මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2017.01.24

    ජනවාරි 25, 2017

    2017.01.24 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යොදවනු ලබන ශ්‍රී ලංකා යුද හමුදා ඛණ්ඩයට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම

     

    මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා ඛණ්ඩයක් පිටත් කර යැවීම පිණිස ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, එම හමුදා ඛණ්ඩය සඳහා අවශ්‍ය භාණ්ඩ සහ උපකරණ මිල දී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට රුසියාවේ බැංකුවක් (SBERBANK) සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    යාල ජාතික උද්‍යානයට යාබදව සුඛෝපභෝගී සංචාරක කඳවුරු ඉදි කිරීම

     

    ඉහළ ආදායම්ලාභී සංචාරකයින් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කරගනිමින් පරිසර හිතකාමී සුඛෝපභෝගි සංචාරක කඳවුරු ඉදි කිරීම පිණිස යාල ජාතික උද්‍යානයට යාබදව පලටුපාන ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) අයත් ඉඩමෙන් අක්කර 07ක භූමි ප්‍රමාණයක් සීමාසහිත වයිල්ඩ් කෝස්ට් ලොජ් (පෞද්ගලික) සමාගම වෙත 2012 වසරේදී වෙන් කර දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය පර්චස් 155ක අතිරේක ඉඩම් ප්‍රමාණයක්, එම සමාගම වෙත වසර 50ක කාලයක් සඳහා බදු පදනම මත ලබා‍ දීමටත්, අදාළ ඉදි කිරීම් කටයුතු කිරීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගන්නා ලෙස සහ අදාළ ඉදි කිරීම් කරගෙන යාමේදී අදාළ රාජ්‍ය ආයතනවල නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවට එකී සමාගමට නියම කිරීමටත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාතලේ දුම්රිය බඩු ගබඩාව, පොදු වෙළඳපොළක් ඉදි කිරීම සඳහා මාතලේ මහ නගර සභාවට බදු පදනම මත පවරා දීම

    දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මාතලේ දුම්රිය බඩු ගබඩාව, පොදු වෙළඳපොළක් ඉදි කිරීම සඳහා මාතලේ මහ නගර සභාව වෙත වසර 5ක කාලයක් සඳහා බදු පදනම මත පවරා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීම (E-Friends II Revolving Fund)

     

    ජාත්‍යන්තර සහයෝගය සඳහා වන ජපාන බැංකුවේ ආධාර යටතේ, 2004 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා ක්‍රියාත්මක කරන ලද 'පරිසර හිතකාමී ව්‍යාපෘතිය - II ණය යෝජනා ක්‍රමය' යටතේ චක්‍රීය අරමුදලට බැර කර ඇති ඉතිරි අරමුදල් සහ මහා භාණ්ඩාගාරය විසින් 2017 වර්ෂය වෙනුවෙන් මේ සඳහා වෙන් කරනු ලැබ ඇති රුපියල් මිලියන 1,300ක ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් 'පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය' (E-Friends II Revolving Fund) ක්‍රියාත්මක කිරීම සඳහාත්, නාස්තිය අවම කිරීම, බලශක්තිය ඉතිරි කරගැනීම හා පරිසර දූෂණය පාලනය කිරීම සඳහා කර්මාන්තකරුවන්ට සහාය වීම යන මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා යෝග්‍යතම ප්‍රතිලාභීන්ට මේ යටතේ ණය ලබා දෙනු ලබන බව තහවුරු කරගැනීම පිණිස ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

     

    පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා සංවර්ධන කටයුතු අඩාළව පැවති උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සුවිශේෂ හා ප්‍රමුඛ අවශ්‍යතාවක් වේ. ඒ සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව යෝජිත 'උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දේශීය ලොකු ළූණු නිෂ්පාදනයේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ගුණාත්මක බීජ ආනයනය කිරීම

    මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය ලොකු ළූණු අවශ්‍යතාවෙන් 65% -70% අතර ප්‍රමාණයක් දැනට වාර්ෂිකව ආනයනය කරනු ලැ‍ෙබ්. එබැවින් දේශීය ලොකු ළූණු නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016 -2018) යටතේ ප්‍රමුඛතාව ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සඳහා ඒකක බිම් ප්‍රමාණයකින් ලබාගනු ලබන අස්වනු ප්‍රමාණය වැ‍ඩි කිරීමත්, වැඩි ඵලදායීතාවකින් යුතු බීජ භාවිතය ප්‍රචලිත කිරීමත් සිදු කළ යුතුව තිබේ. මෙරට ලොකු ළූණු බීජ වාර්ෂික අවශ්‍යතාව කිලෝග්‍රෑම් 40,000ක් පමණ වන නමුත්, දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන් අඩක් පමණි. ඉතිරි ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින් මෙරටට ආනයනය කරනු ලබන නමුත්, එම ආනයනික ලොකු ළූණු බීජවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු වාර්තා වී තිබේ. ඒ අනුව, උසස් තත්ත්වයේ බීජ කිලෝග්‍රෑම් 6,200ක් ඉන්දියානු රජයේ පර්යේෂණ ආයතනයක් වන 'ජාතික උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන පදනම' (National Horticultural Research and Development Foundation) වෙතින් ආනයනය කිරීම මඟින් ලොකු ළූණු බීජ දේශීය අවශ්‍යතාව සපුරා ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වතුකරය ආශ්‍රිතව නව ගම්මාන ඇති කිරීමේ සංකල්පය යටතේ හූටිවිල් නිවාස ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභීන්ට ඉඩම් හිමිකාරිත්වය සහ යෝග්‍ය නිවාස ලබාදීම

     

    වතුකර ප්‍රජාවට වඩා උසස් ජීවන තත්ත්වයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන නව ගම්මාන ඉදි කිරීමේ සංකල්පය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හූටිවිල් නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 71 දෙනෙකු සඳහා හිමිකම් ඔප්පු නිකුත් කිරීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අදියර - 2 (i -Road Project- 2) ක්‍රියාත්මක කිරීම

     

    උතුරු, නැ‍ඟෙනහිර, ඌව සහ බස්නාහිර යන පළාත්වල මාර්ග කිලෝමීටර 4,000ක් පමණ පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, යෝජිත ඒකාබද්ධ මාර්ග ආයෝජන ව්‍යාපෘතියෙහි 2 වන අදියර (i -Road Project - 2) ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් වැඩ සඳහා කොන්ත්‍රාත් පැකේජ දෙකක් ප්‍රදානය කිරීම

     

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත 'ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් පැකේජ 01 හා 02 යටතේ මාර්ග ආපදා කළමනාකරණ සඳහා මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වල ස්ථාන 16ක සිදු කිරීමට නියමිත නයායෑම් ආපාදා වැළැක්වීමේ ක්‍රියාමාර්ගවලට අදාළ සිවිල් වැඩ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පිටකොටුව මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම - ටැඹ අත්තිවාරම ඉදි කිරීම (Construction of Pile Foundation)

     

    බස්නාහිර ප්‍රදේශ මහනගර සංවර්ධන සැලැස්ම යටතේ පිටකොටුව මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපනය කිරීම සඳහා භූමිය සංවර්ධනය කිරීමේ කටයුතු අවසන් කරනු ලැබ ඇති අතර එහි ඊළඟ පියවර වශයෙන් ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ (Construction of Pile Foundation) කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     වෙළඳපොළේ සහල් හිඟය වැළැක්වීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීම

     

    වී අලෙවි මණ්ඩලය සතුව පැවති වී තොගවලින් මෙට්‍රික් ටොන් 90,958ක වී තොගයක් සහල් බවට පත් කර අලෙවි කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වී මෝල් හිමියන් වෙත සහ සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) වෙත නිකුත් කිරීමට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. ස.තො.ස. වෙත නිකුත් කරන ලද වී තොග දැනටමත් සහල් බවට පත් කර ලක් ස.තො.ස. වෙළඳසැල් හරහා කිලෝග්‍රෑම් එකක් රුපියල් 76/- බැගින් මහජනතාව වෙත අලෙවි කිරීමට පියවර ගෙන ඇති නමුත්, පෞද්ගලික වී මෝල් හිමියන් විසින් අපේක්ෂිත පරිදි සහල් තොග වෙළඳපොළට නිකුත් කර නොමැති බව ද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී. තවදුරටත් වී අලෙවි මණ්ඩලය සතුව ඉතිරි වී පවතින වී තොග ස.තො.ස. සහ පෞද්ගලික වී මෝල් හිමියන් මඟින් සහල් බවට පත් කර යෝග්‍ය ක්‍රමවේදයක් යටතේ වෙළඳ‍පොළට නිකුත් කිරීමටත්, දැනට වී මිල දී ගෙන එම වී තොග සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කර නොමැති වී මෝල් හිමියන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහාත් විශේෂ ව්‍යාපෘති ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි මෙට්‍රික් ටොන් 10,000ක සහල් තොගයක් ඉන්දුනීසියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරනු ලැබ ඇති අතර, එම සහල් තොගය ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව වෙත ළඟා වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලද අතර, තවදුරටත් වෙළඳපොළේ සහල් මිල ඉහළ මට්ටමක පවතින්නේ නම් ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු ආසන්න රටවල්වලින් සහල් ආනයනය කර කඩිනමින් වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම කෙරෙහිද අමාත්‍ය මණ්ඩලය විසින් සිය අවධානය යොමු කරන ලදී.

     

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුම

     

    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇතුළත් මූලධර්ම මත පදනම්ව දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍ර සම්බන්ධතා හා සහයෝගිතාව ශක්තිමත් කරගැනීමේ හා වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ එළඹෙන ඉතියෝපියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඩිජිටල් සමුළුව

     

    මීළඟ පරම්පරාවේ නව තාක්ෂණයේ පුරෝගාමීන් ආසියාවට ආකර්ශනය කරගැනීම මඟින් නවෝත්පාදනයන් හා තාක්ෂණයන් හඳුන්වා දීම, දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව හරහා රටවල් සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම යනාදී අරමුණු පෙරදැරිව 2017 මාර්තු මස 23 සහ 24 යන දෙ‍දින තුළ ඩිජිටල් සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. මේ සඳහා ෆේස්බුක් (Facebook), ගූගල් (Google), සෝෂල් කැපිටල් (Social Capital), ඉන්ෆොසිස් (Infosys) ආදී මෙම ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් සහිත සමාගම්වල ප්‍රවීණයන් සහ විධායක නිලධාරින් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාව

    ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය සඳහා 2015‑01‑01 දින සිට 2015‑01‑07 දින දක්වා කාලවකවානුව තුළ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,549ක මුදලක් නිදහස් කරනු ලැබ ඇති අතර, මූල්‍ය වර්ෂයක් ආරම්භයේදී මෙවැනි විශාල ප්‍රමාණයේ ගෙවීම් සිදු කිරීම අසාමාන්‍ය තත්ත්වයක් බව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වත්මන් තත්ත්වය පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය අනුකමිටුව විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබේ. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID)වෙත භාර කරන ලෙසට එම අමාත්‍ය අනුකමිටුව විසින් කරන ලද නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya