මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    17.07.2014 - අමාත්‍ය මණ්ඩල තීරණ

    ජූලි 17, 2014

    කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් නැවත පදිංචි කරවීමනාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගරයේ පදිංචි පැල්පත්වාසීන් හා අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 65,000ක් පමණ ඉදිකිරීමට සැලසුම්කර ඇත.

     


    මේ අනුව සියලු පහසුකම්වලින් යුත් බහුමහල්වලින් යුත් තට්ටු නිවාස පද්ධතීන් ඉදිකර මෙම පවුල් එම නිවෙස්වල පදිංචි කිරීමට නියමිතය. මෙමගින් මුදවා හරිනු ලබන ඉඩම් එම තට්ටු නිවාස ඉඳිකිරීමට මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත්, එනම් සංචාරක කටයුතු, පොදු පහසුකම් සහ අනෙකුත් ගොඩනැඟිලි ඉදිකිරීමට යොදවා ගනු ලබනු ඇත. මෙය කොළඹ නගර සංවර්ධන සැලැස්මට අනුව ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවටත්, මේ සඳහා හඳුනාගෙන ඇති රජයේ ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාදීමටත්, ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.


     ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සංශෝධනය කිරීම


    මේ සම්බන්ධයෙන් දැනට පවතින පනතේ වගන්ති අනවසර ගොඩකිරීම් හෝ සංවර්ධන කටයුතු කඩිනමින් නැවැත්වීම සඳහා නිසිබල ඇති අධිකරණයක් විසින් අතුරු නියෝගයක් නිකුත් කිරීම සඳහා දැනට පවත්නා පනතේ වගන්ති සංශෝධනය කිරීමටත්, අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලේ කරුණු මත අනවසර ගොඩකිරීම් හෝ සංවර්ධන කටයුතු වහාම නැවැත්වීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණයක් විසින් අතුරු නියෝග නිකුත් කිරීමටත් බලතල ලබාදීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


     මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් පවරා ගැනීම


    බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරය ලෙස භාවිත කළ ඇහැළේපොළ වලව්ව සංස්කෘතික මධ්‍යස්ථානයක් හා නාගරික පහසුකම් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටයුතු ආරම්භ කර ඇත. මේ අනුව ඇහැළේපොළ වලව්ව පිහිටි හෙක්ටයාර් 0.3866 ප්‍රමාණයේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාදීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    හොරණ සතිපොළ ගොඩනැගිල්ල ඉදිකිරීම


    හොරණ නගරය සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රධාන සැලැස්මක් හොරණ නගරය හා ඒ අවට ප්‍රදේශ සඳහා සකස්කර ඇත. ඒ අනුව බස්නැවතුම්පොළ සංවර්ධනය, වෙළඳපොළ සංවර්ධනය, සතිපොළ ඉදිකිරීම හා සොරනවත්ත ඉඩමෙහි ආයතන, විනෝද පහසුකම් සහ නිවාස සංවර්ධනය ආදී ව්‍යාපෘතින් මෙම සැලැස්ම අනුව ක්‍රියාත්මක කරනු ලැබේ.  මෙම සතිපොළේ වෙළඳ කුටි 400කට වාහන නැවැත්වීම සහ අනෙකුත් පහසුකම්ද සපයාදෙනු ඇත. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    කොළඹ 12 ශාන්ත සෙබස්තියන් ගමේ (ගුණසිංහපුර) පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල හිමිකම ‘නිදහස් දීමනාවක් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරීම’.


     මෙම මහල් නිවාසවල පදිංචිකරුවන්ට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඔවුන්ට අයත් ඉඩම් ඔප්පු ලබාදීම සඳහා මෙම ඉඩම නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


     ඇහැළියගොඩ නගර සංවර්ධනය


    කුඩා හා මධ්‍යම නගර සංවර්ධන වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට පිවිසෙන ප්‍රමුඛ නගරයක් ලෙස ඇහැළියගොඩ නගරය දියුණු කිරීමට ඇති අවශ්‍යතාව ගැන හඳුනාගෙන ඇත. ඒ අනුව නගර අලංකරණ වැඩසටහන, මහජන පොළ, ක්‍රීඩා පිටිය සංවර්ධනය ක්‍රියාකාරී ව්‍යාපෘති වශයෙන් ඇහැළියගොඩ නගර සංවර්ධන සැලැස්ම තුළ ක්‍රියාත්මක කරනු ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    වීරකැටිය නගර සංවර්ධනය


     කුඩා හා මධ්‍යම පරිමාණ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආදර්ශ නගරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වීරකැටිය නගරය තෝරාගෙන ඇත. මේ අනුව මහජන පොළ සංවර්ධනය කිරීම සහ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම ක්‍රියාකාරී ව්‍යාපෘති 2ක් ලෙස ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


     කොළඹ ක්‍රමය ලේකම් කාර්යාලය සඳහා ඉඩමක් ලබා ගැනීම


    1951 වසරේ සිට ස්ථාපිත කරන ලද කොළඹ ක්‍රමය ලේකම් කාර්යාලය දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය ජනතාවගේ සමාජීය හා ආර්ථික කටයුතු ඉහළ නැංවීම සඳහා ප්‍රාග්ධන හා තාක්ෂණික සහය සපයනු ලබන ප්‍රමුඛ ජාත්‍යන්තර සහයෝගිතා යාන්ත්‍රණයක් ලෙස ශ්‍රී ලංකාව, පකිස්තානය, ඉන්දියාව, නවසීලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 7කගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මත කෙරේ. වර්තමානයේ රටවල් 27කින් සැදුම්ලත් විශාල ජාත්‍යන්තර සංවිධානයක් ලෙස මෙම සංවිධානය වර්ධනය වී ඇත.

    වර්තමානයේ ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන්ගේ කුසලතා හා දැනුම සංවර්ධනය කිරීම සඳහා වාර්ෂිකව විදේශ පුහුණු වැඩසටහන් 50කට ආසන්න ප්‍රමාණයක් කොළඹ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබාදේ. ජාත්‍යන්තර සංවිධානයක් වශයෙන් කොළඹ ක්‍රමය සංවිධානය ඉතා නුදුරේදී මධ්‍යම ආසියාව, අප්‍රිකාව හා මැදපෙරදිග රටවල තම වැඩසටහන් ක්‍රමිකව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි. ඉහත කරුණු සලකා බලමින් ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලයට අයත් හෝ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් හෝ කොළඹ නගරයේ පිහිටි ඉඩම්වලින් ඉඩම් කොටසක් කොළඹ ක්‍රමයේ ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ලබාදීමට මුදල් හා ක්‍රම සම්පාදන  අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ජනාධිපතිතුමා ශාන්ත කෲස්හිදී පැවති  G77 කණ්ඩායමේ සමුළුවට සහභාගී වීම සඳහා කළ සංචාරය හා බොලීවියාවේ නිරත වු නිල සංචාරය


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් බොලිවියාවේ ශාන්ත කෲස්හීදී පැවති G 77 කණ්ඩායමේ පනස්වන සාංවත්සරික අනුස්මරණ සමුළුවට සහභාගි වෙන ලදී. G 77 කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සංගමය තුළ පවතින සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම අන්තර් ආණ්ඩු සංවිධානයයි. 1964 දී පිහිටුවන ලද මෙම සංවිධානයේ දැනට රටවල් 133ක් නියෝජනය වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම සමුළුව අමතමින් කියා සිටියේ දිළිඳු බව තුරන්කොට කුසගිනි නිවීමේ කාර්යය G 77 කණ්ඩායමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාව විය යුතු බවයි. මෙහිලා විරැකියා හා දරිද්‍රතා මට්ටම පහත හෙළීමට දියුණු රටවල් මඟින් සිය ආර්ථික ආදායමෙන් 0.7%ක් මෙම රටවල්වලට ලබාදෙන්නේ නම් එයින් එම අවශ්‍යතාවන් සපුරාගත හැකිවනු ඇති බවයි.

    මෙම සංචාරයේදී ජනාධිපතිතුමා විසින් කියුබානු, උරුගුවේ, ගිනියාව යන රාජ්‍යවල ජනාධිපතිවරුන් සමඟත්, ගැබෝන් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සමඟත් ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන ලදී. බොලිවියාවේ කරන ලද සංචාරයේදී එම රටේ ඉහළම සම්මානය වන ‘ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත මාසෙලෝ කුයිරෝගා සැන්ටා කෲස් පාර්ලිමේන්තු අභිධානය’ යන සම්මානය පිරිනමන ලදී. ජනාධිපතිතුමා විසින් සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කිරීම සඳහා දක්වන කැපවීම පිළිගැනීමක් වශයෙන් මෙම සම්මානය ප්‍රදානය කරන ලදී.


    ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ජාතික පර්යේෂණ සභාව ස්ථාපිත කිරීම


    විශේෂිත ආයතනයක් ලෙස 2007 වසරේදී ජාතික පර්යේෂණ සභාව ස්ථාපිත කරන ලදී. එහි මූලික අරමුණ වූයේ උපරිම ප්‍රතිලාභ ලබාගත හැකිවන පරිදි රට තුළ කුසලතාවන්ගෙන් පරිපූර්ණ ජාතික විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රජාවක් බිහිකිරීමයි. මෙම ආයතනයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සදහා විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් ලබාදීමටත්, ජාතික පර්යේෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට නීති සැලසුම් කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.


    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයත් බහරේන් රාජධානියේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම


    මේ සම්බන්ධයෙන් අත්සන් කර ඇති ගිවිසුමට කැබිනට් ආවරණය ලබාගැනීම පිණිස සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.


    ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම - (2014-2018)

    රටෙහි ඇති විය හැකි ආපදාවන් අවම කිරීම, පාලනය කිරීම හා බලපෑම් ලිහිල් කිරීම සඳහා ආපදා කළමනාකරණය පිළිබඳ පුළුල් වැඩසටහන (2014-2018) ක‍්‍රියාත්මක කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    දුෂ්කර පාසල්වල ඩෙස් පුටු හිඟය

    දුෂ්කර ප‍්‍රදේශවල පාසල්වල ගුරුවරුන් හා සිසුන් සඳහා ඩෙස් පුටු සැපයීම සඳහා මධ්‍ය කාලීන අය-වැය රාමුව 2015-2017 යටතේ රුපියල් මිලියන 575ක් ලබාදීමට අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    දිගුකාලීන පදනමින් ශල්‍ය අත්වැසුම් සැපයීම සඳහා ටෙන්ඩරය (2014-2015 වසර)

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත සඳහන් ටෙන්ඩරය පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    රුධිරගත ග්ලූකෝස් මට්ටම මැනීම සඳහා වූ ග්ලූකෝස් ස්ට්රිප්ස් 10,059,962ක් හා ලැන්සෙට්ස් 10,059,962ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත සඳහන් ටෙන්ඩරය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලන්සු කරුවන් ගෙන් මිල ගණන් කැඳවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා යෝජිත කඩිනම් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම.

    රටෙහි පවතින නියඟය හේතුවෙන් පානීය ජලය හා වගාවනට අවශ්‍ය වාරි ජලය නොමැති වීමෙන් අනුරාධපුර, පොලොන්නරු, හම්බන්තොට, පුත්තලම, මන්නාරම, වවුනියා, මොනරාගල හා අම්පාර දිස්ත‍්‍රික්කවලත් මහනුවර හා මාතලේ දිස්ත‍්‍රික්කවල ඇතැම් ප‍්‍රදේශවලත් පවුල් 111,459ක් පීඩාවට පත් ව ඇත. නියඟයෙන් පීඩාවට පත් දිස්ත‍්‍රික්කවල පහත පිළියම් යෙදීමට නියමිත ය.

    01    උක්ත දිස්ත‍්‍රික්කවල ජලාශ හා වැව්වල ජල ධාරිතාව වර්ධනය කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම

    02    පීඩාවට පත් පවුල සඳහා පානීය ජලය බෙදාහැරීම සඳහා ජල බවුසර 37ක් යොදා ගැනීම


    03    තෝරා-ගත් වගා ළිං 600ක් කඩිනම් ලෙස ප‍්‍රතිසංස්කරණය කිරීම, හා
    04    මසකට රුපියල් 6,000ක ගෙවීමක් මත පීඩාවට පත් පවුල්වල ගොවීන්ගේ සහභාගීත්වයෙන් කුඩා වාරිමාර්ග පද්ධති, ඇළ මාර්ග හා ග‍්‍රාමීය මාර්ග     ප‍්‍රතිසංස්කරණය හා පවත්වාගෙන යාම සඳහා ‘වැඩ සඳහා මුදල්’ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම.
     

    අදාළ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල මගින් අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාමට හා ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල වන රුපියල් මිලියන 1304.4ක් ලබාදීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාල දිවයින් ජනරජයේ නිල සංචාරය

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් පසුගිය දා මාලදිවයිනේ සංචාරයක නිරත විණි.
     
    එහිදී ආර්ථික සහයෝගීතාව, සංචාරක ව්‍යාපාරය, සංස්කෘතිය, ධීවර කර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍යය, යෞවන හා නිපුණතා සංවර්ධනය, ක‍්‍රීඩා, රැකියා, තානාපති හා ප‍්‍රජා කටයුතු, නීති ක්ෂේත‍්‍රයේ සහයෝගිතාව, ගුවන් සේවා ආදි ද්වාපාර්ශ්වික සබඳතා පැවැත්විය හැකි ක්ෂේත‍්‍ර විමර්ශනය සඳහා ශ‍්‍රී ලංකා-මාලදිවයින් ඒකාබද්ධ කොමිෂන් සභාව යළි පණගැන්වීමට එකඟතාවක් ඇති විණ. සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් දෙකක් ද අත්සන් තැබිණ. ඉහත තොරතුරු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

    අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය විෂයය අසමත් වීම හේතුවෙන් අනිවාර්ය අධ්‍යාපන වයසේ සිටින දරුවන් පාසලෙන් නෙරපා-හැරීම වැළැක්වීම

    අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය විෂයය අසමත් වන දරුවන් තව දුරටත් පාසල් පද්ධතිය තුළ රඳවා ගැනීම සඳහා පහත සඳහන් අයුරින් ඔවුන් වෙත වැඩි දුර පහසු කම් සැපයීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


     01.    අ.පො.ස. (සා.පෙළ) විභාගය හොඳින් සමත් වූ නමුත් ගණිතය විෂයය අසමත් වූ සිසුන්හට ඒ විෂයය අවුරුදු දෙකක් ඇතුළත සමත් වීම සඳහා      අවස්ථාවක් ලබා-දීම,
     02.    එම සිසුනට අ.පො.ස. (උ.පෙළ) කලා විෂය ධාරාවට අමතර ව අ.පො.ස. (උ.පෙළ) තාක්ෂණ විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදය   හැදෑරීමට අවස්ථාව ලබා-දීම, හා
     03.    එවැනි සිසුන් සඳහා වෙන ම අතිරේක පන්තියක් පැවැත්වීම.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya