අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ -2015.05.10

    මැයි 11, 2016

    2016.05.10 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

     

    ආයතන වස්තුභංගත්ව නීතිවලට අදාළ නීති සංශෝධනය

    දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති වෙළඳ සමාගම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා දැනට පවත්නා 1884 අංක 24 දරන වස්තුභංගත්ව ආඥාපනතේ විධිවිධාන වර්තමාන නව්‍ය වෙළඳ ව්‍යා‍පාර සම්බන්ධයෙන් ඉස්මතු වන ගැටලු විසඳා ලීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. එමෙන්ම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණයෙහි ලා වස්තුභංගත්වයට අදාළව නව නීති මාලාවක අවශ්‍යතාව පැන නැගී ඇත. වස්තුභංගත්වය ආශ්‍රිත තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස යෝග්‍ය හා ඵලදායී නීති පනවනු ලබන්නේ නම් 'ව්‍යාපාරික කටයුතු කරගෙන යාම පහසු රටවල්' පිළිබඳ දර්ශකයෙහි (Ease of Doing Business Index) ඉහළ ස්ථානයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. ඒ අනුව, වර්තමාන අවශ්‍යතාවන් හා ගැළපෙන ආයතන වස්තුභංගත්ව නීතියක් හඳුන්වා දීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් ලබා දෙනු ලබන ප්‍රදාන

    වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකාව සතු වෙරළ තීරයෙහි සිදු කරනු ලබන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම මඟින් දෙපාර්තමේන්තුව සතු හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් මීටර් 30 ක පමණ දිගින් යුතු මුර සංචාරක යාත්‍රා ‍2ක් ලබා දීම ඇතුළු අවශ්‍ය වෙනත් සහායයන් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දීම පිණිස ජපාන රජය එකඟ වී ඇත. ඒ වෙනුවෙන් ජපන් යෙන් 1,830,000,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,400)ක ප්‍රදානයක් ලබාගැනීම සඳහා ‍ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ ප්‍රදාන ආධාර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

    මුදල් නීති පනතේ විධිවිධානවලට අනුකූලව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා සකස් කර ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, මහ බැංකුවේ ගිණුම් කටයුතු, මුදල් ප්‍රතිපත්තියට අදාළව පසුගිය වසරේ ගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන, සම්මත කරන ලද ප්‍රධාන නීතී අණපනත් සහ සංඛ්‍යා ලේඛන ඇතුළත්, 2015 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ‍ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දුම්රිය ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධ දඩ මුදල් සංශෝධනය

    අනෙකුත් මගී ප්‍රවාහන සේවාවන්ට සාපේක්ෂව දුම්රිය සේවය ඉතාම සහනදායී ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කරන නමුත් ඇතැම් දුම්රිය මඟීන් තවමත් ප්‍රවේශ පත්‍ර ලබා නොගෙන හෝ තම ප්‍රවේශ පත්‍රයට අදාළ නොවන ඉහළ පංතිවලට අයත් දුම්රිය මැදිරි තුළ ගමන් කරන බව වාර්තා වී ඇත. සුරක්ෂිත හා කාර්යක්ෂම දුම්රිය සේවයක් සැලසීමේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වර්ධනය කරගැනීමේත්, ප්‍රවේශ පත්‍ර නොගෙන දුම්රියේ ගමන් ගන්නා මඟීන් අධෛර්යයට පත් කිරීමේත් අරමුණින් දුම්රිය ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධයෙන් පනවනු ලබන දඩ මුදල සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යොජනාව සැලකිල්ලට ගෙන දැනට පවතින රුපියල් 1,500/- ක උපරිම දඩ මුදල රුපියල් 3,000/- දක්වා ඉහළ නැංවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    කොළඹ දන්තායතනය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ක්‍රියාත්මක කිරීම

    මුඛ සෞඛ්‍ය ආශ්‍රිත රෝගී සත්කාරක සේවා සඳහා වැඩි වන ඉල්ලුම සපුරා ලීමට මෙන්ම දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉගැන්වීමේ අවශ්‍යතා ඉටු කිරීම පිණිස කොළඹ දන්තායතනය නවීන තාක්ෂණයෙන් හා පහසුකම්වලින් සමන්විත ආයතනයක් ලෙස වැඩිදියුණු කිරීමේ කටයුතු අදියර දෙකකින් සිදු කිරීමට සැලසුම් කරන ලදී. ඒ අනුව, එහි පළමු අදියර මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, එහි දෙවන අදියර යටතේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය, ශල්‍යාගාර, වාට්ටු, එක්ස් කිරණ අංශය, ගබඩා පහසුකම්, පරිපාලන හා අනෙකුත් ඒකකවල පහසුකම් පුළුල් කරමින් සහ රසායනාගාරයේ නව පහසුකම් ඇති කරමින් මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෝජිතය. ඒ අනුව, කොළඹ දන්තායතනය සංවර්ධනය කිරීමේ දෙවන අදියරෙහි කටයුතු රුපියල් මිලියන 1,200ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සිදු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වවුනියාව කාර්මික විද්‍යාලය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට අයත්, වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාපනය කර ඇති කාර්මික විද්‍යාලය මඟින් තරුණ-තරුණියන් සඳහා කාර්මික පුහුණු පාඨමාලා දහනවයක් (19) ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි පාඨමාලා හැදෑරීම සඳහා වාර්ෂිකව සිසුහු 500 ක් පමණ බඳවාගනු ලැබෙති. මෙම කාර්මික විද්‍යාලය තුළ දැනට පවතින ඉඩකඩ සහ අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් මට්ටමක නොපවතින අතර, ඒ අනුව එම විද්‍යාලය සඳහා දේශන ශාලා, ප්‍ර‍ායෝගික ක්‍රියාකාරකම් සඳහා වූ ගොඩනැඟිලි, නිලධාරි නිල නිවාස, පරිගණක විද්‍යාගාර, පුස්තකාලයක් සහ ජල ටැංකියක් ඇතුළු අනෙකුත් යටිතල පහසුකම්වලින් සමන්විත ‍ෙගාඩනැඟිලි සංකීර්ණයක් රුපියල් මිලියන 114ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, රුපියල් මිලියන 04ක ඇස්තමේන්තුගත පිරිවැයකින් කාර්යමණ්ඩල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඇඟලුම් ආශ්‍රිත කුඩා පරිමාණ කර්මාන්තශාලා ඔස්සේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වීම දිරිමත් කිරීමත්, ග්‍රාමීය කාන්තාවන් සඳහා රැකියා අවස්ථා සලසා දීමත් කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ග්‍රාමීය කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ. මෙහිදී අවතැන් වූ පවුල්වල කාන්තාවන් සහ යුද්ධය නිසා වැන්දඹුභාවයට පත් වූ කාන්තාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් විනිවිද පෙනෙන ක්‍රමවේදයක් මඟින් තෝරාගැනුණු ග්‍රාමීය කාන්තාවන් සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් යටතේ ඇඳුම් මැසීම පිළිබඳ සුදුසුකම් ලත් පුහුණුකරුවන් විසින් ඇඳුම් මැසීම පිළිබඳ පුහුණුව ලබා දෙනු ඇති අතර, ව්‍යවසායකත්ව සංවර්ධනය හා පුහුණුව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලබා දෙනු ඇත. එ‍සේම ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ ජාතික ශිල්ප සභාව විසින් අවශ්‍ය මෝස්තර සහාය සහ පුහුණුව ලබා දෙනු ඇත. එලෙස නිෂ්පාදනය කරනු ලබන ඇඟලුම් අලෙවි කිරීමේ කටයුතු ජාතික මට්ටමේ ගැනුම්කරුවන් හා අපනයනකරුවන් ප්‍රාදේශීය මට්ටම හා සම්බන්ධ කරමින් සිදු කෙරෙනු ඇත. නැ‍ඟෙනහිර හා ඌව පළාත් ඇතුළු තෝරාගත් දිස්ත්‍රික්කවල හඳුනාගත් ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ඒ අනුව, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, පුහුණුව අවසන් කරනු ලබන කාන්තාවන් සංවිධානයට කර පළමු අදියර වශයෙන් 2016 වර්ෂය තුළ සමුපකාර/හවුල් ව්‍යාපාර මාදිලියේ කුඩා ඇඟලුම් කම්හල් 150ක් පිහිටුවීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම

    සිංහල භාෂාවෙන් වර්තමානයේ ව්‍යවහාර කෙරෙන 'කසළ තේ' යන වචනය වෙනුවට එයට වඩාත් ගැළපෙන 'ප්‍රතික්ෂේපිත තේ' යන වචනය යොදා ගනිමින්ද, එබඳු ප්‍රතික්ෂේපිත තේ සම්බන්ධයෙන් නියෝග සැකසීම සඳහා අමාත්‍යවරයා සතු බලතල ශක්තිමත් කරමින්ද පනත යටතේ දැක්වෙන වරදකට වරදකරුවකු වූ පුද්ගලයකුට එරෙහිව අය කළ හැකි උපරිම දඩ මුදල රුපියල් 50,000/- සිට රුපියල් ලක්ෂ 5 දක්වා සහ වරදක් සමථයකට පත් කිරීමේදී අය කළ හැකි උපරිම මුදල රුපියල් 10,000/- සිට රුපියල් ලක්ෂ 5 දක්වා ඉහළ නංවමින්ද 1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    ප්‍රතිදීප්ත පහන් (Fluorescent Lamps) සහ තුලබරු (Choke) සඳහා බලශක්ති කාර්යසාධන නව ප්‍රමිති සහ බලශක්ති ලේබල හඳුන්වා දීම

    කාර්මික හා වාණිජ අංශවල දියුණුවත්, ග්‍රාමිය ප්‍රදේශවලට විදුලි ජාලය ව්‍යාප්ත කිරීම මඟින් රට තුළ 100%ක විදුලි සැපයුමක් ලබා දීමත් සමඟ මෙරට විදුලිබල ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. වර්තමානය වන විට රටෙහි මුළු විදුලි පරිභෝජනයෙන් පිළිවෙළින් 37%ක් සහ 27%ක් ගෘහස්ථ හා ව්‍යාපාරික අංශ විසින් පරිභෝජනය කරනු ලබයි. එම දෙයංශයෙහිම විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් (30%ක් පමණ) ද්විත්ව විලි සහිත නළාකාර ප්‍රතිදීප්ත පහන් (Double capped Tubular Florescent Lamps) සහ තුලබරු (Choke) සඳහා වැය වේ. බලශක්ති කාර්යසාධන ප්‍රමිති හඳුන්වා දී ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවෙන් යුතු ද්විත්ව විලි සහිත නළාකාර ප්‍රතිදීප්ත පහන් සහ තුලබරු ආනයනය කිරීමට සහ මෙරට නිෂ්පාදනය කිරීමට අනුබල දීම තුළින් වාර්ෂිකව ගිගාවොට් පැය 85ක විදුලි ප්‍රමාණයක් රටට ඉතිරි කර ගත හැකි බවට ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව, බලශක්ති කාර්යසාධන ප්‍රමිති මහජනතාවගේ දැනගැනීම සඳහා නිරූපණය කිරීම අනිවාර්ය කරමින් ද්විත්ව විලි සහිත නළාකාර ප්‍රතිදීප්ත පහන්වල සහ තුලබරුවල ගුණාත්මකභාවය නියාමනය කිරීම පිණිස 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ විධිවිධාන යටතේ ඇමතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බලශක්ති ලේබල නියෝග ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, එම නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම (Certificate of Recognition) පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‍ය සහ පෘතුගාල රජය අතර අවබෝධතා ගිවිසුම

    ප්‍රවීණතා සහතිකයක් සහිත නාවිකයකුට විදේශීය ධජයක් යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා එම ප්‍රවීණතා සහතිකයට අමතරව අදාළ නෞකාව ලියාපදිංචි කර ඇති රාජ්‍යය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් (Certificate of Recognition) ලබාගැනීම අවශ්‍ය වේ. එවැනි සමාන තත්ත්වයේ සහතික නිකුත් කිරීම සඳහා අදාළ රාජ්‍යයන් අතර සම්මුතියක් හෝ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගෙන තිබිය යුතු අතර, දැනටමත් ශ්‍රී ලංකාව විදෙස් රටවල් 29 ක් සමඟ එවැනි ගිවිසුම් ඇති කර ගෙන ඇත. මෙවැනි ගිවිසුම්වලට එළඹීම මඟින් ප්‍රවීණතා සහතිකලත් ශ්‍රී ලාංකික නාවිකයින් විශාල ප්‍රමාණයකට විදේශ නෞකාවල සේවය කිරීමේ රැකියා අවස්ථා විවර වේ. මෙම සහතිකපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමකට එළඹීමට පෘතුගාල රජය කැමැත්ත පළ කර ඇති අතර, ඒ අනුව පෘතුගාලය සමඟ සමුද්‍රීය ප්‍රවීණතා සහතිකපත් පිළිගැනීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ කුරුණෑගල අතර ද්විත්ව දුම්රිය මාර්ගය ඉදි කිරීම

    ඉන්දියානු ණය ආධාර (Indian Line of Credit) ය‍ටතේ උතුරු හා තලෙයිමන්නාරම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට සැලකිය යුතු මට්ටමකට නිම කරනු ලැබ ඇති අතර, මෙම කාර්යය අවසන් වීමෙන් පසුව ද ඉතිරි වනු ඇති බවට ගණන් බලා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක ‍ මුදල උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා ගතවන කාලය අඩු කිරීමේ අරමුණින් පොල්ගහවෙල සහ කුරුණෑගල අතර වැඩිදියුණු කරන ලද සංඥා පද්ධතියක් සහිතව පවතින දුම්රිය මාර්ගයට සමාන්තරව අමතර දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා භාවිත කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     මාතර අදියර IV ජල සම්පාදන ව්‍යාපෘතිය

    මාතර හා තදාසන්න ප්‍රදේශවල ග්‍රාම සේවා කොට්ඨාස 231ක වාසය කරන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් මාතර අදියර IV ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව හා වැදගත්කම සැලකිල්ලට ගනිමින් ජාතික සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    චීන රජයේ මූල්‍ය පහසුකම් යටතේ රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම

    දශක තුනක් පමණ පැවති යුද ගැටුම් හේතුවෙන් ඉතාම දුර්වල තත්ත්වයක පැවැති, උතුරු - නැ‍ඟෙනහිර පළාත්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් 2010 වසරේදී සැලසුම් කරන ලද ඉහත ව්‍යාපෘතියේ විෂයපථය වර්තමාන තත්ත්වයන්ට අනුකූලව වෙනස් කරමින්, චීන රජය විසින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 85ක මූල්‍යමය සීමාව තුළ දිවයිනේ සියලුම පළාත්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණුවට හේතු වන පරිදි, පළාත් රෝහල්ද ඇතුළත්ව දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරාගත් රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට හා රෝහල් ගොඩනැඟිලි ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     කොළඹ වරාය සිට කොලොන්නාව දක්වා තෙල් නළ එළීමේ ව්‍යාපෘතිය

    කොළඹ වරාය සිට කොලොන්නාව ඉන්ධන නිමාව දක්වා තෙල් නළ ‍එළීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් හිතකර ප්‍රසම්පාදන ක්‍රමවේදය වශයෙන් 'රජයක් විසින් තවත් රජයක් වෙත' (Government to Government - G to G) යන ක්‍රමවේදය අනුගමනය කරමින් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳව යුක්‍රේනය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ලද ද්විපාර්ශ්වික ගිවිසුම

    අපරාධ සම්බන්ධ කරුණුවලදී අන්තර්ජාතික නෛතික සහයෝගීතාව දැක්වීම එවැනි අපරාධ මැඬලීමෙහි ලා බෙහෙවින් වැදගත් වේ. වෙනත් රටවල සිදුවන සාපරාධී කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය එම රටවල් වෙත දැක්වීමටත්, එම රටවල්වල සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමටත් විදෙස් රටවල් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීම පිණිස 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීම පිළිබඳ පනත මඟින් විධිවිධාන සලසනු ලබයි. ඒ අනුව, විමර්ශන පැවැත්වීම, නඩු පැවරීම, අපරාධ වැළැක්වීම සහ සාපරාධී කටයුතුවලින් උපයන මුදල් රාජසන්තක කිරීම යන කරුණුවලදී දෙපාර්ශ්වයේම බලාත්මකව පවතින නීති සවිබල ගැන්වීමේ පරමාර්ථයෙන් සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර ගිවිසුමක් ඇති කරගැනීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍ය කමිටුව

    ශ්‍රී ලාංකේය ජනතාවගේ මානව හිමිකම් ගරු කොට, ප්‍රවර්ධනය කර, ආරක්ෂා කිරීම රජයේ ප්‍රතිපත්තියයි. ශ්‍රී ලංකා රජය විසින් ස්වේච්ඡාවෙන් එළඹෙනු ලැබ ඇති ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටත්, ජාතික සංහිඳියා ක්‍රියාවලිය සහ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් මානව හිමිකම් හා සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා දීම අවශ්‍ය වන අතර, එමඟින් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පසුබිමද නිර්මාණය කෙරෙනු ඇත. 2012-2016 කාල සීමාව සඳහා ක්‍රියාත්මක කරන ලද 'ජාතික පස් අවුරුදු මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මේ' කාල සීමාව මෙම වසරේදී අවසන් වන අතර, ඉදිරි වසර පහ, එනම් 2017-2021 දක්වා කාල සීමාව සඳහා 'මානව හිමිකම් ජාතික ක්‍රියාකාරී සැලැස්ම' සකස් කිරීම සඳහා සහ මානව හිමිකම් හා සම්බන්ධ සියලුම කරුණු පිළිබඳව සලකා බැලීමට අන්තර් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya