මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.07.03 - අමාත්‍ය මණ්ඩල තීරණ

    ජූලි 03, 2014

    තුන්වැනි ඉස්තාන්බුල් ජාත්‍යන්තර ජල සංසදය මැයි 27 - 29 දක්වා
     

    ශ්‍රී ලංකාවේ දූත පිරිසක් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම සංසදයට සහභාගී වූහ.


    ජලය පිළිබඳ උගතුන්, විද්‍යාඥයන් සහ එම ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සහභාගී වූ මෙම සංසදයේදී ජල සුරක්ෂිතාව සහ ජලය පිළිබඳ නෛතික දෘෂ්ටික විෂයයන් කෙරෙහි අවධානය යොමු කරන ලදී.


    ජලය සහ සනීපාරක්ෂක ආසියානු කලාපය සඳහා වූ සාක්ෂරතා ඉලක්කයන්  මුදුන්පත් කර ගැනීම සඳහා පොදු ක‍්‍රියාපරිපාටියක් අනුගමනයක කිරීමට රැස්වීමේදී එකඟතාව පළ කරන ලදී. මෙම සංසදය පිළිබඳ වාර්තාවක් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
     

    බෙදුම් නඩු නීතිය යටතේ සකස් කරන ලද මිනුම් රෙගුලාසි ගාස්තු


    දැනට පවතින රෙගුලාසි සංශෝධනය කර මිනුම් කටයුතු සඳහා නව ගාස්තු නියම කර එම ගාස්තු ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශ කිරීමටත් ඉන්පසු එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ජනාධිපතිතුමා චීනයේ ෂැංහායි හි නිරත වූ සංචාරය - 2014 මැයි 20 සිට 21


    ජනාධිපති හමින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකාවේ දූත පිරිසක් ආසියාව තුළ අන්‍යෝන්‍ය ක‍්‍රියාකාරිත්වය ඇති කර ගැනීමේ හා විශ්වාසය ගොඩනගා ගැනීමේ පියවර පිළිබඳ 4 වැනි සමුළුවට සහභාගී වූහ.


    ජනාධිපතිතුමා සමුළුව අමතමින් නව ආසියානු ආරක්ෂක සංකල්පයක දැක්මේ වැදගත්කම පෙන්වා දෙමින් ආසියාවේ යම් කටයුත්තක් සමතයකට පත්කර ගැනීමේදී ආසියාව මුල් තැන ගැනීම යෝග්‍ය බව ද පෙන්වා දෙන ලදී. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවේදී ලෝක තරුණ සමුළුව ඉතා සාර්ථකව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් මහ ලේකම්වරයා ප‍්‍රශංසාව පළ කරන ලද අතර ශ‍්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් ලබා ඇති දියුණුව කෙරෙහි ද සතුට පළ කරන ලදී. මෙම වාර්තාව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන  ලදී.


    දේශීය වෙළෙඳපොළ තුළ පොල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදකයන්ගේ භාණ්ඩ සඳහා නිසි වෙළෙඳපොළක් සකසා දීම


    පොල් හා ඒ ආශ‍්‍රිත නිමි භාණ්ඩ 150 ක් පමණ නිෂ්පාදනය වන අතර ඉන් තෝරා ගත් නිෂ්පාදන 50කට අධික ප‍්‍රමාණයක් විදේශ වෙළෙඳපොළට අපනයන කරයි.


    එ මඟින් රුපියල් බිලියන 50කට ආසන්න විදේශ විනිමයක් වාර්ෂිකව උපයා ගනු ලැබේ.  පොල් සංවර්ධන අධිකාරිය හරහා කොහු මෙට්ට, ඉදල්, පාපිසි, වැසිකිළි, කැසිකිලි පිරිසිදු කිරීමේ උපකරණ සියයට ප‍්‍රමාණයක් රාජ්‍ය ආයතනවලට ලබාදීමට පොල් සංවර්ධන ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතා විසින් යෝජනා කරන ලදී.


    ඒ අනුව මෙම භාණ්ඩ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී දේශීය නිෂ්පාදකයන්ට 10%ක ප‍්‍රමුඛතාවක් දීමට කැබිනට් මණ්ඩලය එකඟ විය.


    දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ අරීය ගේට්ටු මධ්‍යයන පාලන ක‍්‍රමයක් යටතේ විදුලි පද්ධතියක් මඟින් පාලනය කිරීම


    දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ මඟින් අක්කර 30,000කට වාරි ජලය සපයන අතර කුරුණෑගල හා පුත්තලම දිස්ත‍්‍රික්කවල පවුල් 50,000කට පානීය ජලය සැපයීමට නියමිතය.


    මෙම ව්‍යාපෘතිය සඳහා අරීය ගේට්ටු මධ්‍යයන පාලන ක‍්‍රමයක් යටතේ පාලනය කිරීම සඳහා විදුලි පද්ධතියක් ස්ථාපනය කිරීමට වාරිමාර්ග හා ජල සම්පත්  කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     
    කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ‍්‍රයේ රක්තකාන්දු පෙරණ ඒකකය සහ වකුගඩු රුධිරවාහිණි බද්ධ කිරීමේ ඒකකය ස්ථාපිත කිරීම


    මෙම නව ඒකකයන් දකුණු පළාතේ ප‍්‍රධානතම මධ්‍යස්ථානය වශයෙන් විශාල සේවාවක් ඉටු කරනු ලබන අතර මොණරාගල, රත්නපුරය වැනි යාබද දිස්ත‍්‍රික්කයන්හි ජනතාව ද මෙම ඒකකයේ සේවාවන් ලබා ගනු ලැබේ.


    මෙම ඒකකයන් ඇතුළත් නව පස් මහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉඳිකිරීමටත් එය තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත ගොඩනැගිලි ඉඳිකිරීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් මිලියන 884.89කට ඉදිකිරීම් හා ඉංජිනේරු කාර්යාංශයට පැවරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගල්අඟුරු දැවි අළු විකිණීම


    පුත්තලම් ගල්අඟුරු විදුලිබල ව්‍යාපෘතියේ 11 වන අදියරේ 2 වන යන්ත‍්‍රයේ කටයුතු 2014 අපේ‍්‍රල් මස ඇරැඹි අතර 3 වන යන්ත‍්‍රය 2014 සැප්තැම්බරයෙහි ඇරැඹීමට නියමිත ය. මෙ මගින් අඛණ්ඩ ව නිපදවෙන ගල්අඟුරු  දැවි අළු ඉවත් කළ යුතු අතර ඒවා සිමෙන්ති නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා හා කාර්මික අංශයේ වෙනත් කටයුතු සඳහා යොදාගත හැකි ය.


    එක් යන්ත‍්‍රයකින් ගල්අඟුරු දැවි අළු ටොන් 75,000 පමණ වාර්ෂික ව නිපදවෙන අතර යන්ත‍්‍ර දෙකෙන් ම වසරකට ටොන් 150,000 නිපද වේ. ගල්අඟුරු දැවි අළු සුදුසු කම් සහිත සමාගම් පහකට විකිණීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     
    ආසියානු සංවර්ධන බැංකුවේ හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ ණය යටතේ ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල විෂය පථය එකී ණය ශේෂයන් උපයෝගී කරගනිමින් පුළුල් කිරීම.
     

    ආසියානු සංවර්ධන බැංකුවේ හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ ණය යටතේ ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල කොන්ත‍්‍රාත්තු තරගකාරීත්වය හේතුවෙන් ඇස්තමේන්තුගත පිරිවැයට වඩා අඩු මුදලකට පිරිනැමීම මගින් ඉතුරු වූ මුදල් එකී ව්‍යාපෘතිවල විෂය පථය පුළුල් කිරීම සඳහා යොදාගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     
    ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රත්නපුර විගමනික සම්පත් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා කොන්ත‍්‍රාත්තුව පිරිනැමීම

     
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත කොන්ත‍්‍රාත්තුව පිරිනැමීම සඳහා විදේහ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     

    ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම
     

    රටෙහි මාර්ග ජාලය සංවර්ධනය කිරීම මගින් සියලු ප‍්‍රධාන නගර, ගුවන් තොටුපළ හා වරාය සම්බන්ධ කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති අතර ග‍්‍රාමීය මාර්ග අතර සම්බන්ධය තහවුරු කිරීම සඳහා වන ආයෝජන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම මගින් සියලු ගම්මාන මාර්ග ජාලය හා සම්බන්ධ කිරීමට සැලසුම් කරනු ලැබේ. ජනගහනය හා සංවර්ධන විභවතා මත පදනම් ව ග‍්‍රාමීය කේන්ද්‍රස්ථාන වශයෙන් ගම්මාන 1,000 පමණ තෝරාගැනීමට නියමිත ය. පහත සඳහන් පරිදි පළාත් පහක ව්‍යාපෘති පහක් ඔස්සේ මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇ.ඩො. මිලියන 800ක මූල්‍යාධාර ලබාදීමට එකඟ වී ඇති අතර මේ සඳහා වන රජයේ දායකත්වය ඇ.ඩො. මිලියන 106කි.
     
    1 වන ව්‍යාපෘතිය           -      දකුණු පළාත

    2 වන ව්‍යාපෘතිය          -      සබරගමුව පළාත හා බස්නාහිර පළාතේ කළුතර දිස්ත‍්‍රික්කය

    3 වන ව්‍යාපෘතිය           -      මධ්‍යම පළාත

    4 වන ව්‍යාපෘතිය          -      උතුරු මැද පළාත

    5 වන ව්‍යාපෘතිය           -      වයඹ පළාත
     

    ආසියානු සංවර්ධන බැංකුව සමග ඇති කරගැනීමට නියමිත ණය ගිවිසුම සම්බන්ධ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     
    ඩෙංගු මර්දන වැඩසටහන - 2014
     

    2014 ජූනි 20 සිට 22 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයනට අමතර ව ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් යොදාගනිමින් කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත‍්‍රික්කවල ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු අදියර සාර්ථක ලෙස ක‍්‍රියාවට නැංවීම අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ලක් වූ අතර එ මගින් පරිශ‍්‍රයන් 105,879ක් පිරිසුදු කිරීම ද, මදුරුවන් බෝ විය හැකි ස්ථාන 6,347ක් හඳුනාගැනීම, දැනුම් දීම් 3,796ක් නිකුත් කිරීම හා පරිශ‍්‍රයන් 1,787කට එරෙහි ව නීතිමය පියවර ගැනීම සිදු කෙරිණ.

    මේ වැඩසටහනේ දෙ වන අදියර 2014 ජූලි මස 03 වන දා සිට ජූලි මස 10 වන දා දක්වා ඒ දිස්ත‍්‍රික්කවල ම ක‍්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ බියකරු ඩෙංගු වසංගතය මුලිනුපුටා දැමීම සඳහා විශාල ජනතා සහයෝගයක් අවශ්‍ය වන බැවින් අදාළ ඩෙංගු මර්දන කණ්ඩායම් තම වාසස්ථාන වෙත පරීක්ෂා කටයුතු සඳහා පැමිණි අවස්ථාවේ දී ඔවුනට තම පූර්ණ සහයෝගය දක්වන මෙන් අමාත්‍ය මණ්ඩලය ජනතාව ගෙන් ඉල්ලා සිටී.

     

    HC/NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya