අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.11.08

    නොවැම්බර් 09, 2016
     
    අඩු ආදායම්ලාභී සහ මැදි ආදායම්ලාභී නිවාස හිමිකම් වැඩසටහන සඳහා මහා භාණ්ඩාගාරයෙහි විශේෂ කාර්ය ඒකකයක් පිහිටුවීම
     
    අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 120,000ක් ද, මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 500,000ක් ද වශයෙන් සමස්ත නිවාස 620,000ක් 2019 වර්ෂය වන විට ඉදිකිරීමට අපේක්ෂිතය. මෙම වැඩසටහනට ජාතික ප්‍රමුඛතාවක් ලබා දෙමින් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් කඩිනමින් ලබාගැනීම, අදාළ ඉඩම් වෙන් කරගැනීම සහ ව්‍යාපෘතිය නියමිත කාල රාමු තුළ ඉටු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (Special Purposes Vehicle-SPV) පිහිටුවීම පිණිස අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වෙරළ ආරක්ෂක කටයුතු වඩාත් ශක්තිමත් කිරීම සඳහා නව පනතක් සම්පාදනය කිරීම
     
    2009 අංක 41 දරන පනත මඟින් ස්ථාපිත කරනු ලැබ ඇති වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු‍වෙන් අපේක්ෂිත කාර්යභාරය එම දෙපාර්තමේන්තුවේ වර්තමාන ආයතනික ව්‍යූහය තුළ ක්‍රියාවට නැංවීම දුෂ්කර බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, කාලීන අවශ්‍යතාවන්ද සැලකිල්ලට ගෙන, මෙම දෙපාර්තමේන්තුව වෙරළ ආරක්ෂක නීතිය බලාත්මක කිරීමේ ආයතනයක් වශයෙන් වඩාත් ශක්තිමත්ව ස්ථාපිත කිරීමේ අරමුණින්, 2009 අංක 41 දරන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත පරිච්ඡින්න කර නව පනතක් සම්පාදනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම
     
    කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන බහුතර ජනතාවකට නළ ජලය සැපයීම මඟින් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට චීන සංවර්ධන බැංකුව හා ලංකා බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම
     
    නළ ජලය සැපයීම මඟින් තලාව, තඹුත්තේගම සහ ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 42ක් සඳහා සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට චීන සංවර්ධන බැංකුව හා ලංකා බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල් සලසා ගැනීම
     
    මොරගහකන්ද ජලාශය වෙත වාරි ජලය ඝන මීටර මිලියන 100ක් වාර්ෂිකව මුදා හැරීමේ හා හෙක්ටයාර 3,000ක නව වාරි ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන කළුගඟ ජලාශයේ ඉදි කිරීම් 2018 වර්ෂය අවසන් වන විට නිම කිරීමට අපේක්ෂිතය. පෙර හඳුනා නොගත් භූගෝලීය තත්ත්වයන් හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ විෂය පථය වෙනස් වී ඇති අතර, ඒ අනුව එහි කොන්ත්‍රාත් පිරිවැය සංශෝධනය කරනු ලැබ තිබේ. එම අතිරේක අරමුදල් අවශ්‍යතාවෙන් කොටසක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සමඟ සාකච්ඡා පැවැත්වීමට හා ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාව සහ සුඩානය අතර ද්වීපාර්ශ්වික උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම
     
    දෙරට අතර දැනට පවත්නා මිත්‍රත්වය හා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සුඩාන ජනරජයේ (උතුරු සුඩානයේ) විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ද්වීපාර්ශ්වික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය/කායික වෛද්‍ය ඒකක වැඩිදියුණු කිරීම
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානත ම රෝහල වන කරාපිටිය ශික්ෂණ රෝහල මඟින් දකුණු පළාතේ මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් මෙන්ම යාබද අනෙකුත් පළාත්වලින් පැමිණෙන රෝගීන් හටද සෞඛ්‍ය සේවාවන් සපයනු ලබයි. මෙම රෝහල, මුළු ඇඳන් 1,838ක් වාට්ටු 60කින් සමන්විත වන අතර, එහි ක්‍රියාත්මක විශේෂඥ සේවා ඒකක ගණන 24කි. මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව මෙන්ම එමඟින් සිදු කරනු ලබන ශල්‍යකර්ම ප්‍රමාණයද පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. රෝහලේ සමස්ත ඇඳන් සංඛ්‍යාව 300කින් ඉහළ නැංවීමට හා සතියකට අමතර ශල්‍යකර්ම 130ක් සිදු කිරීමට හැකි වන පරිදි විකලාංග වාට්ටුවක් (Orthopaedic Ward), ප්ලාස්ටික් ශල්‍ය සහ පිළිස්සුම් ඒකකයක්, කණ-නාසය-උගුර (ENT) පිළිබඳ ඒකක 02ක්, ආමාශ-අතුණුබහන් (Gastro-Enterology) හා ජනනේන්ද්‍ර-මෞත්‍රික(Genito-Urology) ශල්‍ය ඒකකයක්, රක්තවාතවේද (Rheumatology) ඒකකයක්, කාච-දෘෂ්ටිවිතාන (Vitreo-Retinal) ශල්‍ය ඒකකයක් ස්ථාපිත කිරීම සහ ළමා හෘද රෝග, වකුගඩු සහ අක්ෂි රෝග සඳහාද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සපයමින් මහල් දහයකින් යුත් නව ගෙඩනැඟිල්ලක් රුපියල් මිලියන 1,401.7ක ඇස්තමේන්තුගත පිරිවැයකින් කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සීදුවේ, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල සංවර්ධනය කිරීම
     
    සීදුවේ, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල සංවර්ධනය කිරීම සඳහා පහත සඳහන් ව්‍යාපෘති දෙක (02) ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: 
     
    රෝහලේ කාර්යාල හා සායන පිහිටි ගොඩනැඟිල්ල රුපියල් මිලියන 35ක ඇස්තමේන්තුගත පිරිවැයකින් පුළුල් කර නවීකරණය කිරීම;
     
    හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය හා ශල්‍ය වාට්ටු, දෙවන අක්ෂි වාට්ටුව, දියවැඩියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, දැඩි සත්කාරක ඒකකයක්, රසායනාගාර හා එක්ස් කිරණ අංශය, වෛද්‍යවරුන් සඳහා කාමර මෙන්ම හෙද නේවාසිකාගාර පහසුකම් ස්ථාපිත කළ හැකි පරිදි මහල් හයකින් යුත් ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 1,431ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම
     
     
    උතුර හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීම
     
    උතුර හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටා ඇති බෞද්ධ විහාරස්ථාන බෝහෝමයක් අඩු පහසුකම් සහිත දුෂ්කර විහාරස්ථාන වශයෙන් හඳුනාගත හැකිය. එම විහාරස්ථානවල පානීය ජල පහසුකම් සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් අවම මට්ටමක පවතින අතර, දායක පවුල් සංඛ්‍යාවද සීමිත වීම හේතුවෙන් එවැනි පහසුකම් ගොඩනඟා ගැනීමට තරම් ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් එම විහාරස්ථාන සතුව නොමැත. ඒ අනුව, චීනයේ ග්වාන්දූන් (Gwandoon) ප්‍ර‍දේශයේ බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය මින්ග් ෂින් (Rev. Ming Sheng) හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 20.24ක මුදල උපයෝගි කරගනිමින්, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටා ඇති තෝරාගත් අඩු පහසුකම් සහිත විහාරස්ථාන 100ක සනීපාරක්ෂක පහසුකම් (වැසිකිළි - කැසිකිළි පහසුකම්) වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් සඳහා තාවකාලික රැකවරණය ආරක්ෂිතව ලබා දීම පිළිබඳ මාර්ගෝපදේශ
     
    ඇතැම් කාන්තාවන් විසින් මුහුණ දෙනු ලබන ගෘහස්ථ හිංසනයට ලක්වීම, දූෂණයට ලක්වීම, ලිංගික ජාවාරමෙහි ගොදුරු බවට පත්වීම වැනි ගැටලු සඳහා අවශ්‍ය නෛතික සහාය, උපදේශනය, වෛද්‍ය සේවා ලබා දීමට අමතරව වින්දිත කාන්තාවන් හට සහන සලසන තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද වර්තමානය වන විට උද්ගත වී තිබේ. හිංසනයේ වින්දිතයන් බවට පත් වූ කාන්තාවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඇති කරන ලද පළමු රැකවරණ මධ්‍යස්ථානය 2012 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, ඉන් අනතුරුව එවැනි රැකවරණ මධ්‍යස්ථාන කිහිපයක් පළාත් මට්ටමින් ස්ථාපනය කරනු ලැබ තිබේ. එමෙන්ම රජයේ රෝහල්, පොලීසි සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව පෞද්ගලික ස්ථානවලද මෙවැනි රැකවරණ මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලැබේ. විවිධ හේතු නිසා වින්දිතයන් බවට පත් වන කාන්තාවන් උදෙසා තාවකාලික රැකවරණ සලසනු ලබන නිවාස පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එකී මාර්ගෝපදේශ සඳහා අනුමැතිය ලබා දෙන ලදී.
     
     
     
    නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම
     
    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් වර්ෂයකට විභාග 270ක් පමණ පවත්වනු ලබන අතර, එම විභාග සඳහා අවශ්‍ය ලක්ෂ 160කට අධික ප්‍රශ්න පත්‍ර ඇතුළු වෙනත් ලේඛන විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීම එම දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය මඟින් සිදු කරනු ලැබේ. ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කරගනිමින් දෝෂවලින් තොරව මනා නිමාවක් සහිතව ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මෙම මුද්‍රණාලය නවීකරණය කළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 530ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය සඳහා ඩිජිටල් තාක්ෂණයෙන් යුත් මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ මිල දී ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල නිල නාම යෝජනා නැවත කැඳවීම සඳහා නීති සම්පාදනය කිරීම
     
    මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවල පළාත් පාලන ඡන්ද විමසීම 2011-03-17 දින පැවැත්වීමට නියමිතව තිබුණු නමුත්, විවිධ හේතු නිසා එම ඡන්ද විමසීම වරින් වර කල් දැමීමට සිදු විය. ඡන්ද විමසීම කල් දැමූවද, ඒ සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති නාම යෝජනා මේ වන විටත් වලංගුව පවතී. එසේ නාම යෝජනා භාර දුන් තැනැත්තන් මිය යාම, වයස අවුරුදු 35ට අඩු කාණ්ඩය යටතේ ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වයස අවුරුදු 35 ඉක්මවා යාම වැනි විවිධ කරුණු හේතුවෙන් මෙම නාම යෝජනා අවලංගු කර නැවත නාම යෝජනා කැඳවීමේ අවශ්‍යතාව උද්ගතව තිබේ. එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ විධිවිධාන අනුව ඉහත පළාත් පාලන ආයතන දෙක සඳහා වන ඡන්ද විමසීම පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත්විය යුතු වේ. එහෙත්, දැනට සිදු කෙරෙමින් පවතින පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බැවින්, මෙම පළාත් පාලන ආයතන දෙක සඳහා වන ඡන්ද විමසීමද කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීම සුදුසු බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ඉහත ප්‍රාදේශීය සභා දෙක සඳහා දැනට කඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවීමටත්, අලුතින් නාම යෝජනා කැඳවා ඡන්ද විමසීම පැවැත්වීමටත්, කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ එම ඡන්ද විමසීම පැවැත්වීමටත් හැකි වන පරිදි විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සුබසාධක මධ්‍යස්ථා‍නවල වෙසෙන, ඉඩම් අහිමි අභ්‍යන්තර අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම
     
    සුබසාධක මධ්‍යස්ථානවල වෙසෙන අභ්‍යන්තර අවතැන්වූ පවුල් නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට රජය පියවර ගනිමින් සිටී. යාපනය දිස්ත්‍රික්කය තුළ පවතින සුබසාධන මධ්‍යස්ථානවල අභ්‍යන්තර අවතැන් වූ පවුල් 971ක් තවදුරටත් පදිංචිව සිටියි. ඒ අතුරින් පවුල් 682ක් ඉඩම් අහිමි පවුල් වන අතර, එයින් පවුල් 462ක් විකල්ප ඉඩම් වල පදිංචි කිරීමට පියවර ගෙන ඇති නමුත් තවත් පවුල් 220ක් පදිංචි කරවීම සඳහා ඉඩම් සොයාගත යුතු වේ. යාපනය දිස්ත්‍රික්කය තුළ රජයේ ඉඩම්වල හිඟයක් පවතින බැවින්, මෙම පවුල් 220 පදිංචි කරවීම සඳහා එක් පවුලකට පර්චස් 20ක් බැගින් පෞද්ගලික ඉඩම් මිල දී ගැනීමට යෝජනා වී තිබේ. ඒ සඳහා අවශ්‍ය පෞද්ගලික ඉඩම් යාපනය දිස්ත්‍රික් ලේකම් මඟින් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 88ක ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බද්දේගම, වනාතවිල්ලුව, මීගහතැන්න සහ කටුපොත පොලිස් ස්ථාන ඉදි කිරීම
     
    ශ්‍රී ලංකා පොලීසිය මඟින් වඩාත් කාර්යක්ෂම සේවාවවක් මහජනතාව වෙත ලබා දීමේ ඇමුණින් නව පහසුකම් සහිත පොලිස් ස්ථාන ඉදි කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ යටතේ 2017 වර්ෂයේදී සිදු කිරීමට නියමිත, දැනට පවතින පොලිස් ස්ථාන සංව‍ර්ධනය කිරීමට අමතරව, කුලියට ගත් ගොඩනැඟිලිවල හෝ ඉතා පැරණි ගොඩනැඟිලිවල පවත්වා ගෙන යනු ලබන බද්දේගම, වනාතවිල්ලුව, මීගහතැන්න සහ කටුපොත යන පොලිස් ස්ථාන සඳහා රුපියල් මිලියන 370.3ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ නව ගොඩනැඟිලි ඉදි කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පේරාදෙනිය පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
     
    දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් ඇතුළු විශාල ජනගහනයකින් සමන්විත වූත්, ක්ෂණික මහජන සේවාවන් අවශ්‍ය වූත් පරිශ්‍රයක පිහිටි පේරාදෙණිය පොලිස් ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු 2008 වර්ෂයේදී ආරම්භ කිරීමට සැලසුම් කළද විවිධ හේතු නිසා එම කටයුතු මේ දක්වා සිදුවී නොමැත. ඒ අනුව, වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අංග සම්පූර්ණ පොලිස් ස්ථානයක් වශයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 141ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවට කුරුඳු ආනයනය කිරීම තහනම් කිරීම සහ කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කිරීම
     
    ශ්‍රී ලංකාවේ කුරුඳු සතුව පවතින අනන්‍ය ගුණය, සුවඳ, රසය සහ වර්ණය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දීර්ඝකාලීන කීර්තියක් අත් කරගැනීමට 'ලංකා කුරුඳු' (Ceylon Cinnamon) සමත්ව ඇත. එසේ වුවද, විවිධ රටවල්වලින් කුරුඳු ශ්‍රී ලංකාවට ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමේ සිදුවීම් මෑතකාලීනව වාර්තා වී ඇති අතර එය 'ලංකා කුරුඳු' (Ceylon Cinnamon) සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ ඇති කීර්තිනාමයට අහිතකර අයුරින් බලපා තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ලෝකයේ වෙනත් රටවලින් ශ්‍රී ලංකාව වෙත කුරුඳු ආනයනය කිරීම තහනම් කිරීමටත්, ශ්‍රී ලංකාවේ වරායයන් හරහා කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, දැනට ක්‍රියාත්මක වන 'අපනයනය කිරීම සඳහා තාවකාලිකව ආනයනය කිරීමට ඉඩ දෙනු ලබන යෝජනා ක්‍රමය' - (TIEP) සංශෝධනය කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමටත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි පැමිණීමේ මගී පර්යන්තය සංවර්ධනය කිරීම
     
    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි පැමිණීමේ මගී පර්යන්තයෙහි නව ආගමන කවුළු ප්‍රදේශය සංවර්ධනය කිරීම සහ විද්‍යුත් මෙවලම් අලෙවි ප්‍රදේශය ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගීන් පිටවී‍මේ මණ්ඩපය පුළුල් කිරීම
     
    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගීන් පිටවී‍මේ මණ්ඩපය පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC)නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත විදුලි ඩීසල් එන්ජින් 10ක් ලබාගැනීම
     
    මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ විදුලි ඩීසල් එන්ජින් 10ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC) නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ - මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
     
    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) කොටස, මීරිගමින් ආරම්භ වී කුරුණෑගල දක්වා දිවෙන අතර, එය කිලෝ මී‍ටර 39.29 ක දිගකින් යුක්ත වේ. එම කොටසෙහි ඉටු කළ යුතුව ඇති වැඩ පරිමාව සැලකිල්ලට ගෙන එය සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හතරකට (04) බෙදනු ලැබ ඇත. ඒ අනුව, එකී සිවිල් වැඩ පැකේජ 04ට අදාළ කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC)නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
     
    රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ඉඩකඩ හා යටිතල පහසුකම් වැඩිදියුණු කර එම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍යශිෂ්‍යාවන් සඳහා ගුණා‍ත්මක උසස් අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි රජය විසින් ඉහළ ප්‍රමුඛතාවක් ලබා‍ දෙනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, වයඹ සහ රුහුණ විශ්වවිද්‍යාලවල මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ හා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ යටිතල පහසුකම් ඉදි කිරීමේ ව්‍යාපෘති, රුපියල් මිලියන 2,670ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග ඒකකය අලුත්වැඩියා කිරීම
     
    දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ පැමිණෙන විවිධ සංකූලතාවන් සහිත හෘද රෝගීන් සුවපත් කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය මඟින් සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. එම හෘද රෝග ඒකකය පවත්වා ගෙන යනු ලබන ගොඩනැඟිලි සංකීර්ණය අබලන් තත්ත්වයේ පවතින බැවින් එම ගොඩනැඟිලි සංකීර්ණය නවීකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එහි නවීකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද නව යෝජනා සැලකිල්ලට ගෙන, හෘද රෝගීන් සඳහා සිදු කෙරෙන සැත්කම් සාර්ථකව ඉටු කිරීමට හැකියාව ලැබෙන පරිදි එම ඒකකය සඳහා මධ්‍යම වායු සමීකරණ පද්ධතියක් අලුතින් සවි කිරීම හා අනිවාර්යයෙන් සිදු කළ යුතු අනෙකුත් අලුත්වැඩියා කටයුතු සිදු කිරීම ඇතුළත් කරමින් රුපියල් මිලියන 186.32ක සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ මෙම හෘද රෝග ඒකකය නවීකරණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ රෝහල් සඳහා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
     
    බහුලව භාවිත කෙ‍රෙන ප්‍රතිජීවක ඖෂධ වන කෝ- ඇමොක්සික්ලේව් බීපී මිලිග්‍රෑම් 625 පෙති හෝ ඇ‍මොක්සිලින් සහ කැල්වියුලනේට් පොටෑසියම් යූඑස්පී මිලිග්‍රෑම් 625 පෙති 19,000,000ක්, රජයේ රෝහල් සඳහා මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
     
    ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය එන්නත් මිල දී ගැනීම සදහා වූ ටෙන්ඩරය
     
    ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එන්නත් මඟින් ලබා දෙනු ලබන, හියුමන් ඉමියුනෝගොබියුලින් ඖෂධය ග්‍රෑම් 5-6 වයල්ස් 30,000ක් මිල දී ගැනීම සදහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ‍රෝගීන්ට ඖෂධ එන්නත් කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ කට්ටල 7,000,000 ක් මිල දී ගැනීම
     
    රෝගීන්ට ඖෂධ එන්නත් කිරීම සඳහා භාවිත කරනු ලබන එක් වරක් භාවිත කර ඉවත දැමිය හැකි අන්තඃශෛරික ද්‍රාවණ ලබා දීමේ කට්ටල 7,000,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර ඒකකය සඳහා ශල්‍යාගාර හා දැඩිසත්කාර ඒකක උපකරණ සැපයීම හා ස්ථාපනය කිරීම
     
    කොළඹ ජාතික රෝහලේ අලුතින් ඉදි කළ අපස්මාර ඒකකයෙන් උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා එම ඒකකයට අවශ්‍ය ශල්‍යාගාර හා දැඩිසත්කාර ඒකක උපකරණ සපයා දීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, ඊට අදාළ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ලංසුකරුවන් වෙත ප්‍රදානය කිරීමටත්, ලංසු ඉදිරිපත් නොවූ හා ලංසු සුරක්ෂණය දීර්ඝ කිරීමේදී මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති උපකරණ සඳහා අලුතින් ලංසු කැඳවීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින්, ගිලා බැසීමේ අවදානමට ලක්ව තිබූ, එම විද්‍යාලයේ මහල් පහකින් සමන්විත වූ 'මුවර් ගොඩනැඟිල්ල' ඉවත් කර ඒ වෙනුවට සත්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'මෑත කාලීන ආර්ථික ප්‍රවණතා: 2016 සුවිශේෂ සිදුවීම් සහ 2017 අපේක්ෂාවන්' පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව
     
    වාර්ෂික අයවැය සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම පිණිස 'මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2016 සුවිශේෂ සිදුවීම් සහ 2017 අපේක්ෂාවන්' යන මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළියෙල කරනු ලැබ ඇති අර්ධ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ප්‍රාදේශීය කොන්සල් කාර්යාල දෙකක් මාතර සහ යාපනයේ ස්ථාපනය කිරීම
     
    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සල් කාර්යාල දෙකක් මාතර සහ වවුනියාව ප්‍රදේශයන්හි ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එහෙත්, කොන්සල් සහාය නිරන්තරයෙන් ඉල්ලා සිටින උතුරු පළාතේ බහුතරයක් යාපනය දිස්ත්‍රක්කයේ ජනතාව බවට උතුරු පළාතේ දේශපාලන අධිකාරිය විසින් කරනු ලැබ ඇති කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන, උතුරු පළාතේ වෙසෙන බහුතර ජනතාවකට කොන්සල් සේවා සැපයීමේ අරමුණින්, වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතව තිබූ ප්‍රාදේශීය කොන්සල් කාර්යාලය යාපනය ප්‍රදේශයේ පිහිටුවීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
     
    ජාතික ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් සපයනු ලබන ඉදි කිරීම් කර්මාන්තය රටේ ප්‍රධාන රැකියා උත්පාදන ක්ෂේත්‍රයක්ද වෙයි. ඉදි කිරීම් කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන්ට ක්‍රමෝපායික නායකත්වය සැපයීම, තිරසර වර්ධනය - ප්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කිරීම් දිරිගැන්වීම, අඩු පිරිවැය හා පරිසර හිතකාමී තාක්ෂණය/ගොඩනැඟිලි ද්‍රව්‍ය හා පද්ධති ප්‍රවර්ධනය කිරීම, යෝග්‍ය පර්යේෂණ ප්‍රවර්ධනය, පර්යේෂණ කටයුතු ප්‍රචාරණය හා ප්‍රකාශයට පත් කිරීම, ප්‍රමිතීන්/චර්යා ධර්ම හා පරිචයන් සම්පාදනය කිරීම සහ විදේශයන්හි ඉදි කිරීම් සේවාවන්හි යෙදීම ප්‍රවර්ධනය කිරීම යන අරමුණු පෙරදැරිව, 2014 අංක 33 දරන ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ විධිවිධාන යටතේ ඉදි කිරීම් සම්බන්ධ ජාතික උපදේශක සභාව විසින් සම්පාදනය කරන ලද 'ඉදි කිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය' සහ එය ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය පිළිගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya