Print this page

අමාත්‍ය මණ්ඩල තීරණ - 2017.02.28

මාර්තු 01, 2017

2017.02.28 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන්ගේ, ගරු අග්‍රාමාත්‍යතුමාගේ, මුදල් ඇමතිතුමාගේ, අදාළ රාජ්‍ය නිලධාරින්ගේ, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් 2017‑02‑03 දින පවත්වන ලද රැස්වීමේදී එළඹි පහත සඳහන් තීරණ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා ඉදිරිපත් කරන ලදී.

* රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන පරිදි වර්තමානයේ භාවිත වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ මුදල් අමාත්‍යාංශය මඟින් වරින් වර නිකුත් කරනු ලැබ ඇති අදාළ අනෙකුත් උපදෙස් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මඟින් පියවර ගැනීම;

* අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇති, රජයේ ප්‍රසම්පාදන සඳහා අදාළ කරගත යුතු නව කාල රාමු, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට ඇතුළත් කිරීම;

* රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඉවහල්වන විද්‍යුත් ප්‍රසම්පාදනය (e-procurement)වැනි නවීන ප්‍රසම්පාදන ප්‍රවණතාවන් පිළිබඳ අවධානය යොමු කර වර්තමාන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සුදුසු පරිදි සංශෝධනය කිරීම හා යාවත්කාලීන කිරීම;

* රජයේ ඉදි කිරීම් කටයුතුවලදී සැලසුම් නිර්මාණය කිරීම සඳහා වැය වන කාලය සහ මුදල් අවම කරගැනීමේ අරමුණින්, අවශ්‍ය අවස්ථාවන්හිදී සුදුසු සංශෝධන සහිතව පොදු ඉදි කිරීමේ සැලැස්මක් මත කටයුතු කිරීම;

* රජයේ ප්‍රසම්පාදනය පිළිබඳ තාක්ෂණික කුසලතා රජයේ නිලධාරීන්ට ලබා දීමට කටයුතු කිරීම.


ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ භාවිතය සඳහා නෞකා 3ක් ලබාගැනීම


ශ්‍රී ලංකාවට අයත් වර්ග කිලෝමීටර 517,000ක් පමණ වූ සාගර කලාපයේ පරීක්ෂා කිරීම් සහ ආපදාවට ලක්වූවන් මුදා ගැනීමේ කටයුතු සඳහා මෙන්ම නීතිය හා සාමය පවත්වා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය නිරීක්ෂණ කටයුතු සිදු කිරීමේ කාර්යභාරය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ. මෙම කාර්යය සාර්ථකව ඉටු කිරීම සඳහා නොගැඹුරු මුහුදේ මෙන්ම ගැඹුරු මුහුදේ ද දියත් කළ හැකි නෞකා එම දෙපාර්තමේන්තුව සතුව පැවතීම අවශ්‍ය වේ. ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා මීටර 85ක් දිගැති අක්වෙරළ නිරීක්ෂණ නෞකා 3ක්, කලම්බු ඩොක්යාඩ් පොදු සමාගම මඟින් ඉදි කරවා ගැනීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානයට අනුගතව ජාතික ජෛව සුරක්ෂිතතා කාර්යරාමුව ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය

ජාන වෙනස් කිරීමට ලක් කරන ලද පැළෑටි හා ජීවීන්ගෙන් පරිසරයට හා මානව සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම අවම කිරීමේ හා මඟ හරවා ගැනීමේ අරමුණින් ජෛව සුරක්ෂිතතාව පිළිබඳ 'කාර්ටිජිනා සන්ධානය' (Cartagena Protocol on Biosafety) ලෝක ප්‍රජාව විසින් පිහිටුවා ගනු ලැබ ඇති අතර, ශ්‍රී ලංකාවද එම සන්ධානයේ පාර්ශ්වකරුවෙක් වේ. ජෛව තාක්ෂණයෙන් මානව සෞඛ්‍ය‍යට හා පරිසරයට ඇතිවිය හැකි අවදානම අවම කරගන්නා අතරම, එමඟින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ අත් කරගැනීම අරමුණු කරගනිමින් 'ජාතික ජෛව සුරක්ෂිතතා කාර්යරාමුව' (National Biosafety Framework) ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියක්, ගෝලීය පාරිසරික පහසුකම (Global Environmental Facility - GEF) විසින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 2.36ක මූල්‍ය ප්‍රදානය උපයෝගි කරගනිමින් 2017-2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

මහවැලි ජලාශයන්හි පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර පිහිටුවීම


තාප විදුලි ජනනය අඩු කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටා තිබෙන ජලාශවල මතුපිට පාවෙන සූර්ය විදුලිබලාගාර ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මාදුරු ඔය ජලාශයේ සම්පූර්ණ වපරිසරියෙන් 4%කටත් අඩු ප්‍රමාණයක්, එනම් අක්කර 500ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී යෝජනා (REP) කැඳවීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා; විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා; සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ව්‍යවසාය සංවර්ධනය පදනම් කරගත් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම


ගැටුම් අවසන් වීමත් සමඟ උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සමාජ - ආර්ථික තත්ත්වයන් සැලකිය යුතු අන්දමින් වර්ධනය වී ඇති නමුත්, ආදායම් ලැබීමේ අසමානතාව හා දරිද්‍රතාව වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම පළාත්වල දක්නට ලැබෙන තත්ත්වය අනෙකුත් පළාත්වලට සාපේක්ෂව පසුගාමී වේ. එබැවින්, කුඩා ව්‍යවසායකයින්ට නැඟී සිටීමට අත දීම මඟින් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ජනතාවගේ ආර්ථික සහභාගිත්ව අවස්ථා වැඩි පුළුල් කිරීමටත්, එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සණස බැංකු සමූහය සහභාගි කරගනිමින්, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක අටම (08) නියෝජනය වන පරිදි තෝරා ගනු ලබන කුඩා පරිමාණ ව්‍යවසායකයින් 1,785 දෙනෙකු සඳහා රුපියල් 250,000/-ක උපරිම සීමාවක් දක්වා සහන ණය මුදල් ලබා දීමේ අරමුණින් සැලසුම් කරනු ලැබ ඇති 'ව්‍යවසාය පදනම්ගත ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය', ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

රජයට අයත් ආයතන වෙත පොදු කටයුතු සඳහා දුම්රිය රක්ෂිත බදු ලබා දීම


දුම්රිය මෙහෙයුම් හා සංවර්ධන කටයුතු සඳහා වහාම අවශ්‍ය නොවන, දුම්රිය දෙපාර්තමේන්තුව භාරයේ පවතින ඉඩම් ස්වකීය අවශ්‍යතාවන්ට පසුව ලබාගැනීමට බාධාවක් නොවන පරිදි, රජයේ තක්සේරුව මත පදනම්ව, වර්ෂ පහකට (05) නොවැඩි කාලයක් සඳහා තුන්වන පාර්ශ්ව වෙත බදු දීම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. එහිදී එවැනි ඉඩම්, ජල නළ එළීම හා විදුලි ව්‍යාපෘති කටයුතු වැනි මහජන උපයෝගි පොදු කාර්යයන් සඳහා රාජ්‍ය ආයතන වෙත බදු ලබා දීමේදී, රජයේ තක්සේරුව අනුව එක්වරක් පමණක් අය කිරීම සඳහා නියම කරනු ලබන බදු මුදලින් 1%ක නාමික අගයක් හා අදාළ පරිපාලන වියදම් පමණක් අය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

කොළඹ පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කිරීම


කොළඹ පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ චාන්සරි ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා සුදුසු බවට හඳුනා‍ගනු ලැබ ඇති, කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි අක්කර 1.5ක ප්‍රමාණයකින් යුතු ඉඩම් කොටසක්, පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය වෙත වෙන් කර දීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

2016 මැයි මස ඇති වූ ගංවතුර හා නායයාමේ සිද්ධියට අදාළ පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම් වාර්තාව


2016 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වසර 18කින් පසුව වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ඇද හැළුණු අතර, ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක දරුණු ගංවතුර තත්ත්වයක් මෙන්ම මෙතෙක් වාර්තා වූ දරුණුතම නායයාම ද ඇතුළත්ව නායයාම් ගණනාවක් ඇති විය. මෙම ආපදා හේතුවෙන් පුද්ගලයින් 493,319 දෙනෙකු පමණ විපතට පත්වූ අතර, මරණ 93ක්, තුවාල සිදුවීම් 33ක් සහ පුද්ගල අතුරුදහන්වීම් 117ක් වාර්තා විය. ඉහත ආපදා තත්ත්වයන්ගෙන් අනතුරුව, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය යන ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහ අදාළ අමාත්‍යාංශවල සහයෝගය ඇතිව පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමක් (Post -Disaster Needs Assessment) සිදු කරනු ලැබ ඇත. එම තක්සේරුව මඟින් පෙර සූදානම් කටයුතු ශක්තිමත් කිරීමටත්, ආපදා හා කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වය අවම කිරීමටත් දීර්ඝකාලීන සැලැස්මක් යෝජනා කර තිබේ. ඒ අනුව, එම පශ්චාත් ආපදා තක්සේරුකරණ වාර්තාවේ ඇතුළත් නිර්දේශ මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා පුළුල් ක්‍රියාකාරී වැඩසටහනක් 2018 ‑ 2023 පස් අවුරුදු කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහන


2020 වර්ෂය වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 20%ක ප්‍රතිශතයක් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ලබාගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන සූර්ය බලශක්තිය හා සම්බන්ධ කර්මාන්ත සඳහා සහාය ලබා දීමේ අරමුණින්, සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය කිරීමේ අධ්‍යාපනික පුහුණු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2016-04-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, එහි මූලික කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. මෙමඟින් කැලණිය, යාපනය හා රුහුණ හා පේරාදෙණිය යන විශ්වවිද්‍යාල 04හි මහාචාර්යවරුන් සිව්දෙනෙකු හා ජාතික මූලික අධ්‍යයන ආයතනයෙහි (NIFS) මහාචාර්යවරයෙකුගේ සෘජු මැදිහත් වීම යටතේ තරුණ පිරිස් පුහුණු කිරීම සහ ව්‍යාපෘතිය හා අදාළ අනෙකුත් කාර්යයන් සිදු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ, රසායානික ද්‍රව්‍ය හා පාරිභෝගික ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා රුපියල් මිලියන 80ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

උපායමාර්ගිකව වැදගත්, රජය සතු ව්‍යවසායන් සඳහා සාංගමික අදහස පිළිබඳ ප්‍රකාශ (Statement of Corporate Intent - SCI ) සංකල්පය හඳුන්වා දීම


රජය සතු ව්‍යවසායන් රටේ ආර්ථික අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහා ධනාත්මක ලෙස දායක කරගැනීම පිණිස 'සාංගමික අදහස පිළිබඳ ප්‍රකාශ' යොදා ගත හැකිය. එහිදී පොදු වගවීම ඉහළ නංවමින්, වැඩිදියුණු කරන ලද සාංගමික පරිචයන්, ශක්තිමත් හා තිරසර මූල්‍ය කළමනාකරණය, තරගකාරිත්වයට හා ජාත්‍යන්තර පරිචයන්ට විවෘත වීම සහ ඵලදායී මානව සම්පත් තුළින් භාණ්ඩාගාරය මත නොයැපෙමින් ස්වාධීන ආයතන ලෙස නැඟී සිටීමට රජය සතු ව්‍යවසායන් දිරි ගැන්වීම හා පහසුකම් සැලසීම සිදු කෙරෙනු ඇත. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන උපායමාර්ගිකව වැදගත් රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්, එම එක් එක් ආයතනය අයත් රේඛීය අමාත්‍යාංශයේ ලේකම් සහ අදාළ ආයතනයේ සභාපති යන ත්‍රෛපාර්ශ්වය විසින් අත්සන් තබනු ලබන 'සාංගමික අදහස පිළිබඳ ප්‍රකාශ' ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 


ගම්පහ, පහළ යාගොඩ ප්‍රදේශයේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම


අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිට, වාර්ෂිකව පාසල් හැර යන ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන් ප්‍රමාණය 17,500ක් පමණ වන නමුත්, එම දිස්ත්‍රික්කයේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා බඳවාගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව සිසුන් 7,300ක් පමණක් වේ. ඒ අතුරින්, වෘත්තීය පුහුණු අධිකාරිය සතු පුහුණු මධ්‍යස්ථාන සඳහා බඳවාගත හැක්කේ සිසුන් 960ක පමණ සංඛ්‍යාවකි. නිපුණ ශිල්පීන් සඳහා ශ්‍රම වෙළඳපොළේ ඇති ඉල්ලුම සැලකිල්ලට ගැනීමේදී වෘත්තීය පුහුණු අධිකාරිය සතු නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටුවීම සුදුසු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ගම්පහ, පහළ යාගොඩ ප්‍රදේශයේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

2017 යල සහ 2017/18 මහ කන්න සඳහා අවශ්‍ය බීජ වී ලබාදීම


- 2016/2017 මහ කන්නයේ වර්ෂාව ප්‍රමාද වීම හා වර්ෂාපතනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රටෙහි සෑම ප්‍රදේශයකම පාහේ වී වගා කරනු ලැබ ඇති භූමි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී ඇත. එබැවින්, අපේක්ෂිත අස්වැන්නෙහි මෙන්ම බීජ වී නිෂ්පාදනයෙහිද සැලකිය යුතු පසුබෑමක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, 2017 යල කන්නයේදී හා 2017/2018 මහ කන්නයේදී බීජ වී හිඟයකට මුහුණ පෑමට සිදුවීමේ අවදානමක් මතු වී තිබේ. රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් මෙම තත්ත්වයට මුහුණ දීමට 2017 යල කන්නය හා 2017/2018 මහ කන්නය සඳහා අවශ්‍ය බීජ වී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන මඟින් සහ වී වගා කළ ගොවීන්ගෙන් මිල දී ගෙන සහන මිලට ගොවීන් අතර බෙදා හැරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ආහාර සුරක්ෂිතතාව සඳහා පහත රට තෙත් කලාපය තුළ පවතින පුරන් කුඹුරු යළි වගා කිරීම


වර්තමානයේදී නිරන්තරයෙන් සිදුවන දේශගුණික තත්ත්වයන්ගේ වෙනස්වීම් හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම සැලකිල්ලට ගැනීමේදී තිරසර කෘෂි ආර්ථිකයක් බිහි කිරීම සඳහා දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී ගොස් ඇත. එහිදී අත්හැර දමා ඇති කුඹුරු සංවර්ධනය කර යළි වගා කිරීම වැදගත් වේ. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක ඇතුළත් මෙරට පහතරට තෙත් කලාපය තුළ හෙක්ටයාර 26,122ක පමණ පුරන් කුඹුරු ප්‍රමාණයක් පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබ ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව මෙවර යල කන්නයේදී එකී භූමි ප්‍රමාණය තුළ වී, එළවළු හා අල භෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, ඇළ වේලි, ජලවහන පද්ධතිය, භූමිය සකස් කිරීම යනාදී කටයුතු සිදු කරමින් පුරන් කුඹුරු හෙක්ටයාර 17,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමටත්, හෙක්ටයාර 17,000ක් හා වගා නොකළ ගොවිබිම් හෙක්ටයාර 9,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන් පෙලඹවීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

2012 නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූ තැනැත්තන් වෙනුවෙන් වන්දි ලබා දීම


2012 නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිරකරුවන් 27දෙනෙකු මියගිය අතර, බන්ධනාගාර නිලධාරියෙක් හා සිරකරුවෝ 20දෙනෙක් තුවාල ලැබූහ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණු අතර, එම කමිටුවේ වාර්තාව මේ වන විට භාර දෙනු ලැබ ඇත. එම කමිටු වාර්තාව මඟින් නිර්දේශ කරනු ලැබ ඇත්තේ මියගිය 27දෙනා අතුරින් 16දෙනෙකුට වන්දි ලබා දෙන ලෙසත්, ඉතිරි 11දෙනා බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කිරීමේදී මිය‍ ගොස් ඇති නිසා වන්දි ලබා දීම අවශ්‍ය නොවන බවත්, මෙම සිදුවීමෙන් තුවාල ලැබූ බන්ධානාගාර නිලධාරියාට හා සිරකරුවන් 20දෙනාට වන්දි ලබා දෙන ලෙසත්ය. ඒ අනුව, එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, 2012‑11‑09 දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය රැඳවූවන් 16දෙනෙකු හට එක් අයෙකුට රුපියල් 2,000,000/-ක් බැගින් වන්දි ලබා දීමටත්, එම ගැටුමෙන් තුවාල ලැබූ තැනැත්තන්ට එක් අයෙකුට රුපියල් 500,000/-ක් බැගින් වන්දි ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

මුතුරාජවෙල සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වර්තමාන නවීකරණ කටයුතුවලට සමගාමීව ගුවන්යානා ඉන්ධන අවශ්‍යතාව ඉදිරියේදී ඉහළ යනු ඇතැයි තක්සේරු කර ඇති බැවින්, එසේ වැඩිවන ඉල්ලුමට සරිලන ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හැකියාව ලැබෙන පරිදි ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය සඳහාම වෙන් වූ නළ මාර්ගයක් මුතුරාජවෙල තෙල් පර්යන්තයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ස්ථාපිත කිරීම අවශ්‍ය වී ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක් මඟින් ඝන මීටර 75,000ක සමස්ත මෙහෙයුම් ධාරිතාවකින් යුතු, ගුවන්යානා ඉන්ධන සඳහාම වෙන් වූ වානේ ටැංකි 4ක් ඉදි කිරීමටත්, කිලෝමීටර 23ක දිගකින් යුත් නළ මාර්ගයක් ඉදි කිරීමටත්, ඒ හා සම්බන්ධ අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමටත්, විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් මේ සඳහා ලංසු කැඳවීමටත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතලේ, බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘත්‍රීම ධාවන පථයක් ඉදි කිරීම


මාතලේ දිස්ත්‍රික්කයේ දැනට පවතින විශාලතම ක්‍රීඩාංගණය වන බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය, මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොව අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා ද යොදාගනු ලැබේ. මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා සංකීර්ණයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පසුගිය වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එම ක්‍රීඩාංගණය සඳහා කෘත්‍රිම ධාවන පථයක් ඉදි කිරීම කාලීන අවශ්‍යතාවක් බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, මාතලේ දිස්ත්‍රික්කයේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය සඳහා මීටර 400ක දිගකින් යුත් කෘත්‍රිම ධාවන පථයක් අලුතින් ඉදි කිරීමටත්, ඒ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ක්‍රීඩාවල යෙදීමේදී තහනම් කරන ලද උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම ප්‍රකාශයට පත් කිරීම


ලෝක තහනම් උත්තේජක ද්‍රව්‍යයන් පිළිබඳ නීති සංග්‍රහය ප්‍රකාරව ක්‍රීඩාවල යෙදීමේදී තහනම් උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම ඇතුළත් ලැයිස්තුව -2017 ප්‍රකාශයට පත් කරමින් 2013 අංක 33 දරන, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට ‍එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ තමා විසින් සාදන ලද, 2006/15 අංක දරන 2017‑02‑14 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, 2016 අංක 2 දරන තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය/වැඩිදියුණු කිරීම


උතුරු සහ උතුරුමැද පළාත්වල පිහිටි ජාතික මහාමාර්ග හා පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා සහ පළාත් මාර්ගයන්හි පිහිටි තෝරාගත් පාලම් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියේ (අතිරේක මූල්‍යකරණය) පිරිවැය දැරීම පිණිස ඇම‍රිකානු ඩොලර් මිලියන 98ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබී ඇත. එම ණය මුදලෙන් කොටසක් උපයෝගි කරගනිමින් මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා (කි.මී.140.76 සිට කි.මී.150.40 දක්වා) මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීමේ / වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන RR Construction (Pvt.) Ltd. ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ සැලසුම් කර ඉදි කිරීම


යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය, ජල සම්පත් සංවර්ධනය කිරීම සඳහා මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘතිවලින් එකකි. එමඟින් අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව සඳහා ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙම ජලාශයේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මඟින්, පදවිය යෝජනා ක්‍රමය හා යාන් ඔය අමුණ යෝජනා ක්‍රමය යටතේ පවතින දැනට විශාල ජල හිඟයකට මුහුණපා සිටින ඉඩම්ද ඇතුළුව හෙක්ටයාර 4,190ක වගා ප්‍රදේශයක් සඳහා ජලය සැපයෙනු ඇත. මුළු දිග කිලෝමීටර 18ක් පමණ වන මෙම වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කෙරෙන ප්‍රදේශයේ පිහිටීම අනුව එය සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් ආස්තරණය කිරීමටත්, කිලෝමීටර 05ක දිගකින් යුත් යටි උමං මාර්ගයක් ඇතුළු සංකීර්ණ නිර්මිත රාශියක් ඉදි කිරීමටත් සිදුවනු ඇත.

එබැවින් එකී වම් ඉවුරු ඇළ ඉහළ ගුණාත්මකභාවයකින් සැලසුම් කර ඉදි කිරීම සඳහා තාක්ෂණය අතින් පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ කොන්ත්‍රාත්කරුවන්ගේ සහාය ලබාගැනීම සුදුසු බව නිරීක්ෂණය වී ඇති නමුත්, ඒ සඳහා විවෘත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා ගතවන කාලය සැලකිල්ලට ගැනීමේදී ප්‍රදේශයේ ජනතාවට ජලය සැපයීම අපේක්ෂිත කාලයට වඩා වසරකින් පමණ ප්‍රමාද වනු ඇත. එබැවින්, යාන් ඔය ජලාශය සැලසුම් කර ඉදි කිරීම් කරන ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන China CAMCE Engineering ආයතනයේ සේවය වම් ඉවුරු ඇළ සැලසුම් කර ඉදි කිරීමේ කාර්යය සඳහා ලබාගැනීම තාක්ෂණික හා ආර්ථික වශයෙන් ව‍ඩා ඵලදායී හා ප්‍රායෝගික වනු ඇතැයි නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, යාන් ඔය ජලාශයේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම සඳහා ඉන්ජිනේරුමය, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් (EPC) කොන්ත්‍රාත් පදනම මත මාස 24ක කාලයක් තුළ සැලසුම් කර ඉදි කිරීම සඳහා China CAMCE Engineering ආයතනය වෙතින් තාක්ෂණික හා මූල්‍යමය යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම


යෝජිත කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් කුඹුක්කන් ඔය හරහා බුත්තල - මොනරාගල මාර්ගය (A-4) හා කුඹුක්කන් ඔය හමුවන ස්ථානයේ ඝන මීටර මිලියන 48ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් නව ඉඩම් හෙක්ටයාර 4,280කට හා දැනට තිබෙන ඉඩම් හෙක්ටයාර 1,255කට වාරි ජල පහසුකම් සැපයීමටත්, වාර්ෂිකව ගිගාවොට් පැය 16ක විදුලිබල උත්පාදනයක් සිදු කිරීමටත්, පානීය හා කාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන ජලය සපයා දීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම


යෝජිත හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ හැඩ ඔය හරහා ඝන මීටර මිලියන 147ක ධාරිතාවකින් යුතු ජලාශයක් ඉදි කිරීමත්, ජලාශයට කිලෝමීටර 6.4ක් පහළින් හැරවුම් වේල්ලක් හැඩ ඔය හරහා ඉදි කිරීමත්, කිලෝමීටර 16ක දිගකින් යුත් දකුණු ඉවුරු ඇළ හා කිලෝමීටර 13.5ක දිගකින් යුත් වම් ඉවුරු ඇළ ඉදි කිරීමත් සිදු කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් හැඩ ඔය, විල ඔය සහ කරඳ ඔය පහත් නිම්නවල තිබෙන අලුතින් අස්වද්දනු ලබන ඉඩම් හා පැරණි ඉඩම් හෙක්ටයාර 5,308කට වාරි ජල පහසුකම් සැපයීමටත්, පොතුවිල්, ලාහුගල හා පානම යන ප්‍රදේශවල පානීය හා ගෘහ ජල අවශ්‍යතා සඳහා වාර්ෂිකව ඝන මීටර මිලියන 05ක ජල පහසුකම් සැපයීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සංශෝධනය කිරීම


2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත, පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු මස 23 දින අනුමත කරනු ලැබ ඇත. එම කාර්යාලය වෙත පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමඟ ගිවිසුම්වලට එළඹීමට එකී කාර්යාලයට බලය පවරන ලද, ඉහත සඳහන් පනතේ 11 වගන්තියේ (අ) ඡේදය ඉවත් කර එකී පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද 'අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම)(සංශෝධන) පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association - IORA) නායක සමුළුවේදී එළඹෙනු ලබන එකඟත‍ා ගිවිසුමට අත්සන් තැබීම


ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association - IORA) 20 වෙනි සංවත්සර සැමරුමට සමගාමීව එහි සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුවක් 2017 මාර්තු 07 දින ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය. ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීම යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වනු ඇත. මෙම සංවිධානයේ සාමාජික රටවල් අතර උපදේශනය හා සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් එහිදී ඇති කරගැනීමට නියමිත එකඟතා ගිවිසුමට ශ්‍රී ලංකාව විසින් අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 මාර්තු 08 වැනි දින ඉන්දුනීසියාවේ සිදු කෙරෙන රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාව හා ඉන්දුනීසීයාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීම

අතර අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ඉන්දුනීසියාවේ සමුද්‍රීය හා ධීවර කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතර සමුද්‍රීය හා ධීවර කටයුතු සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.

* ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍යම ව්‍යවසාය හා සමුපකාර සඳහා අලෙවි සේවා නියෝජිතායතනය (SMESCO) හා ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව (NCCSL) අතර සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.

දේශීය වෙළඳපොළෙහි පවතින සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීම

දේශීය වෙළඳපොළෙහි පවතින සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, සහල් ආරක්ෂිත තොගයක් පවත්වා‍ ගැනීම සඳහා පෞද්ගලික අංශය මඟින් සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2016‑12‑20 දින අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව 2017‑02‑26 දිනට සහල් මෙට්‍රික් ටොන් 113,000ක් ආනයනය කරනු ලැබ ඇති අතර, ඊට සමගාමීව දේශීය වෙළඳපොළේ සහල් මිල සුළු වශයෙන් පහළ යාමක් පෙන්නුම් කරයි. නමුත් දේශීය වෙළඳපොළෙහි පවතින සහල් තොග තවමත් ප්‍රමාණවත් නොවන බැවින් සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) මඟින් මසකට මෙට්‍රික් ටොන් 20,000 බැගින් සහල් ආනයනය කිරීමටත්, ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් රජයකින් රජයකට මිල දී ගැනීමේ පදනම මත, ස.තො.ස.මඟින් ආනයනය කිරීමටත්, මෙසේ ආනයනය කරනු ලබන සහල් ලංකා ස.තො.ස. වෙළඳසැල් මඟින් හා විවෘත වෙළඳපොළෙහි අලෙවි කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.