මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.07.12

    ජූලි 13, 2016

    2016.07.12 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

     

     

    ජාතිය සංවර්ධනය උදෙසා සිවිල් සහ හමුදා අංශයන්හි සම්බන්ධීකරණය සඳහා ආයතනයක් පිහිටුවීම


    ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් සතුව පවතින දැනුම හා සම්පත් ජාතිය ගොඩනැංවීම උදෙසා පහසුවෙන් උපයෝගී කර ගත හැකි අතර, විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව තමන් සතු දැනුම භාවිතයට ගනිමින් ජාතිය ගොඩනැංවීමේ යන්ත්‍රණය සමබන්ධ වගකීම් දැරීම සඳහා ඔවුහු සූදානමින් සිටිති. එබැවින් ත්‍රිවිධ හමුදාව සතු සම්පත්, ශක්තිය සහ පුහුණුව සමස්ත ජාතික සංවර්ධනය සහ සාමය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය වෙත දායක කර ගැනීම සඳහා සිවිල් නිලධාරින් සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ලබන සිවිල් සහ හමුදා සම්බන්ධීකරණ ආයතනයක් පිහිටුවීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත


    තිරසර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය හා උපායමාර්ගය ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහාත්, තිරසර සංවර්ධන සභාව පිහිටුවීම හා ඊට අදාළ අනෙකුත් කරුණු සදහා විධිවිධාන සැලසීම සඳහාත් සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අදාළ අනෙකුත් නියමයන් සපුරාලීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මෝටර් වාහනවල සන්තකය වෙනස් වුවද පැවරීම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ප්‍රමාද වන අයදුම්කරුවන් වෙත සහන කාලයක් සහ සහන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම
    - ලියාපදිංචි අයිතිකරු මාරු වී බොහෝ කාලයක් ගත වී ඇති වාහනවල පැවරීම ලියාපදිංචි කිරීමකින් තොරව මුල් අයිතිකරු නමින්ම භාවිතා කිරීම හා විවෘත පැවරීම් ලේඛන මත විවිධ පුද්ගලයන් අතර වාහන හුවමාරු වීම හේතුවෙන් රජයට අයවිය යුතු පැවරීම් ගාස්තු ඇතුළු විශාල ආදායමක් අහිමි වන අතර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටද ඒ හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී ඇත. මෙම ප්‍රවණතාව අවම කිරීමේ අරමුණින් 2011 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (ගාස්තු) නියෝග මඟින් ප්‍රමාද ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන ලද නමුත් එමඟින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වී ඇත. එබැවින්, සන්තකය මාරු වී ඇති නමුත් නියමිත කාලය තුළ පැවරීම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කර නොමැති වාහන, පැවරීම ලියාපදිංචි කිරීම පිණිස මාස තුනක සහන කාලයක් සහ එහිදී ගෙවිය යුතු අතිරේක ගාස්තුව සම්බන්ධයෙන් සහනයක් ලබා දීම මඟින් එවැනි වාහන පැවරීම් ලියාපදිංචි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    නැ‍ඟෙනහිර පළාතේ, නිලාවේලිහි පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම


    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් වෘත්තීය පුහුණුව අරමුණු කරගනිමින් විවිධ පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික වැඩමුළු ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවා එම දෙපාර්තමේන්තුව සතු පුහුණු මධ්‍යස්ථාන හා බොරැල්ලේ පිහිටි ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය මඟින් ක්‍රියාත්මක කෙරේ. එහෙත් දෙපාර්තමේන්තුව මඟින් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පදිංචි ප්‍රතිලාභීන් සඳහා පැවැත්වනු ලබන පුහුණු වැඩමුළු හා දේශන කොළඹදී පැවැත්වීමට සිදු වීම නිසා ඊට සහභාගි වීමේදී ඔවුන් විවිධ ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දෙන අතර, ඔවුන්ට නේවාසික පහසුකම් සැපයීමේදී දෙපාර්තමේන්තුවද විවිධ ගැටලු වලට මුහුණ දෙයි. එබැවින් උතුරු හා නැ‍ඟෙනහිර පළාතේ ජීවත් වන දිවිනැගුම ප්‍රතිලාභී ජනතාව සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම පිණිස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, නිලාවේලිහි, ගෝපාලපුරම් ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල රජයේ තක්සේරු වටිනාකම වන රුපියල් මිලියන 126ක මුදලකට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව, යාපනය, කැලණිය, කොළඹ, පේරාදෙණිය, ඌව වෙල්ලස්ස සහ අග්නිදිග යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම


    විවිධ විෂයධාරාවන් යටතේ උපාධි පාඨමාලා හැදෑරීම පිණිස විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන විද්‍යාර්ථීන් සංඛ්‍යාව වාර්ෂිකව 5% බැඟින් වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර, එසේ වැඩිවන විද්‍යාර්ථීන් සංඛ්‍යාව සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව, යාපනය, කැලණිය, කොළඹ, පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවල පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සහ ඌව වෙල්ලස්ස, සබරගමුව, අග්නිදිග යන විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ ආරම්භ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු 2016 වසරේ ඒ සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 1,369ක මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් ආරම්භ කිරීමටත්, 2017 සහ 2018 වසරවලදී ඒ සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ගැනීම‍ටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි තෙවන අදියර ක්‍රියාත්මක කිරීම


    මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි තෙවන අදියර යූරෝ මිලියන 156ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපීය ආයෝජන බැංකුව (EIB) අතර ණය ගිවිසුමක් අත්සන් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජර්මානු පෙඩරල් ජනරජය වෙතින් යුරෝ මිලියන 13 ක ශිල්පීය සහයෝගිතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම


    විල්පත්තු ජාතික උද්‍යානය සහ එහි ස්වාරක්ෂක කලාප කළමනාකරණ ව්‍යාපෘතිය, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය සංවර්ධන ව්‍යාපෘතිය සහ සමාජ ඒකාබද්ධතාව හා ප්‍රතිසන්ධානය සඳහා පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති 04 ක්‍රියාත්මක කිරීම සඳහා, අතිගරු ජනාධිපතිතුමා විසින් 2016 පෙබරවාරි මස ජර්මනි‍යේ කරනු ලැබූ සංචාරයේදී, ජර්මානු පෙඩරල් ජනරජය වෙතින් ලබා දීමට එකඟ වී ඇති යුරෝ මිලියන 13ක ශිල්පීය සහයෝගිතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම පිණිස ගිවිසුමකට එළඹීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඩිජිටල් වාණිජ්‍යය සඳහා ගෙවීම් සිදු කිරීමේ ජාතික ක්‍රමයක් ස්ථාපිත කිරීම හා ඩිජිටල් ගනුදෙනු පහසු කිරීම


    වර්තමානයේදී මහජනතාව විසින් භාණ්ඩ හා සේවා සපයා ගැනීමේදී යොදාගනු ලබන වඩාත් පහසුම ක්‍රමවේදය ‍වනුයේ වීසා, මාස්ටර්කාඩ්, ඇමරිකන් එක්ස්ප්‍රස් වැනි අන්තර්ජාතික ණය කාඩ්පත් භාවිත කිරීමය. එසේ වූවද එවැනි ගනුදෙනුවලදී අයකරනු ලබන ගාස්තු ක්‍රමයන් ඇතුළු විවිධ හේතු නිසා ශ්‍රී ලංකාව තුළ එකී කාඩ්පත් මඟින් ගෙවීම් සිදු කිරීම තවමත් සාපේක්ෂව අඩු මට්ටමක පවතියි. ගනුදෙනුවේ වටිනාකම වැඩිවීම මත අදාළ කාඩ්පත් ක්‍රමයන් විසින් අය කරනු ලබන ගාස්තුවද ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන මෙන්ම අනෙකුත් ව්‍යාපාරිකයින්ද එවැනි කාඩ්පත් භාවිතය සඳහා මැළිකමක් දක්වති. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද නිර්දේශ අධ්‍යයනය කරන ලද අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුව විසින් යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, ව්‍යාපාර හා පුරවැසියන් සඳහා විද්‍යුත් වාණිජ්‍යය කටයුතුවලදී සහ විද්‍යුත් ගෙවීම්වලදී පහසුකම් සැලසීම පිණිස වන ක්‍රමවේදයක් වශයෙන් 'ජාතික ගෙවීම් තලය' (National Payment Platform) ස්ථාපිත කිරීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වැලිකඩ බන්ධනාගාරය පුනස්ථාපනය කිරීම


    ශ්‍රී ලංකාව තුළ පවතින බන්ධනාගාර වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ අදාළ නගරවල මධ්‍යයේ, ආර්ථික වශයෙන් ඉහළ වැදගත් කමකින් යුත් ඉඩම් තුළ වේ. රටපුරා පිහිටි බන්ධනාගාර පුනස්ථාපනය කිරීම වැඩසටහන යටතේ වැලිකඩ බන්ධනාගාරය හා එහි අනුකොටස් වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට යෝජිතය. වැලිකඩ බන්ධානාගාර සංකීර්ණය එකිනෙකට වෙන්වූ අංශ 04කින් සමන්විත වන අතර, ඒ අතරින් නිතර අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතු සැකකරුවන් රඳවා තබනු ලබන රිමාන්ඩ් බන්ධනාගරය ස්ථාපිත කිරීම සඳහා උපරිමාධිකරණ සංකීර්ණයට සමීපව පිහිටා ඇති සීමාසහිත බී.සී.සී. ලංකා සමාගම සතු ඉඩම පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ග්‍රාමීය යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම


    'ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන' සඳහා රුපියල් බිලියන 13.3ක අයවැය ප්‍රතිපාදන 2016 අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇති අතර එම ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. රාජ්‍ය සහ පළාත් මට්ටමින් විවිධ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා පරිමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන් මඟින් ආවරණය නොවන ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් ග්‍රාමීය යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ හා ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් අනුරාධපුර, මඩකලපුව හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තාක්ෂණවේදය ශිෂ්‍යත්ව අරමුදල


    අ.පො.ස (උසස් පෙළ) සඳහා හඳුන්වා අලුතින් හඳුන්වා දෙන ලද තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන අඩු ආදායම්ලාභී සිසුසිසුවියන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 100ක මුල්‍යාධාරයක් ලබා ඇති අතර, එම වැඩසටහන මහා භාරකාර දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. එහෙත් එසේ ලබාදෙන ලද අරමුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පරිපාලනමය කාර්යයන් සඳහා යෙදවීමට සිදුවීමෙන් ශිෂ්‍යත්ව වැඩසටහනෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවන තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ අනුව, අදාළ අරමුදල් අපේක්ෂිත අරමුණු සඳහා යොදවා ගැනීමට සහ එමඟින් වැඩි ශිෂ්‍ය පිරිසකට ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි, දැනට මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත බැර කර ඇති අරමුදල් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා ගැනීමටත්, අනතුරුව මහා භාණ්ඩාගාරයේ අදාළ වැය ශීර්ෂයක් යටතේ අයවැය මඟින් වාර්ෂික ප්‍රතිපාදන වෙන් කරගනිමින් මෙම ශිෂ්‍යාධාර වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම


    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා සිව්මහල් නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට අදාළ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය ඉදි කිරීම

    මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා මහල් 03කින් යුත් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව පස් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

     

     

    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා මහල් 05කින් යුත් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව

    2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වන වගන්තිය අනුව වසර මැද රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් අදාළ වර්ෂයේ ජුනි මස අවසානය වන විට මහජනතාවගේ දැනගැනීම සඳහාත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව 2016 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර එම වාර්තාවේ අඩංගු අනෙකුත් තොරතුරු අතර පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්නා ලදී:

    * දේශීය හා ජාත්‍යන්තර අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය, 2015 වර්ෂයේ පළමු කාර්තුව තුළ වාර්තා කරන ලද 4.4%ක වර්ධනයට‍ සාපේක්ෂව 2016 වර්ෂයේ පළමු කාර්තුවේදී 5.5%ක ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමට සමත්ව ඇත.

    * සමාලෝචිත කාලපරිච්ඡේදයට අදාළව 2015 වසරේදී ලැබූ රාජ්‍ය ආදායම 2016 වසරේදී 19.5%කින් වර්ධනය වී ඇත.

    * උද්ධමනය තවදුරටත් තනි අංකයක පවත්වා ගැනීමට හැකි වී ඇත.

    * ජාත්‍යන්තර වෙළඳපොළේ අස්ථාවරත්වයන් මධ්‍යයේ සමස්ත අපනයන ආදායම 4.5%කින් අඩු වුවද, විදේශ ශ්‍රමික ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් මඟින් විදේශ විනිමය ගලා ඒම ඉහළ යාමත්, ආහාර පාන, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ප්‍රවාහන උපකරණ ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩුවීමත් හේතුවෙන් 2015 වසරේ එම කාලය සමඟ සැසඳීමේදී වෙළඳ හිඟය 2016 වසරේ මුල් මාස හතරේදී (04) 2.4%කින් අඩු වී ඇත.


    කැලණි දකුණු ඉවුර ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි අදියර II ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම

     

    කැලණිය දකුණු ඉවුර ජල පවිත්‍රාගාරයේ ධාරිතාව වැඩි කිරීම පිණිස ඝන මීටර 180,000ක ජල පවිත්‍රාගාරයක් අලුතින් ඉදි කිරීම, පිරිපහදු ජලය බෙදා හැරීමේ ප්‍රධාන නළ මාර්ග ඉදි කිරීම, කිලෝමීටර 25ක් දිග ජල සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීම, වී ‍ඔය ජලාශය ඉදි කිරීම සහ කරදිය ආවරණයක් ලෙස රබර් බැලූන සම්පාදනය සහ ස්ථාපිත කිරීම ඇතුළත් යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස දේශීය බැංකුවක් මඟින් සපයා ගනු ලබන යුරෝ මිලියන 13කට සමාන රුපියල් ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 10ක් දක්වා වූ ණය පහසුකම ලබාගැනීම පිණිස භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    වාර්ෂික බස් ගාස්තු සංශෝධනය - 2016

    වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පාදක කරගත යුතු නව නිර්ණායක වෙතොත් ඒවා ද ඇතුළත් කරමින්, 2002 වර්ෂයේදී සකසන ලද බස් ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්ති හා නිර්ණායක සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුව විසින් බස් සංගම් නියෝජිතයින්ගේ හා මගී සංගම් නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද ලබා ගනිමින් සිය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ ඇත. මනා පොදු ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමේ අරමුණින්, එම කමිටුව විසින් 6%ක සංශෝධිත බස් ගාස්තු වැඩිවීමක් ලබා දීම නිර්දේශ කර ඇති අතර, එය ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා විධිමත් පරිදි ක්‍රියාත්මක කළ යුතුව ඇති හෙයින්, එකී බස් ගාස්තු වැඩිවීම 2016 අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය


    භාණ්ඩ ප්‍රවාහන වියදම හා මැදිහත්වන අතරමැදියන්ගේ සංඛ්‍යාව මත අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සැලකිය යුතු ලෙස වෙනස්වීම සාමාන්‍යයෙන් සිදු වන නමුත් මෑතක දී සිදු කරන ලද වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවට පාරිභෝගිකයින් අතර මතයක් නිර්මාණය වී ඇත. ඇතැම් පාරිභෝගික භාණ්ඩ සඳහා වැට් බදු අදාළ වුවත් සහල්, සීනි, පරිප්පු, ලොකු ළූණු, අර්තාපල්, රතු ළූණු, කිරිපිටි, තිරිඟු පිටි, වියළි මිරිස්, මුං ඇට, කව්පි, ටින් මාළු, කුකුල් මස්, වියළි හාල්මැස්සන් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා වැට් බදු අදාළ නොවේ. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස අලෙවිසැල් හරහා අලෙවි කරනු ලබන මිලට වඩා ඉතා වැඩි මිලකට සාමාන්‍ය වෙ‍ෙළඳුන් විසින් අලෙවි කරනු ලබන බව පෙනී ගොස් ඇත. මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 15ක් හඳුනාගෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ විධිවිධාන යටතේ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමටත්, එම ආහාර ද්‍රව්‍යයන්හි උපරිම සිල්ලර මිල ගණන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මඟින් තීරණය කිරීමටත්, ඒ අනුව එම පාලන මිල ගණන් ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත උපාධිධාරි අභ්‍යාසලාභීන් 200කගේ සහ අවශ්‍ය අවස්ථාවන්හිදී ආරක්ෂක අංශවල නිලධාරින්ගේ සේවය ලබාගැනීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    උපදේශක සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය සහ සිංගප්පූරුවේ ‍සර්බානා ජුරෝංග් (Surbana Jurong) පෞද්ගලික සමාගම අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම

     

    ශ්‍රී ලංකාවේ ආයෝජන හැකියාවන්/විභවතාවන් පිළිබඳව නිවැරදි ලෙස තක්සේරු කරමින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීම පිණිස ඉහළ මට්ටමේ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ දැඩි අවශ්‍යතාව රජය විසින් හඳුනා ගනු ලැබ ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජයට උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි රජයට අයත් උපදේශක සමාගමක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත. ඒ අනුව, එවැනි උපදේශක සමාගමක් පිහිට‍ුවීම සඳහා නාගරික සැලසුම්කරණය හා නිර්මාණය, සංවර්ධන කළමනාකරණය, වාස්තු විද්‍යාව, පිරිවැය හා කොන්ත්‍රාත් කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය, පහසුකම් කළමනාකරණය ආදී පුළුල් ක්ෂේත්‍රයක් තුළ පැතිරුණු සේවාවන් සපයන ලොව පිළිගත් නගර ප්‍රතිසංවර්ධන උපදේශක සමාගමක් වන සිංගප්පූරුවේ සීමාසහිත සර්බානා ජුරෝංග් (Surbana Jurong) පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya