අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.10.11

    ඔක්තෝබර් 12, 2016


    2016.10.11 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    ත්‍රස්තවාදය මැඬ ලීම සඳහා වන නව නීතියක් (Proposed new Counter Terrorism Law) හඳුන්වා දීමට අදාළ ප්‍රතිපත්තිමය හා නෛතික රාමුව

     

    ත්‍රස්තවාදය මැඬ ලීම හා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස ප්‍රමාණවත් විධිවිධාන සලසමින් සහ මානව හිමිකම්වලට අදාළව ශ්‍රී ලංකාව විසින් සපුරා ලිය යුතු බැඳීම්වලට අනුකූලව ක්‍රියා කරනු ලබන බව සහතික කිරීම පිණිස, දැනට ක්‍රියාත්මක 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' වෙනුවට ත්‍රස්තවාදය මැඬ ලීම සඳහා වන නව නීතියක් හඳුන්වා දීම සඳහා වන ප්‍රතිපත්තිමය හා නෛතික රාමුව කෙටුම්පත් කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී කමිටුව විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තිමය හා නෛතික රාමුව, ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම පිණිස ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    බලතල පැවරීම (ප්‍රාදේශීය ලේකම්වරුන්) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

     

    දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වැඩි බලතල ලබාදීම අවශ්‍ය බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය තුළ, 1992 අංක 58 දරන බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) පනත වඩාත් අර්ථාන්විත, ඵලදායී හා විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස කෙටුම්පත් කරනු ලැබ ඇති, 'බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත', රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'ග්‍රාම රාජ්‍ය' ඒකක පිහිටුවීමට අදාළ සංකල්ප පත්‍රිකාව සහ කාර්ය රාමුව

     

    සංවර්ධන ක්‍රියාවලිය සඳහා මහජනතාවගේ සක්‍රීය සහභාගිත්වය තහවුරු කරගැනීම පිණිස දිවයින පුරා 'ග්‍රාම රාජ්‍ය' ඒකක 2,500ක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් 2015 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද 'පංචවිධ සැලැස්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අන්තර්ගත විය. ඒ අනුව, 'ග්‍රාම රාජ්‍ය' ඒකක ස්ථාපිත කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම පිණිස පත් කරන ලද, රාජ්‍ය නිලධාරින්, විශ්වවිද්‍යාල විද්වතුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් හා රාජ්‍ය නොවන අංශවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව හා කාර්ය රාමුව, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, එම සංකල්ප පත්‍රිකාව හා කාර්ය රාමුව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම පිණිස අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.


    සංචරණය සහ සංස්කෘතිය සම්බන්ධ බුද්ධිමය දේපළ ව්‍යාපෘතියක් දේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම

     

    මෙරට සංචාරක ව්‍යාපාරය හා සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීමට සහ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සංවර්ධන අභිමතාර්ථ ළඟා කරගැනීම සඳහා සහාය වීමට බුද්ධිමය දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් දැනුම්වත්භාවයක් ඇති කිරීමේත්, හැකියාවන් වර්ධනය කිරීමේත් අරමුණින්, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) 'සංචරණය සහ සංස්කෘතිය සම්බන්ධ බුද්ධිමය දේපළ' පිළිබඳ යෝජිත ව්‍යාපෘතියක්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා සහ වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය - ජාතික ක්‍රියාකාරී සැලැස්ම

     

    විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම, පුරවැසියන් බලගැන්වීම, දූෂණයට එරෙහිව කටයුතු කිරීම, රජයන් ශක්තිමත් කිරීම සඳහා නව තාක්ෂණය යොදාගැනීම, එකිනෙකාගේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීම, රට තුළ පවතින සිවිල් සමාජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ආදිය සඳහා රජයන් දිරිගන්වන බහුපාර්ශ්වීය මූලාරම්භයක් ලෙස 'විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය' (Open Government Partnership - OGP) 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමෙන් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර, මේ වන විට එහි සාමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාව 70ක් පමණ වේ. වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එම හවුල්කාරිත්වය සමඟ එක්වන ලෙස ශ්‍රී ලංකාව වෙත කෙරුණු ආරාධනය අනුව 2015 ඔක්තෝබර් මාසයේදී මෙක්සිකෝහි පැවති එහි සමුළුව සඳහා ශ්‍රී ලංකාවද සහභාගි විය. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි සියලු සහභාගිත්ව සාමාජික රාජ්‍යයන් විසින් එම හවුල්කාරිත්වයෙහි මූලධර්මවලට අනුකූලව යහපාලනය, වගවීම, විනිවිදභාවය, මහජන සහභාගිත්වය, දූෂණයට එරෙහිව සටන් වැදීම යනාදී ක්ෂේත්‍රයන්ට අදාළව දෑඅවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් සකස් කරනු ලැබ ඇති 'විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම' පිළිගැනීමටත්, එහි ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය අධීක්ෂණය කි‍රීම සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමටත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අනුව, අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුත්, අදාළ අමාත්‍යවරුන්ගෙන් හා අදාළ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.


    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නාවික ක්ෂේත්‍රයට අදාළ සම්මුතීන් අපරානුමත කිරීම

     

    නාවික ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලාංකිකයින් සඳහා වන රැකියා අවස්ථා පුළුල් කිරීමත්, ඔවුන්ගේ රැකියා තත්ත්වයන් උසස් කිරීමත්, නාවික කර්මාන්තය ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ ලබාගැනීමත් අරමුණු කරගනිමින්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 2006 සමුද්‍රීය කම්කරු සම්මුතිය සහ 2003 අංක 185 දරන නාවිකයන්ගේ අනන්‍යතා ලියවිලි පිළිබඳ සම්මුතිය අපරානුමත කිරීමටත්, එකී සම්මුතීන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීමටත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කල්මුනේහි සයින්දමරදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර හා පරිසර දූෂණය පාලනය කිරීම

     

    අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා ඇති සයින්දමරදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වන ජනතාව, ඒ ආශ්‍රිත කලපුව පිටාර ගැලීම නිසා වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වේ. නිසි කාණු පද්ධතියක් නොමැති වීම, කලපුවේ ස්වාභාවික පරිසර පද්ධතියට තර්ජනයක් වී ඇති විවිධ ජලජ පැළෑටි නිසා ජලය ගලා යාම අවහිර වීම, ජනතාව විසින් කලපුව ආශ්‍රිතව කැළිකසළ බැහැර කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇත. ඒ අනුව, කලපුවේ ස්වභාව සෞන්දර්ය වැඩිදියුණු කරමින් සහ කලපුව දෙපස කැළිකසළ දැමීමෙන් ආරක්ෂා කරගනිමින් කලපුව සංවර්ධනය කිරීමේ හා කලපුව ආශ්‍රිතව වෙසෙන පවුල් 2,700කට අයත් 10,000කට අධික ජනතාව ගංවතුරෙන් හා කලපු ඛාදනයෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් රුපියල් මිලියන 162ක ඇස්තමේන්තුගත පිරිවැයකින් කලපුව වටා බැම්මක් ඉදි කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    'ජලය නැවත භාවිත කිරීම සහ විකල්ප ක්‍රමවේද මඟින් ජලය සැපයීම' (Water Re-Use / Alternative Water Supply) පිළිබඳ වැඩමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

    ජලය නැවත භාවිත කිරීම හා ජලයේ ලවණ ඉවත් කිරීම, පටල තාක්ෂණය, උසස් ඔක්සිකරණ ක්‍රියාවලිය සහ ස්වාභාවික පිරිපහදු පද්ධතීන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රා‍‍යෝගික දෙයංශය සම්බන්ධයෙන්ම දැනුම්වත් කිරීමේ අරමුණින්, ඉන්දියන් ඕෂන් රිම් ඇසෝසියේෂන් (IORA)හි සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන, 'ජලය නැවත භාවිත කිරීම සහ විකල්ප ක්‍රමවේද මඟින් ජලය සැපයීම' යන මැයෙන් වන වැඩමුළුවක්, 2016 නොවැම්බර් මස 01 දින සිට 03 දින දක්වා කොළඹදී පැවැත්වීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව 2016-06-05 දින පුපුරා යාමෙන් ආපදාවට පත්වූවන්ට තවදුරටත් සහන සැලසීම

     

    කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපිරීමෙන් හානියට පත් නිවාස සඳහා ගෙවීම් කිරීමට රුපියල් මිලියන 359 කට අධික මුදලක් දැනටමත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත මුදා හරිනු ලැබ ඇත. මෙම ආපදාවෙන් හානියට පත් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල තිබූ උපකරණ සඳහා වන්දි ලබා දීමටත්, කුලී පදනම මත ලබාගත් ව්‍යාපාරික ස්ථානවල තම ව්‍යාපාර පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයන් සඳහා එම ව්‍යාපාරික ස්ථාන යථා තත්ත්වයට පත්වන තෙක් තාවකාලික පොදු ව්‍යාපාරික ස්ථානයක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කර දීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    අධිශක්ති භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව

     

    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ වෙනත් පර්යේෂණ ආයතන විසින් න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ යුරෝපීය සංවිධානය (CERN) සමඟ ක්‍රියාත්මක කරනු ලබන පර්යේෂණ ව්‍යාපෘතීන් සඳහා සහාය ලබා දීමට එකඟත්වය පළ කරමින් සහ එම සංවිධානයෙහි ආශ්‍රිත සාමාජිකයින් (Associate Members) ලෙස ක්‍රියා කිරීම පිණිස ශ්‍රී ලාංකික විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන් හා තාක්ෂණික ශිල්පීන්ට අවස්ථාව සලසමින්, අධිශක්ති භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතාව සඳහා වන අභිලාෂ ප්‍රකාශයක් (EOI) එකී සංවිධානය සමඟ අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    තාක්ෂණ හා ‍නවෝත්පාදන සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව හා කියුබානු ජනරජය අතර ඇති කර ගනු ලබන ගිවිසුම

     

    ශ්‍රී ලංකාව හා කියුබාව අතර විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව දිරි ගැන්වීම හා ඒ සඳහා සහාය ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා කියුබානු ජනරජය අතර ඇති කර ගැනීමට නියමිත, 'විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පිළිබඳව වන ගිවිසුමට' අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    කළුතර දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම

     

    කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම රෝහල වන කළුතර දිස්ත්‍රික් මහ රෝහල මඟින් රත්නපුර සහ ගාල්ල වැනි යාබද දිස්ත්‍රික්කවලින් පැමිණෙන රෝගීන් හටද සෞඛ්‍ය සේවා සපයනු ලැබේ. පසුගිය වසර කිහිපය තුළ මෙම රෝහල වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් සැපයීම සඳහා එහි පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය, පරිපාලන ගොඩනැඟිල්ල, කාර්ය මණ්ඩල නිල නිවාස සහ ඖෂධ ගබඩාව රුපියල් මිලියන 4,121ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර එළඹෙනු ලබන ගිවිසුම

     

    සිය රජ‍යන් වෙනුවෙන් නිල දූත මෙහෙවරයන්හි නියැළෙන ශ්‍රී ලාංකික සහ පිලිපීන ජාතිකයන්ට දෙරට අතර සංචාරය කිරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හෝ නිල විදේශ ගමන් බලපත්‍ර හිමි දෙරටේ පුරවැසියන්ට, දින 30ක් නොඉක්මවන කාලයක් සඳහා අනෙක් පාර්ශ්වයේ රටට පිවිසීම, ඒ හරහා ගමන් කිරීම හා රැඳී සිටීම සඳහා වීසා ලබාගැනීමේ අවශ්‍යතා‍වෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ පිලිපීන ජනරජයේ ආණ්ඩුව අතර එළඹෙනු ලබන ගිවිසුමට අත්සන් තැබීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බේරේ වැව ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

     

    කොළඹ නගර මධ්‍යයේ පිහිටි, හෙක්ටයාර 120ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු බේරේ වැව, නගරයට මහත් සුන්දරත්වයක් එක් කරනු ලබන අතර, වැසි ජලය බැස යාමට, විනෝදාස්වාද කටයුතු සඳහා මෙන්ම ජෛව විවිධත්වය සඳහාද එමඟින් සහාය සැලසේ. බේරේ වැව අවට පරිසරයේ සිදු කෙරෙන විවිධ කටයුතුවලදී මුදා හරිනු ලබන අපජලය, නීතිවිරෝධී ලෙස බේරේ වැව වෙත යොමු කර තිබෙන මලාපවහන පද්ධති සහ ඝන අපද්‍රව්‍ය හේතුවෙන් මෙම ජල මූලාශ්‍රය දූෂණයට ලක් වෙමින් පවතී. එසේම යාබද ඉඩම්වල සිදු කෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් වැව් ඉවුර වෙත ප්‍රවේශ වීමේ හැකියාවද බොහෝ ස්ථානවලින් අවහිර වී ඇත. කොළඹ නගරය තුළ ප්‍රසන්න පරිසර තත්ත්වයකින් යුත්, විනෝදාස්වාද පහසුකම්වලින් සමන්විත ස්ථානයක් වශයෙන් බේරේ වැව හා ඒ අවට ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා, යෝජිත බේරේ වැව ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, රුපියල් මිලියන 12,550ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    2017 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම

     

    එක්සත් ජාතීන්ගේ සහභාගිත්වය ඇතිව 2017 වර්ෂයේදී පවත්වනු ලබන ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු ඇතුළුව රටවල් 100කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් එම සමුළුව සඳහා සහභාගි වීමට නියමිතය. එසේම බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් රට තුළ ඇති කර ලීම සඳහාත්, ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වශයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු ජාත්‍යන්තර ගෞරවය සහ පිළිගැනීම තහවුරු කර ලීම පිණිසත් මෙම අවස්ථාව මහෝපකාරී වනු ඇත. ඒ අනුව, 2017 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අදාළ කටයුතු සංවිධානය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරවා ගැනීම පිණිස බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල අභ්‍යන්තර මාර්ග සහ පිවිසුම් මාර්ග අ‍ලුත්වැඩියා කිරීම හා ඉදි කිරීම

     

    මීගොඩ, නුවරඑළිය, කැප්පෙටිපොළ හා වේයන්ගොඩ යන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයන්හි අභ්‍යන්තර මාර්ග හා පිවිසුම් මාර්ග ඉදි කිරීම සහ රථගාල හා කාණු පද්ධති ඉදි කිරීමේ කටයුතු, රුපියල් මිලියන 25.2ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, අදාළ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉටු කරවා ගැනීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ශ්‍රී ලංකාව සභාපතිත්වය දරන කාලසීමාව තුළ කොළඹ ක්‍රියාදාමය සහ අබුඩාබි සංවාදය සඳහා ලේකම් කාර්යාලයක් සහ උපදේශක කමිටුවක් ස්ථාපිත කිරීම

     

    ආසියානු රටවල් සඳහා ගිවිසුම්ගත ශ්‍රමය පිළිබඳ කලාපීය උපදේශන ක්‍රියාවලියක් ලෙස 2003 වර්ෂයේදී 'කොළඹ ක්‍රියාදාමය' (Colombo Process) ස්ථාපිත කෙරිණි. එමෙන්ම ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ක්‍රියාදාමයෙහි නියුක්ත පාර්ශ්වකරුවන් විසින් ගිවිසුම්ගත තාවකාලික ශ්‍රමය යොදාගැනීමට අදාළ ජාතික නීති සහ ‍රෙගුලාසි පිළිබඳ අවශ්‍යතා සමඟ අනුකූල වීම බලාත්මක කිරීම සම්බන්ධයෙන් සාමාජික රාජ්‍යයන්හි ඒකාබද්ධ වගකීම පිළිගැනීමේ අරමුණ සහිතව 2008 වර්ෂයේදී 'අබුඩාබි සංවාදය'(Abu Dhabi Dialogue)ද ස්ථාපිත කෙරිණි. විගමනික සේවකයන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම හඳුනාගනිමින්, වසර ‍දෙකක කාලයක් සඳහා අබුඩාබි සංවාදයේ මීළඟ සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකාව ඒකමතිකව තෝරා ගෙන තිබේ. ඒ අනුව, එකී ජාත්‍යන්තර සංසදයන්හි කාර්යභාරය සඳහා පහසුකම් සැපයීමේ අරමුණින්, ශ්‍රී ලංකාව විසින් අබුඩාබි සංවාදයේ සභාපතිත්වය දරනු ලබන කාලසීමාව තුළ කොළඹ ක්‍රියාදාමය සහ අබුඩාබි සංවාදය සඳහා ලේකම් කාර්යාලයක් හා උපදේශක කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර ඉදි කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය

     

    රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වර්තමානයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 94,000ක් පමණ වන අතර, මෙයින් 52,800ක් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් ලබා දීමට අවශ්‍ය ගොඩනැඟිලි හා අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීම අවසන් කරනු ලැබ ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂිකව 10%කින් පමණ වැඩි කිරීමට රජය සැලසුම් කර ඇති බැවින් තවදුරටත් නේවාසික පහසුකම් සලසා දීම සඳහා කටයුතු කළ යුතු වේ. ඒ අනුව, තවත් විශ්වවිද්‍යාල සිසුන් 9,600කට පමණ නේවාසික පහසුකම් සැලසිය හැකි පරිදි නව නේවාසිකාගාර 24ක් ඉදි කිරීමේ කටයුතු රුපියල් මිලියන 1,430ක පිරිවැයකින් 2016 වසර තුළ ආරම්භ කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

     

    කැලණිය, නැ‍ඟෙනහිර, රුහුණ හා ශ්‍රී ලංකා භික්ෂු යන විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍ය ප්‍රජාව සඳහා වඩා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින්, එම විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම


    කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගොවීන්ට තම කෘෂි අස්වැන්න ගබඩා කිරීම සඳහා තත්ත්වයෙන් උසස් ගබඩා පහසුකම් සැලසීමේ අරමුණින්, පර්යේෂණාගාරයක් සහිත කාර්යාල ගොඩනැඟිල්ලක්, නවාතැන් පහසුකම් සහිත ගොඩනැඟිල්ලක්, ජල ටැංකියක්, ට්‍රාන්ස්ෆෝමර් කුටියක් ආදියෙන් සමන්විත වර්ග අඩි 32,000ක පමණ වපසරියකින් යුත් ගබඩා සංකීර්ණයක් එම දිස්ත්‍රික්කය තුළ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    අයවැය 2017 - දෙවන වර කියවීම පිළිබඳ විවාදය සහ කාරක සභා අවස්ථා විවාදය

     

    2017 අයවැයට අදාළ පළමු වර කියවීම (අයවැය කථාව) 2016-11-10 වන දින සිදු කිරීමට නියමිත බවටත්, දෙවන වර කියවීමේ විවාදය සහ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දින 26ක් පුරා සිදු කිරීමට නියමිත බවටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya