අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩලය තීරණ - 2016-08-09

    අගෝස්තු 10, 2016

    දේශපාලන හේතූන් මත විවිධ ගැටලුවලට මුහුණ දුන් පොලිස් නිලධාරින්ට සහන සැලසීම

     
    දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරින්ගේ අභියාචනා සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුව විසින් සහන සැලසීම සඳහා නිර්දේශ කරනු ලැබ ඇති පොලිස් නිලධාරින් 129දෙනා අතුරින් විනය පරීක්ෂණවලට භාජනය වී නොමැති නිලධාරින් සඳහා අදාළ සහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එහිදී පොලිස් සේවයේ යෙදී සිටින නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතාව කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමටද තීරණය විය.
     
     
    මූල්‍ය නගරය (Financial City - FC)
     
    යෝජිත මූල්‍ය නගරයෙහි මුඛ්‍ය අරමුණ වනුයේ කලාපයේ ප්‍රමුඛ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත්වීම වන අතර, ඉන්දියානු, දකුණු ආසියානු හා මැද පෙරදිග කලාපයන්ගෙන් මෙන්ම එංගලන්තය ඇතුළු යුරෝපා රටවලින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වේ. මෙම මූල්‍ය නගරය අප කලාපය සඳහා තරගකාරී හා නවීන මූල්‍යමය සේවා සපයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාව වෙත විදේශ ප්‍රාග්ධනය විශාල වශයෙන් ගලා එනු ඇත. තවද, නව බුද්ධිමය කුසලතාවන් හා හැකියාවන් ඇති කරමින් ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් රැකියා අවස්ථාවන්ද සලසා දෙනු ඇත. ජාතික වශයෙන් වැදගත් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතියට අවශ්‍ය කාර්ය මණ්ඩලය හා සම්පත් සපයා ගනිමින් යෝජිත මූල්‍ය නගරයේ මූලික ක්‍රියාකාරකම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආරම්භ කිරීමටත්, මූල්‍ය නගරය ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය සේවාවන් ලබාගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සදාචාරසම්පන්න සමාජයක් ගොඩනැඟීමේ අරමුණින් ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන
     
    සදාචාරසම්පන්න සමාජයක් ගොඩනැඟීම සඳහා සමාජය තුළ ආගමික වටිනාකම් සුපෝෂණය කළ යුතු අතර, ඒ සඳහා මෙම ක්‍රියාවලිය තුළ සක්‍රීයව නිරතව සිටින ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම මඟින් රටෙහි ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම පිණිස දිවයින පුරා විවිධ පළාත්වල තෝරාගත් ඇතැම් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වනුයේ සමාජය තුළ දක්නට ලැබෙන ආධ්‍යාත්මික පරිහානිය මඟහරවා ලමින් ආගමික ශික්ෂණයෙන් සුපෝෂිත වූ ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම පිණිස ආගමික ප්‍රවේශයක් යොදා ගැනීමයි. ඒ අනුව, සමාජය තුළ ආගමික වටිනාකම් සුපෝෂණය කිරීමේ ක්‍රියාවලිය තුළ සක්‍රීයව නිරතව සිටින ආගමික මධ්‍යස්ථාන පිළිබඳව අවධානය යොමු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, එම වැඩසටහන සම්බන්ධීකරණය කිරීම පිණිස ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් හා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් යන නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ජපාන රූපවාහිනි වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය
     
    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙත රූපවාහිනි අධ්‍යාපනික වාර්තා වැඩසටහන් 449ක් සලසා දීම සඳහා ජපාන යෙන් මිලියන 52.6ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 73ක) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඊට අතිරේකව, එම වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ විකාශනය සඳහා අවශ්‍ය හඬ කැවීම, උප ශීර්ෂ යෙදීම හා නිෂ්පාදනය යනාදිය සඳහා වන පිරිවැයද ජපාන අරමුදල් වැඩසටහන මඟින් ආවරණය කෙරෙනු ඇත. මෙමඟින් ලෝක දැනුම පිළිබඳ දැනුම්වත්භාවයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් තුළ ගොඩනැ‍ෙඟනු ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් තැබීමටත්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ ප්‍රදාන ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ස්විස් විමසුම් කාර්යපටිපාටිය පිළිබඳ මාර්ගෝපදේශ
     
    සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය හා ආයෝජනය කරනු ලබන මුදලට සරිලන වටිනාකමක් ලැබෙන බව (value for money) සහතික කිරීම පිණිස තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම රජය විසින් අවධාරණය කරනු ලබන අතර, ස්වකැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන අනාරාධිත යෝජනා (Unsolicited Proposals) අධෛර්යවත් කිරීමද සිදු කරනු ලබයි. එසේ වුවද, ආයෝජකයින් විසින් අනාරාධිතව ඉදිරිපත් කරනු ලබන යෝජනාවල අන්තර්ගත සාම්ප්‍රදායික තාක්ෂණයෙන් බැහැර වූ හා මෙතෙක් අවධානය යොමු නොවූ විභවතාවන් අනාවරණය කරගැනීම වැනි සාධනීය ලක්ෂණ සැලකිල්ලට ගෙන ලොව පුරා බොහෝ රටවල් එවන් යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස ස්විස් විමසුම් ක්‍රමවේදය (Swiss Challenge Procedure) අනුගමනය කරයි. එබැවින්, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, ස්වකැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන අනාරාධිත යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පිළියෙල කරන ලද ස්විස් විමසුම් කාර්යපටිපාටිය පිළිබඳ මාර්ගෝපදේශ (Guidelines on Swiss Challenge Procedure), රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වශයෙන් ඇතුළත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන හා පාලන ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම
     
    පසුගිය වසර කිහිපයක සිට ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති අතර, එම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවනු ලැබ ඇත. එසේ වුවද මදුරුවන් බෝවන ස්ථාන ගෘහාශ්‍රිතව හා ආයතනික පරිශ්‍ර ආශ්‍රිතව පැතිර පවත්නා බැවින් ඩෙංගු මර්දන කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පෙනී‍ ‍ගොස් ඇත. ඒ අනුව, ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් ශක්තිමත් කරමින් ඩෙංගු මර්දන ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීම සඳහා ස්ථිර හා කැපවුණු කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීමටත්, එම කටයුතු සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමටත්, මෙම ඩෙංගු රෝග මර්දන ව්‍යාපාරය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් හා අමුත්තන් වෙත රූපවාහිනි තිර මඟින් සෞඛ්‍ය තොරතුරු, ප්‍රවෘත්ති හා දැන්වීම් ප්‍රචාරණය කිරීම
     
    සෞඛ්‍ය තොරතුරු හා වැඩසටහන්, එදිනෙදා සාමාන්‍ය තොරතුරු, දේශීය හා විදේශීය ප්‍රවෘත්ති, ආගමික වැඩසටහන් සහ විනෝදාත්මක වැඩසටහන් රූපවාහිනි තිර ඔස්සේ රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් හා අමුත්තන් අතරේ නවතාවකින් යුතුව ප්‍රචාරණය කිරීමේ අරමුණින් රජයේ රෝහල්හි සායන, වාට්ටු, බාහිර රෝගී අංශ හා ප්‍රවේශ ශාලා යනාදී සුදුසු ස්ථානයන්හි LCD රූපවාහිනි තිර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ ආයතනය පිහිටුවීම
     
    අර්බුදයට ලක්වන මූල්‍ය ආයතන ප්‍රතිප්‍රාග්ධනීකරණයට සහාය වීම පිණිස හා ඒවායේ අර්බුදයට ලක්වී ඇති වත්කම් භාර ගෙන එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ අරමුණින් කටයුතු කිරීම සඳහා මූල්‍ය වත්කම් ප්‍රතිව්‍යූහගත කිරීමේ ආයතනයක් පිහිටුවීමට 2016 අයවැය මඟින් යෝජනා කෙරිණි. ඒ අනුව, මූල්‍යසමාගම්වල අර්බුදයට ලක් වූ වත්කම් භාර ගෙන නිරාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ ආයතනයක් (Financial Assets Management Agency - FAMA) පිහිටුවීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා අවශ්‍ය නීතිමය කාර්යරාමුව සකස් කිරීම ඇතුළු එම ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කාර්යසාධන හා කාර්යක්ෂමතා කළමනාකරණ ඒකකය පිහිටුවීම
     
    තිරසර හා ස්ථාවර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා සහ මහජනතාවගෙන් අය කරන බදු මුදල් ඔවුන්ගේ විශ්වාසය රැකෙන පරිදි කාර්යක්ෂමව හා ඵලදායීව යෙදවීම පිණිස කාර්යසාධන කළමනාකරණය අතිශය වැදගත් වේ. නමුත් රජයේ අරමුදල් කාර්යක්ෂමව හා ඵලදායීව යොදවා ඇති බවට හා ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කරගැනීමට සමත් වීද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වන ආයතනයක් නොපැවතීම මේ දක්වා අඩුපාඩුවක්ව පැවතිණි. ඒ අනුව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ව්‍යවසායන් රජයේ අරමුදල් කාර්යක්ෂමව හා ඵලදායීව යොදවනු ලැබුවේද යන්න සොයා බැලීම සඳහා 'කාර්යසාධන හා කාර්යක්ෂමතා කළමනාකරණ ඒකකයක්' (Performance & Efficiency Management Unit - PEM Unit) මහා භාණ්ඩාගාරය යටතේ ස්ථාපිත කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2016 යල කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
     
    2016 යල කන්නය සඳහා වන වී අස්වනු නෙළීම නුදුරේදීම ආරම්භ වීමට නියමිත අතර, රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ මෙම කන්නයේදී දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි මෙට්‍රික් ටොන් 120,000ක පමණ වී තොගයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ලියාපදිංචි සහ කන්නය තුළ වී වගාවේ නිරතව ඇති ගොවීන් වෙතින් සෘජුවම වී මිල දී ගැනීමට අපේක්ෂිත අතර, ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය අදාළ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාමීය මට්ටමේ නිලධාරින් විසින් සිදු කෙරෙනු ඇත. 2016 යල කන්නයේදී ‘කීරි සම්බා’ වී කිලෝග්‍රෑමයක් රුපියල් 50/- බැගින්ද, ‘සම්බා’ වර්ගවල වී කිලෝග්‍රෑමයක් රුපියල් 41/- බැගින් ද, නාඩු වර්ගයේ වී කිලෝග්‍රෑමයක් රුපියල් 38/- බැගින්ද මිල දී ගැනීම පිණිස අවශ්‍ය කටයුතු කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විශේෂ තැන්පත් ගිණුම් පනත
     
    විදේශ විනිමය විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන එන විදේශීය පුද්ගලයන්ට (Foreign Individuals) නේවාසික වීසා ලබා දීම සඳහා 2016 අයවැය මඟින් යෝජනා කෙරුණු අතර, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස විශේෂ තැන්පත් ගිණුම් පනත හඳුන්වා දීම අවශ්‍ය වේ. යෝජිත විශේෂ තැන්පත් ගිණුම් පනත මඟින්, විශේෂ තැන්පත් ගිණුමක් හරහා ඇමරිකානු ඩොලර් 300,000ක් මෙරටට ප්‍රේෂණය කරන විදේශීය පුද්ගලයන්ට වසර 10ක නේවාසික වීසා ලබා දීමට විධිවිධාන සලසන අතර, ඒ සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000ක ශේෂයක් වසර 10ක් තුළ විදේශ තැන්පත් ගිණුමේ පවත්වාගෙන යාම අවශ්‍ය වේ. මෙම විදේශීය පුද්ගලයන් විසින් රට තුළ සිදු කරනු ලබන වියදම් මඟින් හෝටල්, විනෝදාස්වාද, ප්‍රවාහන වැනි අපගේ නිෂ්පාදන හා සේවාවන් සඳහා ඉල්ලුමක් නිර්මාණය වනු ඇති අතර, සිය පෞද්ගලික විදේශීය ප්‍රාග්ධනය යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට ඔවුන් දිරිගැන්වීම තුළින් ශ්‍රී ලාංකිකයන් හට රැකියා අවස්ථාවන් මෙන්ම නව ව්‍යාපාර හවුල්කරුවන් සොයාගැනීමේ අවස්ථාවද හිමි වනු ඇත. මෙම විශේෂ වීසා හිමියන් හට ශ්‍රී ලංකාව තුළ රැකියාවන්හි නිරතවීම තහනම් කෙරෙනු ඇත. ඒ අනුව, යෝජිත විශේෂ තැන්පත් ගිණුම් පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ උසස් ගණයේ කෞතුක භාණ්ඩවල අනුරූ විදේශ රටවල ප්‍රදර්ශනය සඳහා ලබා දීම
     
    ශ්‍රී ලංකාවේ තිබෙන උසස් ගණයේ කෞතුක භාණ්ඩ විදේශයන්හි පැවැත්වෙන ප්‍රදර්ශන සඳහා රැගෙන යාමට අවස්ථාව සලසා ‍දෙන ලෙස ඇතැම් රටවලින් හා එම රටවල ස්ථාපිත කර ඇති මෙරට දූත මණ්ඩල කාර්යාලවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ සාක්ෂි සපයන එකී කෞතුක භාණ්ඩයන්හි මිල කළ නොහැකි වටිනාකමද, ඒවායේ ආරක්ෂාවද, එම කෞතුක භාණ්ඩ සංරක්ෂණය කර ඉදිරි පරපුරට දායාද කිරීමේ වැදගත්කමද සැලකිල්ලට ගෙන, ඉදිරියේදී රාජ්‍ය නායකයින් අතර ඇති කර ගනු ලබන ද්විපාර්ශ්වික එකඟතාවකදී පමණක්, විදේශීය රටක ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දීම පිණිස තෝරාගත් කෞතුක භාණ්ඩ එකතුවක ප්‍රශස්ත මට්ටමේ අනුකෘතීන් (Replica) සකස් කිරීම සුදුසු බවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (CERA) ස්ථාපිත කිරීම
     
    ලෝක රොබෝ තාක්ෂණික වෙළඳපොළ 2020 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.7ක මට්ටමට‍ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව තුළ රොබෝ තාක්ෂණය සාපේක්ෂව ප්‍රාථමික මට්ටමක පැවතියද නැඟී එන ගෝලීය වෙළ‍ඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කර්මාන්තවල ඵලදායීත්වය හා තරගකාරිත්වය ඉහළ නැංවීමේදී එමඟින් සුවිශේෂ සහායක් ලබා ගත හැකි බව පෙනී ගොස් ඇත. රොබෝ තාක්ෂණය යොදා ගැනීම මඟින් ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණයට, ඵලදායීතාව ඉහළ නැංවීමට, ගුණාත්මකභාවය වැඩි කිරීමට සහ මිනිසුන් අතින් සිදුවන දෝෂ අඩු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය ඇතිව 'රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්' (Centre of Excellence in Robotic Applications - CERA) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බස්නාහිර කලාපීය මහා නගර වැඩසටහන යටතේ සුහුරු නගර (Smart City) ඉදි කිරීම
     
    බස්නාහිර කලාපීය මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් ලෙස සුහුරු නගරයන්හි (Smart Cities) යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හඳුනාගෙන ඇත. නාගරික සේවාවන්හි ගුණාත්මකභාවය, කාර්යසාධනය හා අන්තර් ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම, පිරිවැය හා සම්පත් පරිභෝජනය අවම කිරීම සහ පුරවැසියන් හා රජය අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිණිස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සුහුරු නගර තුළ භාවිතයට ගැනේ. ඒ අනුව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, බස්නාහිර කලාපීය මහා නගරය සඳහා සුහුරු නගර යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා තාක්ෂණික සහාය ලබාගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුදු ජාත්‍යන්තර ආයතනයක් ලෙස පිළි‍ගැනෙන සීමෙන්ස් ආයතනය (Siemens Limited) සමඟ අවබෝධතා ගිවිසුම‍කට එළඹීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බස්නාහිර කලාපීය මහා නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සිංගප්පූරු ජාත්‍යන්තර ව්‍යවසාය මණ්ඩලයේ සහයෝගය ලබාගැනීම
     
    මෙරට ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනය සඳහා වන ප්‍රමුඛතම උපායමාර්ගය ලෙස බස්නාහිර කලාපීය මහා නගරය පිළිගැනීමට ලක්ව ඇති අතර, ඒ යටතේ ක්‍රියාවට නංවනු ලැබීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති රැසකි. එකී ව්‍යාපෘති අතරින් ඇතැම් ව්‍යාපෘති සංකීර්ණ හා සූක්ෂ්ම තාක්ෂණය අවශ්‍ය ව්‍ය‍ාපෘති වන අතර, එම ව්‍යාපෘති සඳහා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමේදී මෙන්ම ඒවා ක්‍රියාවට නැංවීමේදී ද ජාත්‍යන්තර විශේෂඥ සහාය අවශ්‍ය වේ. ඒ අනුව බස්නාහිර මහා නගර ව්‍යාපෘතියෙහි ඇතැම් කොටස් සාර්ථකව ක්‍රියාවට නැංවීම පිණිස වාණිජ මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පූරුව ලබා ගෙන ඇති පළපුරුද්ද හුවමාරු කරගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, ඒ සඳහා සිංගප්පූරු රජයේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයක් වන සිංගප්පූරු ජාත්‍යන්තර ව්‍යවසාය මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දඹුල්ලේ පිහිටි ඉඩමක් ශීතාගාරයක් ඉදි කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය වෙත ලබා දීම
     
    දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දෙවන අදියර ක්‍රියාවට නැංවී‍ම යටතේ දේශීය එළවළු හා පලතුරු නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ සලසමින් ශීතාගාරයක් ස්ථාපිත කිරීම පිණිස, එම කාර්යය සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, දඹුල්ල නගරයේ පිහිටි පර්චස් 188ක පමණ ඉඩමක් රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන වර්තමාන වෙළඳපොළ වටිනාකම මත ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය වෙත ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජපානයේ දියුණු කෘෂිකාර්මික තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වල්පිට ගොවිපළෙහි අධි තාක්ෂණ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
     
    කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීම පිණිස වැඩිදියුණු කරන ලද නව තාක්ෂණික දැනුම ඵලදායී ලෙස යොදාගත හැකි පිරිසක් පුහුණු කිරීම හා තරුණ ව්‍යවසායකයන් ආකර්ෂණය කරගැනීම ඉතා වැදගත් වේ. සමාගමක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කරනු ලැබ ඇති Japan Lanka Agriculture Industrial Research and Training Center (Pvt) Ltd ආයතනය විසින් කෘෂිකාර්මික පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට‍ අයත් වල්පිට ගොවි‍පළේ දැනට භාවිතයට නොගන්නා අක්කර 06ක පමණ ඉඩමක් යොදාගැනීමට අදහස් කරනු ලබයි. ඒ අනුව, එම කාර්යය සඳහා අදාළ සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය (NEMO) ශක්තිමත් කිරීම
     
    රාජ්‍ය ආයතන සහ පළාත් පාලන ආයතන සඳහා ප්‍රාදේශීය මට්ටමින් පස් කැපීමේ යන්ත්‍ර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඉදි කිරීම් උපකරණ සැපයීම පිණිස ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය (NEMO) 1992 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබ ඇති අතර, එය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ ස්වාධීන ආයතනයක් වශයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වේ. අමාත්‍ය මණ්ඩලය විසින් 2007 වර්ෂයේදී ලබා දී ඇති අනුමැතිය පරිදි පළාත් සභා, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉදි කිරීම් ව්‍යාපෘතිවලට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර, උපකරණ හා වාහන කුලියට ගැනීමට සහ තෝරාගත් වැඩවලට අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවය තවදුරටත් ලබාගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ රෝහල් සඳහා රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදිත ශල්‍යාගාර අත්වැසුම් ප්‍රසම්පාදනය කිරීම
     
    රජයේ රෝහල්වල ශල්‍යකර්මවලදී භාවිත කිරීම සඳහා අවශ්‍ය වන ශල්‍යාගාර අත්වැසුම්, දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගනු ලබන අතර, ඊට අදාළ ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වත්තල, යෝජිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදි කිරීම
     
    වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍ය දැනට පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලේ කොටසක් පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් හේතුවෙන් කඩා දැමීමට සිදු වී ඇත. වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍යේ සේවය ලබාගන්නා මහජනතාවට ඵලදායී සේවාවක් ලබා දීමේ සහ එහි කාර්ය මණ්ඩලයට යහපත් කාර්යාල පරිසරයක් ලබා දීමේ අරමුණින් එකී ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍ය සඳහා පස්මහල් නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 198.8ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    ඌව පළාතට අයත් විශාලතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වන මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 35කින් සමන්විත වන අතර, 84,000ක පමණ ජනගහනයක් එහි වාසය කරයි. ප්‍රදේශවාසී ජනතාවගේ පරිපාලන අවශ්‍යතා ඉටු කරනු ලබන මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලෙහි පවතින ඉඩකඩ එමඟින් වර්තමානයේ සලසනු ලබන සේවාවන් හා සැසඳීමේදී ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, ඵලදායී මහජන සේවාවක් සැලසීමට සහ කාර්ය මණ්ඩලය සඳහා යහපත් කාර්යාල පරිසරයක් ඇති කළ හැකි වන පරිදි මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 221ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම - II අදියර
     
    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකින් (04) හා ග්‍රාම නිලධාරි වසම් 95 කින් සමන්විත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 41,792කට අයත් 138,792ක පමණ ජනගහනයක් වාසය කරයි. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ‍ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ පළමු අදියර 2014 වසරේදී අවසන් කරන අතර, ඒ යටතේ ඉදි කරන ලද ගොඩනැඟිල්ලේ පළමු මහලේ සීමිත ඉඩකඩක් තුළ සේවකයින් 250කට අධික ප්‍රමාණයක් සේවය කරන බැවින් මහජනතාවට සේවය සැලසීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වී තිබේ. ඒ අනුව, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වැඩකටයුතු (දෙවන අදියර) රුපියල් මිලියන 565.5ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් සිදු කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ආගාමික හා විගාමික නීති බලගැන්වීමේ මධ්‍යස්ථානය ඉදි කිරීම
     
    වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුව මෙරට රැඳී සිටින විදේශිකයින් සහ වෙනත් රටවලට නීතිවිරෝධී අයුරින් සංක්‍රමණය වීම සඳහා සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිත කිරීමට උත්සාහ දරන විදේශකයින් අත්අඩංගුවට ගෙන රටින් පිටමං කරන තුරු තාවකාලිකව රඳවා තබාගැනීම සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි ප්‍රදේශයකින් පහසුකම් සැලසීම සුදුසු බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, යෝජිත ආගාමික හා විගාමික නීති බලගැන්වීමේ මධ්‍යස්ථානය, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද සැලැස්මට අනුව රුපියල් මිලියන 327ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුදියවලවත්ත ඉඩමෙහි ඉදි කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රාජ්‍ය නිලධාරින් සඳහා දිස්ත්‍රික් මට්ටමින් නේවාසිකාගාර පහසුකම් සැපයීමට ගොඩනැඟිලි ඉදි කිරීම
     
    රාජ්‍ය නිලධාරින් ඔවුන් පදිංචි දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි සේවා ස්ථාන වෙත අනුයුක්ත කිරීමේදී මෙන්ම ස්ථාන මාරු කිරීමේදීද නවාතැන් පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ඔවුන්ට බලවත් අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇත. රාජ්‍ය නිලධාරින්ගෙන් වැඩි ප්‍රමාණයක් නිලධාරිනියන් වන බැවින් ඔවුන් සඳහා ආරක්ෂිත නවාතැන් පහසුකම් සලසා දීම මෙන්ම විවාහක නිලධාරින්ට සිය පවුල්වල සාමාජිකයින් සමඟ වාසය කිරීමට ප්‍රමාණවත් නවාතැන් පහසුකම් සලසා දීම අවශ්‍ය වේ. මෙම දීර්ඝකාලීන ගැටලුවට විසඳුමක් වශයෙන් නේවාසික පහසුකම් සපයා ගැනීම ඉතා දුෂ්කර වන සහ ඉහළ ඉල්ලුමක් පවතින දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරමින්, එක් අදියරකදී දිස්ත්‍රික්ක 05 ක් ආවරණය වන පරිදි, අවිවාහක හා විවාහක නිලධාරින් සඳහා සුදුසු නිවාස ක්‍රම වෙන වෙනම ඉදි කිරීම අදියර 05ක් යටතේ වසර පහක් (05) තුළ සිදු කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නව බහුකාර්ය සටන් ගුවන්යානා සහ අදාළ අවි ආයුධ මිල දී ගැනීම
     
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන්යානා බලගණවල සාමාන්‍ය ආයු කාලය ඉක්මවා ඇති අතර, ඒවා ශීඝ්‍රයෙන් භාවිත කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙමින් පවතී. ජාතික ආරක්ෂාවට එල්ලවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්ත්වයකට සූදානම්ව සිටීමේ සහ ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයට අදාළ වන අයුරින් සාගරික ආරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, රජයකින් රජයකට මිල දී ගැනීමේ පදනම (Government to Government Basis) මත බහුකාර්ය සටන් ගුවන්යානා සැපයීම සඳහා උනන්දුවක් දක්වන ගුවන්යානා නිෂ්පාදකයින්, සහාය නිෂ්පාදකයින්, බලයලත් රජයේ නියෝජිතයින් වෙතින් අභිලාෂය දැක්වීමේ ප්‍රකාශයන් (Expressions of Interest) ලබාගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සහ නින්තවූර් ප්‍රදේශවලට බලපාන වෙරළ ඛාදනය සහ ඉන් විපතට පත් පුද්ගලයින්ට වන්දි ගෙවීම පිළිබඳව වාර්තා කිරීම පිණිස කමිටුවක් පත් කිරීම
     
    අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සහ නින්තවූර් යන වෙරළබඩ ප්‍රදේශයන්හි සිදු වන වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස, ගොවිබිම්, පානීය ජල මූලාශ්‍ර ආදිය හානියට පත්ව ඇත. ගොවීන් හා ධීවර ප්‍රජාව මෙයින් වඩාත් බලපෑමට ලක්ව ඇති ඇති අතර, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන්ටද මේ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත. මෙම තත්ත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර බලා සිදුවී ඇති දේපළ හානි පිළිබඳ තක්සේරු කිරීමටත්, බලපෑමට ලක්වී ඇති ගොවි හා ධීවර පවුල් සංඛ්‍යාව නිවැරදිව හඳුනාගැනීමටත්, ඔවුන්ට ලබා දිය යුතු වන්දි සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමටත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya