අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016-07-26

    ජූලි 27, 2016
    විදේශ සංචාර සඳහා රජයේ අරමුදල් ඵලදායී අයුරින් භාවිත කිරීම
     
    - රජයේ අරමුදල් වැය කිරීමේදී අරපරිස්සමින් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම සියලුම මහජන නියෝජිතයන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ වගකීම වේ. ඒ අනුව, ඒ සඳහා වන චක්‍රලේඛ උපදෙස් සියලුම රාජ්‍ය ආයතන වෙත නිකුත් කර ඇත. එහෙත් එම උපදෙස්වලට පටහැනිව යමින් විශේෂයෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතනයන්හි මහජන නියෝජිතයින්ද, රජයේ නිලධාරින්ද රජයේ අරමුදල් සහ විදේශ ව්‍යාපෘති මඟින් ලැබෙන අරමුදල් යොදා ගනිමින් ඇතැම් විට කණ්ඩායම් වශයෙන් විදේශ සංචාරවල යෙදෙන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් රජයේ අරමුදල්, විශේෂයෙන්ම විදේශීය ප්‍රදාන හා විදේශීය ණය මුදල් ඵලදායීව භාවිත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් විදේශ සංචාරවල නිරතවීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ ඉඩම් ආඥාපනත යටතේ බදු පදනම මත බැහැර කර ඇති වාණිජ ඉඩම් සඳහා බදු සහන ලබා දීම
     
    රජයේ ඉඩම් ආඥාපනත යටතේ වසර තිහක (30) කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීමේදී ප්‍රධාන තක්සේරුකරු වෙතින් ලබා ගනු ලබන වෙළෙඳපොළ වටිනාකම පදනම් කරගනිමින් වාර්ෂික බදු මුදල ගණනය කරනු ලබන අතර සෑම වර්ෂ (05) පහකට වරක් එම බදු මුදල 50% කින් ඉහළ නංවනු ලැබේ. මෙහිදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය අනුව රජයේ ඉඩම් වාණිජ ව්‍යාපාර සඳහා බදු දීමේදී අයකරනු ලබන බදු වටිනාකම ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විශේෂයෙන්ම මහවැලි බල ප්‍රදේශ තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජයේ ඉඩම් වාණිජ ව්‍යාපාර සඳහා බදු දීමේදී සහනදායී ක්‍රමවේදයක් මත පදනම්ව අදාළ බදු මුදල් අය කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ දුම්රිය සේවා අංශයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය වෙතින් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඩොලර් ණය මාලාව
     
    ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 966ක පමණ වන ණය පහසුකම් දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, එම ණය පහසුකම් දකුණු සහ උතුරුදිග දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීම සඳහාත්, දුම්රිය එන්ජින් හා ඩීසල් බලවේග කට්ටල මිල දී ගැනීම සඳහාත් යොදා ගනු ලැබ ඇත. ඉන්දියානු අගමැතිතුමා විසින් 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී මෙරට දුම්රිය සේවය වැඩිදියුණු කිරිම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 318ක ණය මුදලක් ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. රටෙහි උතුරු හා දකුණු ප්‍රදේශ අතර කාර්යක්ෂම භාණ්ඩ හා මගී ප්‍රවාහනයක් සුරක්ෂිත කරමින් ආර්ථික ක්‍රියාකාරකම් දිරි ගැන්වීම සඳහා මහව සිට අනුරාධපුරය දක්වාද, අනුරාධපුරයේ සිට ඕමන්තෙයි දක්වාද වන දුම්රිය මාර්ග සංඥා පද්ධතියද වැඩිදියුණු කරමින් පුනරුත්ථාපනය කිරීම සඳහාත්, වායු සමීකරණය කරන ලද මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල ඒකක 06ක්, එන්ජින් 10ක්, තෙල් ප්‍රවාහනය කරනු ලබන ටැංකි සහිත වැගන් 30ක්, කන්ටේනර් රැගෙන යන වැගන් 20ක් සහ දුම්රිය මැදිරි 160ක් මිල දී ගැනීම සඳහාත් මෙම ණය මුදල යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා ඉන්දියානු අපනයන - ආනයන බැංකුව (EXIM Bank of India)සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීම
     
    වන අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා දිගුකාලීන හා මධ්‍යකාලීන පියවර රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති නමුත් එම සැලසුම් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. එබැවින් එම කාල සීමාව තුළ වන අලින්ගෙන් සිදු විය හැකි හානි අවම කරගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එසේම දිවියන් හා කිඹුලන් වැනි සත්ත්වයින්ගෙන් මිනිසුන්ට සිදු වන හානි මෙන්ම මිනිසුන්ගෙන් එවැනි සතුන්ට සිදු වන හානි අවම කරගැනීම සඳහා ද වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. ඒ සඳහා වන කෙටිකාලීන පියවරක් වශයෙන් වනජීවීන් හා මිනිසුන් අතර ගැටුම් පිළිබඳ යම් සිදුවීමක් වාර්තා වූ සැණින් අදාළ ස්ථාන වෙත ගොස් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා එවැනි ගැටුම් බහුලව වාර්තා වන වනජීවී කලාප ආවරණය වන පරිදි 'වනජීවී පාලන ඒකක' ස්ථාපිත කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි, නියමු ව්‍යාපෘතියක් වශයෙන් වනජීවී පාලන ඒකක 05ක් කඩිනමින් ස්ථාපිත කිරීමටත්, ඒවායේ ප්‍රගතිය මාස 06කින් විමසා බලා ඉතිරි ඒකක පිහිටුවීම පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමටත් වැඩබලන තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සුමේධා ජී. ජයසේන මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ස්වාධීන ගුවන්යානා අනතුරු විමර්ශන කාර්යාංශයක් ස්ථාපිත කිරීම
     
    ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවකු වන ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියෙහි විධිවිධාන අනුව සෑම සාමාජික රාජ්‍යයයක් විසින්ම තම අධිකරණ බල ප්‍රදේශය තුළ සිදු වන ගුවන්යානා අනතුරු හා ඒවාට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම පිණිස ස්වාධීන සංවිධානයක් ස්ථාපිත කිරීම අවශ්‍ය වේ. ගුවන් සේවාවන්හි සුරක්ෂිතතාව වර්ධනය කිරීමටත්, අනාගතයේ සිදුවිය හැකි ගුවන්යානා අනතුරු හා සිදුවීම් වැළැක්වීමටත්, යම් අනතුරකට හෝ එබඳු අනපේක්ෂිත සිදුවීමකට හේතු වූ සාධක හඳුනා ගෙන ගුවන්සේවා පද්ධතීන්හි වැඩිදියුණුව සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙහි අරමුණ වේ. 2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනත අනුව ශ්‍රී ලංකා දේශ සීමාව තුළ සිදු වන ගුවන්යානා අනතුරු හා අනපේක්ෂිත සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙතය. ඒ අනුව, ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතිය යටතේ වන බැඳීම් ප්‍රකාර ගුවන්යානා අනතුරු හා සිදුවීම් විමර්ශනය කිරීම සඳහා වන ස්වාධීන ආයතනයක් වශයෙන් 'ශ්‍රී ලංකා ගුවන්යානා අනතුරු විමර්ශන කාර්යාංශය' ස්ථාපිත කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික සමාජ සංවර්ධන ආයතනයට අයත් ගොඩනැඟිලි සංකීර්ණයක් සීදූව ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරගැනීම
     
    සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමාජ කාර්යයන් (Social Work) පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය අධ්‍යාපන ආයතනයයි. මෙම ආයතනය විසින් ප්‍රායෝගික පුහුණුවීම්ද ඇතුළත් ඉහළ මට්ටමක ගුණාත්මකභාවයකින් යුතු අධ්‍යයන පාඨමාලා ක්‍රියාත්මක කරනු ලබයි. දැන‍ට මෙම ආයතනය විසින් පවත්වනු ලබන පූර්ණකාලීන පාඨමාලා 17ක් සඳහා සහභාගි වන සිසුන් 1,500 දෙනෙකු පමණ බදු කුලී පදනම මත ලබාගත් වර්ග අඩි 70,000ක පමණ ඉඩ ප්‍රමාණයක් තුළ විවිධ අපහසුතා මධ්‍යයේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන අතර, එම ඉඩ ප්‍රමාණය අධ්‍යයන පාඨමාලා පැවැත්වීම, කාර්යාල කටයුතු පවත්වා ගෙන යාම, ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍යයන්ගේ සුබසාධන පහසුකම් සැපයීම ආදී කාර්යයන්ට ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, මෙම ගැටලුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස වර්ග අඩි 100,000ක පමණ වපරිසරයකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පාසල්වල විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ඉහළ නැංවීම සහ ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
     
    අනාගත ලෝකයේ රැකියා අතුරින් 65%ක් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ආශ්‍රිත රැකියාවන්ගෙන් සමන්විත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ එම විෂය ධාරා හදාරනුයේ 30%ක් පමණ වන ශිෂ්‍ය ප්‍රතිශතයකි. අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ ලෝක රැකියා වෙළඳපොළ හා සැසඳීමේදී එම ප්‍රතිශතය ඉතා පහළ අගයක් ගන්නා බැවින්, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනය ලැබීම සිසුන් අතර ප්‍රචලිත කිරීමටත්, විද්‍යා හා තාක්ෂණ විෂයට අදාළ ඉගෙනුම් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ අනෙකුත් අමාත්‍යාංශවලද සහයෝගය ඇතිව පාසල්වල විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය ඉහළ නැංවීමට සහ නවෝත්පාදන දැනුම ඵලදායී අයුරින් පාසල් සිසුන් වෙත බෙදා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රත්නපුර පළාත් මහ රෝහලේ දෙමහල් ළමා වාට්ටු සංකීර්ණය ඉදි කිරීම
     
    සබරගමුව පළාතේ පිහිටි තෘතීයික සේවා සපයන විශාලතම රෝහල රත්නපුර පළාත් මහ රෝහල වන අතර, එය අනෙකුත් යාබද පළාත්වල රෝගීන් විශාල සංඛ්‍යාවකටද සෞඛ්‍ය සේවා සපයයි. එහෙත් රෝගී ළමුන් සඳහා මෙම රෝහලේ දැනට පවතිනුයේ ඇඳන් 68කින් යුත් එක් වාට්ටුවක් පමණි. සෘජුවම ඇතුළත් කරනු ලබන රෝගීන් මෙන්ම අනෙකුත් රෝහල්වලින් මාරු කර එවනු ලබන රෝගීන් නිසා ළමා වාට්ටුව නිරතුරුවම රෝගීන්ගෙන් පිරී පවතී. රෝගී සත්කාරක සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවත්, රෝගී දරුවන් රෝහල්ගත වීමේ සංඛ්‍යාව ඉහළ යාමද සැලකිල්ලට ගනිමින් රත්නපුර පළාත් මහ රෝහලේ ළමා වාට්ටුව සඳහා අමතර ඇඳන් 116ක් එකතු කළ හැකි වන පරිදි දෙමහල් ගොඩනැඟිල්ලක් දානපතියන් විසින් කරනු ලබන ධන පරිත්‍යාග උපයෝගී කරගනිමින් රුපියල් මිලියන 70ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, සෙසු පහසුකම් රජය විසින් සලසා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
     
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු අනුව කුණීත අන්ධභාවය (Corneal blindness), අන්ධභාවය සඳහා බලපාන හතරවන ප්‍රමුඛ හේතුව වේ. කුණීත (Corneal) බද්ධ කිරීම මඟින් නැවත පෙනීම ප්‍රතිස්ථාපනය කිරීමෙන් මෙම ආබාධය සුව කළ හැකිය. දැනට ලොව පුරා කුණීත අන්ධභාවයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවන අතර, ඉල්ලුමට සරිලන තරම් කුණීත සැපයීමක් නොමැති වීම කුණීත අන්ධභාවය තුරන් කිරීමට බාධාවක්ව පවතී. ශ්‍රී ලංකාවේ කුණීත අන්ධභාවය තුරන් කිරීම සඳහා සැලකිය යුතු භූමිකාවක් ජාතික අක්ෂි බැංකුව විසින් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූලව පිළිගත් තත්ත්ව සහතිකයන්ද සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ එකම අක්ෂි බැංකුව වන අතර, අක්ෂි පටක බද්ධ කිරීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම නොපිරිහෙළා අනුගමනය කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට අවශ්‍ය තාක්ෂණික සහාය හා පුහුණු අවස්ථා ලබා දීම සඳහා 'ආසියානු කුණීත පදනම' සහ ලාභ අරමුණු කර නොගත් ගෝලීය සෞඛ්‍ය සංවිධානයක් වන 'සයිට්ලයිෆ්' (SightLife) ආයතනය ඉදිරිපත් වී සිටින අතර, ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සංවර්ධනය කිරීමේ අරමුණින් එම ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කිලිනොච්චියෙහි පිහිටි ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ (SLGTI) සහ උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි පරිවාර පුහුණු මධ්‍යස්ථානවල (Satellite Centers) ඉංග්‍රීසි භාෂා පුහුණුව ක්‍රියාත්මක කිරීම
     
    උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ඉල්ලුම පදනම් කර ගත් වෘත්තීය පුහුණුව වර්ධනය කිරීමේ අරමුණින් 'ශ්‍රී ලංකාවේ උතුරු හා නැ‍ඟෙනහිර පළාත් වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය' ජර්මානු රජයේ ප්‍රදාන හා ආධාර යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා - ජර්මානු පුහුණු ආයතනය (SLGTI) අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා විවෘත කරන ලද අතර, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4,5 සහ 6 යන මට්ටම්වල පුහුණු පාඨමාලා එහි ආරම්භ කිරීමට නියමිතය. තවද, NVQ 1 සිට 3 දක්වා මට්ටම්වල පුහුණු පාඨමාලා සඳහා ප්‍රවේශය ලබා දෙමින් පරිවාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 15ක් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ස්ථාපිත කෙරෙනු ඇත. ශ්‍රී ලංකා - ජර්මානු පුහුණු ආයතනයේ සහ එකී පරිවාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සඳහා සහාය ලබා දීමට ජර්මනියේ Johannes Gutenberg - University Mainz විශ්වවිද්‍යාලය හා ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (GIZ) ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මාකඳුර (බටහිර) කර්මාන්තපුරයේ ස්ථාපනය කිරීමට නියමිත පෙර වැඩුම් මධ්‍යස්ථානය සහ තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානය
     
    ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පෙර වැඩුම් මධ්‍යස්ථානයක් (Incubator) හා තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානයක් මාකඳුර (බටහිර) කර්මාන්තපු‍රයේ ස්ථාපිත කිරීමට නියමිතය. මෙමඟින් නව නිෂ්පාදකයින් සඳහා නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය මූලික පහසුකම් හා ව්‍යාපාරික අදහස් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනු ලැබේ. ඒ අනුව, රුපියල් මිලියන 46.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මාකඳුර (බටහිර) කර්මාන්තපුරයේ පෙර වැඩුම් මධ්‍යස්ථානයක් හා තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානක් පිහිටුවීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රීෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ගම්පොළ වාණිජ සංකීර්ණය සහ අතුරු මාර්ගය ඉදි කිරීම
     
    මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්පොළ නගරය වර්ග කිලෝමීටර 5.18ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති අතර, එම නාගරික බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව සැපයීම සඳහාත්, නගරය තුළ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහාත් ගම්පොළ නගරය විධිමත්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස දැනට පවතින රථවාහන තදබලය අවම කරමින් විකල්ප මාර්ගයක් ඉදි කිරීමටත්, ඒ ආශ්‍රිතව වාණිජ සංකීර්ණයක් ඉදි කිරීමටත් අපේක්ෂා කෙරෙන අතර එම කාර්යය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ආසියානු ඵලදායීතා සංවිධානයේ ආසියානු ආහාර හා කෘෂි ව්‍යාපාර සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
     
    ආසියානු ඵලදායීතා සංවිධානය (Asian Productivity Organization-APO) අන්තර්ජාතික සංවිධානයක් ලෙස ජපානය පාදක කොට ගෙන 1961 වර්ෂයේදී පිහිටුවා ගන්නා ලද අතර, සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම එහි පරමාර්ථය වේ. ආසියා හා පැසිෆික් කලාපයේ රටවල් 20ක් එම සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇති අතර, ශ්‍රී ලංකාවද එහි සාමාජික රටකි. 'කෘෂි ව්‍යාපාර හා ආහාර කර්මාන්තයේ වාණිජමය තිරසර බව හා ඉහළ ඵලදායීතාව සඳහා නව සොයාගැනීම්' යන තේමාව යටතේ ආසියානු ආහාර හා කෘෂි ව්‍යාපාර සම්මන්ත්‍රණයක් 2016 වර්ෂයේ අගෝස්තු මස 02 සිට 05 දක්වා‍ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට එම සංවිධානය විසින් තීරණය කරනු ලැබ ඇති අතර, එම සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය දැරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට පෙර, වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන ලබාගැනීම
     
    පාඩු ලැබීම හේතුවෙන් රජයට වැය බරක්ව පවතින බැවින් දැනට ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් සකස් ‍කෙ‍ෙරමින් පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනයන්හි සේවකයින්ට මෙම වසරේ ඉදිරි කාලසීමාව සඳහා වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරය වෙතින් මුදල් ප්‍රතිපාදන ලබා දීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නිවාස නොමැති අයට සෙවණ සැපයීමේ ජාත්‍යන්තර වර්ෂය -1987
     
    එවක ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම නිවාස අමාත්‍යවරයාද වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යෝජනාවක් අනුව ලොව පුරා සිටින නිවාස නොමැති ජනතාවගේ නිවාස ගැටලුවලට විසඳුම් සොයාගැනීමේ අරමුණින් 1987 වර්ෂය 'නිවාස නොමැති අයට සෙවණ සැලසීමේ ජාත්‍යන්තර වර්ෂය' ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 35 වැනි සැසි වාරයේදී ප්‍රකාශයට පත් කරන ලදී. මෙයට සමගාමීව ශ්‍රී ලංකාව විසින් සංවර්ධනය වෙමින් පවතින තවත් රටවල් කිහිපයක සහයෝගය ඇතිව විවිධ මානව ජනාවාස ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නංවන ලදී. නිවාස නොමැති අයට සෙවණ සැලසීමේ ජාත්‍යන්තර වර්ෂයේ 30 වෙනි සංවත්සරය 2017 වසරට යෙදී ඇති අතර, එය සැමරීම සඳහා දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක ආදර්ශ ගම්මාන හා උදාකළ ගම්මාන මාලාවක් සංවර්ධනය කිරීම 2017 ජනවාරි 01 දින ආරම්භ කිරීමට, තෝරාගත් මානව ජනාවාස ව්‍යාපෘති කිහිපයක් නිම කර විවෘත කිරීමට සහ සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම
     
    කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කාර්යසාධක බලකාය විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, වැවිලි ප්‍රදේශයන්හි නව ගම්මාන පිහිටුවා ලීම මඟින් සමාජ, ආර්ථික, සංස්කෘතික හා යටිතල පහසුකම් සංවර්ධනය කර එම ප්‍රදේශවල ජනතාව වඩාත් සක්‍රීය ලෙස ජාතික ප්‍රවාහයට එක්වීම සහතික කිරීම හා එමඟින් වැවිලි ප්‍රජාව සවිබලගැන්වීමේ පරමාර්ථයෙන් කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරියක් පිහිටුවීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික භාෂා සමානාත්මතාව ප්‍රගමනය කිරීමේ ව්‍යාපෘතියට (National Languages Equality Advancement Project -NLEAP) අදාළව ශ්‍රී ලංකා රජය සහ කැනේඩියානු රජය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම
     
    ශ්‍රී ලංකාවේ වෙසෙන ජනවර්ගයන් අතර ජාතික සහජීවනය, සංවාදය හා රාජ්‍ය භාෂාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සහ රටෙහි ජීවත් වන සිංහල හා දෙමළ භාෂාව කථා කරන ජනතාවගේ ආර්ථික හා සමාජයීය සමානාත්මතාව වැඩිදියුණු කිරීමේ අදහස ඇතිව, 'ජාතික භාෂා සමානාත්මතාව ප්‍රගමනය කිරීමේ ව්‍යාපෘතිය (NLEAP)', පස් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. කැනඩා රජය මඟින් ලබා දෙනු ලබන කැනේඩියානු ඩොලර් මිලියන 11.2ක ප්‍රදානය උපයෝගී කරගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14කින් හා ග්‍රාම නිලධාරි වසම් 762කින් සමන්විත වන අතර, එහි මුළු ජනගහනය 1,217,374ක් පමණ වේ. දැනට සේවකයින් 1,100 දෙනෙකු පමණ සේවය කරනු ලබන කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වසර 45ක් පමණ පැරණි ගොඩනැඟිල්ලක පිහිටා ඇති අතර, එහි පවත්නා සීමිත ඉඩකඩ කාර්ය මණ්ඩලයට හා මහජනතාව සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, වර්තමාන ගොඩනැඟිල්ලේ සිදු කළ යුතු අවශ්‍ය නවීකරණයන්ද සහිතව ඊට යාබදව හා සම්බන්ධ වන පරිදි රුපියල් මිලියන 110.3ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා සිව්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    කළුතර නගරය කේන්ද්‍ර කරගෙන පිහිටා ඇති කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 87කින් සමන්විත වන අතර, එහි වෙසෙන මුළු ජනගහනය 159,225ක් පමණ වේ. කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෙවන මහලේ ස්ථාපිත කර ඇති අතර, පවතින අවම ඉඩ පහසුකම් හේතුවෙන් එහි රාජකාරි කරනු ලබන නිලධාරින්ට මෙන්ම සේවය ලබන මහජනතාවටද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වේ. ඒ අනුව, කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් මිලියන 180ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් වෙනම ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ද්විපාර්ශ්වික දේශපාලනික උපදේශකත්වය සඳහා ශ්‍රී ලංකාවේ සහ ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
     
    දෙරට අතර දේශපාලන මෙන්ම ආර්ථික, වෙ‍ෙළඳ, විද්‍යාත්මක, තාක්ෂණික, සංචාරක ප්‍රවර්ධනය සහ සංස්කෘතික සහයෝගිතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ඇති කරගනු ලබන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශකත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට 2016 අගෝස්තු 3-4 දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මට්ටමේ සාකච්ඡා අතරතුරදී අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට භාණ්ඩාගාර ණයක් ඉල්ලුම් කිරීම්-
     
    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත රාජ්‍ය ආයතනවලින් කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක් පවරනු ලැබ ඇති අතර එම කටයුතු ඉටු කිරීම සඳහා සංස්ථාව වෙත අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපුරා ගැනීම සඳහා ණය ලබාගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස ඉදිරිපත් කෙරුණු යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2016 මැයි 10 සිට 17 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයෑම් නිසා ජනතාවට සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා
     
    2016 මැයි 10 සිට 17 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයාම්වලින් අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු එම දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විශාල වශයෙන් අලාභ හානි සිදු විය. එලෙස සිදු වූ නායයාම් හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත ගණන 151ක් වන අතර, පවුල් 9,620කට අයත් 34,833ක ජනතාවක් එමඟින් පීඩාවට පත්විය. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016‑06‑01 දින කෑගල්ල නගර ශාලාවේදී පවත්වන ලද විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කයේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසට එතුමන් විසින් උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව, ඉහත ආපදා තත්ත්වය හේතුවෙන් අර්ධ වශයෙන් හානි සිදු වූ නිවාස 1,845 සම්බන්ධයෙන් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් හානි ප්‍රතිපූරණය කෙරෙන අතර, පූර්ණ වශයෙන් හානි සිදු වූ නිවාස 230ද ඇතුළුව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නැවත පදිංචි කිරීමට නිර්දේශ කරනු ලැබ ඇති නිවාස 1,682 වෙනුවෙන් රුපියල් මිලියන 2,018.4ක ඇස්තමේන්තුගත පිරිවැ‍යකින් නව නිවාස 1,682ක් ඉදි කිරීමටත්, තම පෞද්ගලික ඉඩම්වල නිවාස ඉදි කිරීමට යොමු වන නිවාසලාභීන්ට රුපියල් 400,000 බැගින් නිවාසලාභීන් 500ක් සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ලබා දීමටත්, නායයාමට ලක්වූ හා අධි අවදානම් ස්ථාන ලෙස හඳුනාගත් ප්‍රදේශ පදිංචිය සඳහා තහනම් කලාප ලෙස නම් කිරීමටත්, නිවාස ඉදි කිරීම්වලට අදාළ ආරක්ෂිත විධිවිධාන පිළිබඳ උපදෙස් ලබා දීමේ වගකීම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත පැවරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya