත

    නීති කෙටුම්පත් සම්පාදක විසින් ඉහත කී නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා සකස්කර ඇති පනත් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. මෙම නියාමන අධිකාරිය ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතු වන්නේ සුරක්ෂිත, ගුණාත්මක හොඳ තත්ත්වයෙන් යුත් ඖෂධ, සුරක්ෂිත, ඵලදායි සහ පිළිගත හැකි ගුණාත්මක තත්ත්වයෙන් යුත් උපකරණ සහ සුරක්ෂිත සහ පිළිගත හැකි ගුණාත්මක තත්ත්වයෙන් යුතු විලවුන් දැරිය හැකි මිල ගණන්වලට මහජනතාවට ලබා ගැනීමට ඉඩ සැලසීම, ඖෂධ, උපකරණ , විලවුන් හෝ විමර්ශන ඖෂධ නිෂ්පාදන ආනයනය හා ලියාපදිංචි කිරීමට අදාළ සියලු කටයුතු විනිවිද භාවයෙන් තිරසාරව සාධාරණ ලෙස සිදුකිරීම, ජාතික ඖෂධීය තත්ත්වපාලන විද්‍යාගාරය හා අනෙකුත් විද්‍යාගාර මඟින් සහතික කරන ලද ඖෂධ සෞඛ්‍ය අංශ හා මහජනතාවට ලබා දීම සහතික කිරීම මහ ඖෂධ, උපකරණ විලවුන් හෝ විමර්ශන ඖෂධ ආනයනය හා ලියාපදිංචි කිරීම විනිවිද භාවයකින් ඉටුකිරීම සහතික කිරීම යන කරුණුයි.
    ඖෂධ වර්ග ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම, දිරිදීම හා ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික පියවර වශයෙන් මෙම පනත් කෙටුම්පත නීති සම්පාදනය සඳහා වූ කැබිනට් අනු කමිටුවට ඉදිරිපත් කර එම කමිටුවේ නිර්දේශය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    නිවාස හා තිරසාර නාගරික සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වන සමුළුව (හැබිටැට් iii) 2016

    නිවාස හා තිරසාර නාගරික සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වන සමුළුව (හැබිටැට් iii) 2016 වසරේ පැවැත්වීමට නියමිතය. වසර 20කට වරක් පැවැත්වෙන මෙම සමුළුව එම සංවිධානයේ සාමාජිකත්වය දරන සියලු රටවල නිවාස හා නාගරික සංවර්ධනය පිළිබඳ ගරු මැති ඇමතිවරුන් හා අදාළ රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මේ සඳහා අදාළ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ යුතු සියලු කටයුතු සංවිධානය කිරීමටත් සමුළුවට ඉදිරිපත් කළ යුතු වාර්තාව සැකසීමටත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    සමාජ පරිවර්තන සහ ඒකාබද්ධතා ව්‍යාපෘතිය සඳහා පහසුකරණය (FLICT) ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබාදීම

    පුද්ගල හා සාමුහික අයිතිවාසිකම් සහ අන්‍යෝන්‍ය ගරුත්වය සහතික කරන්නාවූ සමාජ ඒකාබද්ධතාවෙන් යුතු, සංවර්ධිත, ත්‍රෛභාෂික සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, මඟපෙන්වීම සහ පහසුකම් සැලසීම යන මෙහෙවර සාක්ෂාත් කර ගැනීම උදෙසා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය සමාජ පරිවර්තන සහ ඒකාබද්ධතා ව්‍යාපෘති සඳහා පහසුකරණය (FLICT) ව්‍යාපෘතිය සමඟ 2004 වසරේ සිට එක්ව කටයුතු කරයි.
    ව්‍යාපෘතියේ අවසන් අදියර 2014 වසරේ ජනවාරි මස සිට 2017 පෙබරවාරි මස දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
    ව්‍යාපෘතියේ අවසන් අදියර සඳහා යුරෝ 3,399,158.40ක ප්‍රතිපාදන සඳහා ඒකාබද්ධ දායකත්වය සපයනු ලබන්නේ ජර්මානු රජයේ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් ජර්මානු ජාත්‍යන්තර සහයෝගිතා BMZ ආයතනය මඟින් යුරෝ මිලියන 2.5ක් සහ යුරේපියන් කොමිසම (EU) මඟින් යුරේ 899,158.40ක් වශයෙනි.
    මේ සඳහා සකස්කර ඇති ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.


    ආසියානු හා ශාන්තිකර කලාපීය පොල් ප්‍රජා සංසදයේ 46 වන පොල් තාක්ෂණ රැස්වීම - 2014 ජූලි මස 7 සිට 11
    ආසියානු ශාන්තිකර පොල් ප්‍රජා ආයතනය වූ කලී ආසියානු ශාන්තිකර කලාපය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කොමිසමේ (UN-ESCAP) අනුග්‍රහය යටතේ පොල් වගා කෙරෙන රටවල් 18ක සහභාගිත්වයෙන් 1969 වසරේ දී ස්ථාපිත කලාපීය අන්තර් රාජ්‍ය ස්වෛරී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන සංසදයකි. ලෝකයේ පොල් නිෂ්පාදනයෙන් 85% - 90% ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ආසියානු ශාන්තිකර කලාපීය පොල් ප්‍රජා ආයතනයේ සාමාජික රටවල් විසිනි. ශ්‍රී ලංකාව මෙම ආයතනයේ සාමාජිකයෙකු වන අතර ලෝකයේ විශාලතම පොල් වගා කරන රටවල් අතර සිව්වන ස්ථානයේලා ගැනේ.
    ආසියානු හා ශාන්තිකර කලාපීය පොල් ප්‍රජා සංසදය 46 වන පොල් තාක්ෂණ රැස්වීම (COCOTECH) ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා රටවල් 18ක නියෝජිතයන් 100 දෙනෙක් පමණ සහභාගිවීමට නියමිතය. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා විසින් මෙම විස්තර කැබිනට් මණ්ඩලයේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.


    දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම

    අදියර 2 යටතේ කොන්ත්‍රාත් අටක් (08) ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම
    ස්ථාවර ප්‍රසම්පාදන කමිටු (SCAPC) නිර්දේශ අනුව පහත සඳහන් මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා ටෙන්ඩර් පිරිනැමීම මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වන අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
    01 පැරණි කොළඹ ගාල්ල (ඒ2 ) මාර්ගයේ කි.මී.17.50 සිට කි.මී. 25.20 දක්වා කොටස
    02 බිබිල - ඌරනිය- මහියංගනය (බී57) මාර්ගයේ කි.මී. 0.00 සිට කි.මී. 10.00 දක්වා කොටස
    03 බිබිල-ඌරනිය-මහියංගනය (බී57) මාර්ගයේ කි.මී. 18.00 සිට කි.මී. 22.00 දක්වා කොටස
    04 මල්ලවපිටිය- රම්බොඩගල්ල- කැප්පෙට්ටිපොළ (බී264) මාර්ගයේ කි.මී. 0.00 සිට කි.මී. 10.00 දක්වා කොටස
    05 මල්ලවපිටිය- රමුබොඩගල්ල- කැප්පෙට්ටිපොළ (බී264) මාර්ගයේ කි.මී. 10.00 සිට කි.මී. 15.75 සහ කි.මී. 20.25 සිට කි.මී. 37.81 දක්වා කොටස
    06 ඇඹිලිපිටිය - මොරකැටිය- කිරිඉබ්බන්ආර-උඩමවුආර (බී549) මාර්ගයේ කි.මී. 06.12 සිට කි.මී. 14.84 දක්වා කොටස
    07 වැලිගත්ත- බුන්දල- කිරින්ද මාර්ගයේ කි.මී.0.00 සිට කි.මී. 19.20 දක්වා කොටස
    08 තංගල්ල-කඳුරුපොකුණ - බෙලිඅත්ත - කඳුරුපොකුණ- දෙද්දුවාවල මාර්ගයේ කි.මී.0.00 සිට කි.මී. 12.76 දක්වා කොටස


    කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨය සඳහා මහල් 7කින් සමන්විත ගොඩනැගිල්ලේ 2 අදියර ඉදිකීරීම

    ඉහත කී කොන්ත්‍රාත්තුව සඳහා ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශ වූ අවම මිල ගණන වන රු. 228,604,705.00 ටෙන්ඩරය ඉදිරිපත් කර ඇති ටෙන්ඩර්කරුට මෙම කොන්ත්‍රාත්තුව ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ‍දෙන ලදී. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසිනි.

     

    කොරියානු අපනයන ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල යටතේ ලබාගන්නා වූ ණය මුදලක් මඟින් ශ‍්‍රී ලංකාව තුළ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා ලබා ගැනීම (අපනයන ආනයන බැංකුවේ ණය ගිවිසුම් අංකය SRI 21)

    ශ‍්‍රී ලංකාව මඟින් මූලික වියදම වන ඇ.ඩො. 8,350,000ක මුදලක් වියදම් කර අරඹන ලද ඉහත සිව් අවුරුදු ව්‍යාපෘතිය සඳහා කොරියානු රජය ඇ.ඩො. 33,536,000කට නොවැඩි වන සේ කොරියානු වොන් මඟින් ණය මුදලක් ලබා දෙයි. අනුරාධපුරයේ කීරික්කුලම, හික්කඩුවේ මොන්රෝවියාවත්ත, පානදුරේ මාලමුල්ල හා උඩුනුවර ගෝනාධිකවත්ත යන ප‍්‍රදේශවල සනීපාරක්ෂක කසළ රඳවන ඉදිකෙරෙන අතර මේ මඟින් පොකුරු ක‍්‍රමය යටතේ අදාළ පළාත් පාලන බල ප‍්‍රදේශවල ජනනය වන කසළවල අවශේෂ අවසාන ලෙස බැහැර කිරීම සඳහා පහසුකම් සැපැයීමට අවස්ථාව සැලසේ. ඉහත ව්‍යාපෘතියේ උපදේශක සේවා සඳහා වූ ටෙන්ඩරය ලබාදීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    කුණ්ඩසාලේ ප‍්‍රාසංගික කලා නිකේතනයේ ඉදිකිරීම් කටයුතු

    මධ්‍යම පළාතේ කුණ්ඩසාලේ පිහිටි අක්කර 05ක භූමි ප‍්‍රදේශයක මේ ආයතනයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර එහි නේවාසිකාගාර දෙකෙහි ඉදිකිරීම් කඩිනමින් නිම කළ යුතු ව පවතී. මෙහි ඉදිකිරීම් කටයුතු රජයට සම්බන්ධ වූ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය හා ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය අතර අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

    ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට හා එය ක‍්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්. බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලැබිණ.

     

    දුම්රිය අනාරක්ෂිත හරස් මාර්ග 200ක් සඳහා ආරක්ෂණ පද්ධති සැපයීම හා ස්ථාපනය

    දුම්රිය අනාරක්ෂිත හරස් මාර්ග 200ක් සඳහා ආරක්ෂණ පද්ධති සැපයීම හා ස්ථාපනය සඳහා වන ප‍්‍රසම්පාදනය ඇ.ඩො. 6,478,190.00ක වියදමක් යටතේ අවම ලන්සුකරු වෙත පැවරීමට ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    දේශීය බැංකු ණය මුදල් උපයෝගී කරගනිමින් ප‍්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය කිරීම

    පහත දැක්වෙන මාර්ග කොටස් පුනරුත්ථාපනය සඳහා ණය මුදල් ලබාගැනීමට දේශීය බැංකු සමඟ ගිවිසුම්වලට එළඹීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමල මාර්ගයේ ගලේවෙල සිට දඹුල්ල දක්වා (කි.මී. 14) මාර්ග කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම හා කෝට්ටේ - බෝපේ මාර්ගයේ (බී240) කි.මී. 0.00 සිට කි.මී. 3.70 දක්වා හා බත්තරමුල්ල - පන්නිපිටිය මාර්ගයේ (බී47) කි.මී. 0.00 සිට කි.මී. 3.50 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම.


    බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

    බස්නාහිර පළාත තුළ ඇති මහාමාර්ගවලින් පුළුල් හා සංවර්ධනය කර වැඩිදියුණු කළ යුතු මාර්ග කි.මී. 26.13ක් මහාමාර්ග, වරාය, හා නාවුක අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා වන වියදම ඇ.ඩො. මිලියන 22.7කි. ඉහත ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 17ක් ලබාදීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල එකඟ වී ඇත. ඉහත ණය මුදල ලබාගැනීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ගිවිසුමකට එළඹීම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    රත්මලාන/මොරටුව හා ජාඇළ/ඒකල ප‍්‍රදේශවල අපිරිසුදු ජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය

    ඉහත ව්‍යාපෘතිය සඳහා වැය වූ අතිරේක පිරිවැයට සරිලන ලෙස 2006 වසරේ දී ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනය විසින් ලබාදෙන ලද ණය මුදල එම ආයතනයේ එකඟතාව සමඟ ඇ.ඩො. 95,060,656 දක්වා ඉහළ නැංවීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    දඬුවම් විඳින තැනැත්තන් භාරදීම සඳහා ශ‍්‍රී ලංකා රජය සහ වියට්නාම රජය අතර ඇති කරගන්නා ගිවිසුම

    ශ‍්‍රී ලංකාවේ අධිකරණයක් විසින් ශ‍්‍රී ලංකාවේ දී වරදකට වරදකරු කොට බන්ධනාගාර ගතකිරීමකින් දඬුවම් කරනු ලැබූ යම් වෙනත් රටක පුරවැසියකුට ඔහුගේ දණ්ඩන නියමය ඔහු පුරවැසියකු යැයි හිමිකම්පාන රට තුළ විඳීමට ඒ තැනැත්තාට හැකියාව ලැබෙන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාරදීමේ පනතේ ඇතුළත් වේ. එසේ ම යම් නිශ්චිත රටක දී යම් වරදකට වරදකරු කොට බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කරනු ලැබූ ශ‍්‍රී ලාංකික පුරවැසියකුට ඔහුගේ ඉතිරි සිර දඬුවම් කාලය විඳිනු පිණිස ශ‍්‍රී ලංකාවට භාරදීම සඳහා ද මේ පනතෙන් විධිවිධාන සැලසෙයි. ඉහත ගිවිසුම, වියට්නාම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ ඉදිරි ශ‍්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටු සංකීර්ණය ඉදිකිරීම - 1 වන අදියර

    අනුරාධපුරය හා අවට ප‍්‍රදේශවල වැඩවාසය කරන භික්ෂූන් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති විශේෂ භික්ෂු වාට්ටුව ගරා වැටුණු තත්ත්වයෙන් පැවතිණ. බිම් මහලින් හා පළමු මහලින් යුත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව භික්ෂු වාට්ටු සංකීර්ණයේ 1 වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු රජයට සම්බන්ධ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත රුපියල් 59,787,498.85ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ පැවරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය වෙතින් ඇ.ඩො. මිලියන 83ක ණය මුදලක් ලබාගැනීම

    දැනුම මත පදනම් වූ ආර්ථිකයක් කරා ශ‍්‍රී ලංකාව යන ගමනේ දී පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා ඒකාබද්ධ ක‍්‍රියාවලියක් ලෙස මානව ප‍්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීමේ ඇති වැදගත්කම රජයේ සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව මඟින් හඳුනාගෙන ඇති අතර, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ඒ සඳහා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. 2020 වන විට දේශීය හා විදේශීය ශ‍්‍රම වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන කාර්යක්ෂම නිපුණතා සංවර්ධන පද්ධතියක් ගොඩනැංවීමේ උපායමාර්ගික රාමුව සපයන්නා වූ ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන රජය විසින් දියත් කරනු ලැබිණ. මේ සඳහා ඇ.ඩො. මිලියන 83කට සමාන මුදලක් විශේෂ හර ගැණුම් හිමිකම් ව්‍යවහාර මුදලින් ලබාදීමට ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය එකඟ විය. මේ ණය මුදල ලබාගැනීමට අදාළ කටයුතු කරගෙන යාමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    ජලවේලි සුරැකුම් හා ජලසම්පත් සැලැසුම්කරණ ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යන අවශ්‍යතා සපුරාගැනීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය වෙතින් ඇ.ඩො. මිලියන 83ක ණය මුදලක් ලබාගැනීම

    ඉහත ව්‍යාපෘතියේ, දිවයිනේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජලවේලි පුනරුත්ථාපනය හා නවීකරණය ඇතුළු ක‍්‍රියාකාරකම් මූල්‍යනය සඳහා ඇ.ඩො. මිලියන 83ක අතිරේක මූල්‍යන පහසුකම් සැපයීමට අන්තර්ජාතික සංවර්ධන සමායතනය එකඟ වී ඇත. මේ ණය මුදල ලබාගැනීමට අදාළ කටයුතු කරගෙන යාමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    අඹතලේ ජලසම්පාදන පද්ධතියේ වැඩිදියුණු කිරීම් හා බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය සහ කොළඹ නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීම උදෙසා ණය පහසුකම

    නගරයේ පදිංචිකරුවන්ට අඛණ්ඩ ජල සැපයුමක් හා සනීපාරක්ෂක සේවා තහවුරු කිරීම සඳහා මහ කොළඹ ප‍්‍රදේශයේ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි. අඹතලේ ජලසම්පාදන පද්ධතියේ වැඩිදියුණු කිරීම් හා බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය සහ කොළඹ නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීම සඳහා ප‍්‍රංශය විසින් ඇ.ඩො. මිලියන 100.86ක ණය පහසුකමක් සැපයෙන අතර ඉතිරි මුදල වන ඇ.ඩො. මිලියන 36.24ක මුදල ශ‍්‍රී ලංකා රජය විසින් දරනු ලැබේ. මේ ණය මුදල ලබාගැනීමට අදාළ කටයුතු කරගෙන යාමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     


    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya