අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.04.19

    අප්‍රේල් 20, 2016

    ඊයේ (19) දියේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත සඳහන් පරිදි වේ.

     

    ගව අනාථාගාරයක් වශයෙන් භාවිත කිරීම සඳහා අක්කර 100ක ඉඩම් කොටසක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වෙන් කර දීම


    දැනට තෘණ භූමියක් සඳහා වෙන් කර ඇති, මොණරාගල දිස්ත්‍රික්කයේ, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොවුල්ආර ගම්මානයේ පිහිටි අක්කර 200ක් පමණ වූ ඉඩමෙන්, අක්කර 100ක බිම් ප්‍රමාණයක් ගව අනාථාගාරයක් පවත්වා ගෙන යාම පිණිස 1993 අංක 30 දරන පනත මඟින් සංස්ථාගත කරනු ලැබ ඇති, ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ, ශ්‍රී බෝධිරාජ පදනම වෙත නාමික බද්දක් අය කොට අවුරුදු 30ක කාලයක් සඳහා බදු දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    මහරගම පිළිකායතනය සඳහා නවීන වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු නිම කිරීම (රසාවි ව්‍යාපෘතිය)


    එක්සත් රාජධානියේ අහමඩ් ටී සමාගම සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වය සහිතව මහරගම පිළිකා රෝහලේ වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා රජය විසින් ලබා දෙනු ලබන දායකත්වය තවදුරටත් වැඩි කිරීම මඟින් මෙම වාට්ටු සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් නිම කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ප්‍රදේශයේ පදිංචි ඉඩම් නොමැති ජනතාවට බෙදා දීම පිණිස ආනමඩුව තෙන්නන්කුරියාවවත්ත ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ආපසු භාර දීම

    ආනමඩුව ප්‍රාදේශීය ලේකම්ගේ අධික්ෂණය යටතේ ඉඩම් කච්චේරියක් පවත්වා තෝරා ගනු ලබන, ප්‍රදේශයේ ඉඩම් අහිමි ජනතාව අතර බෙදා දෙනු පිණිස හෙක්ටයාර 9.6ක් වන තෙන්නන්කුරියාවවත්ත ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත නැවත භාර දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නිල කාලය දීර්ඝ කරන ලද පළාත් පාලන ආයතනවල කටයුතු විධිමත් කිරීම


    නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන ගණනාවක නිල කාලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත හිමි වූ බලතල මත දීර්ඝ කරනු ලැබ ඇත. එකී පළාත් පාලන ආයතන අතුරින් ඇතැම් ආයතනවල නිල කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ අක්‍රමිකතා සිදු වන බවට පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වෙත පැමිණිලි ලැබීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂා කර බලා නිර්දේශ ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා‍ංශයේ ලේකම් සහ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් යන අයගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ පරිදි අවශ්‍ය පියවර ගැනීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත හා සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම

    ඉහත ආඥාපනත් වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කර ඒකාබද්ධ පනතක් ලෙස සකස් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ගනු ලැබ ඇති තීරණය පරිදි යෝජිත සංශෝධනද ඇතුළත් කර එකී පනත් දෙක ඒකාබද්ධ කොට නව පනත් කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    එසේම අයාලේ යන සුනඛයින් නිසා මහජනතාවට අත්විඳීමට සිදු වන ගැහැට හා සෞඛ්‍ය තර්ජනය පිළිබඳවද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන‍ ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට දැන්වීමට තීරණය කරන ලදී.

    16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීම - 2016 ඔක්තෝබර් 12 සහ 13


    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නියෝජිතායතනයක් වන ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රයේ (ITC) ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහන වනුයේ වාර්ෂිකව පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුවයි. එය ලොව පුරා සිටින ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ එකී ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රය ඒකාබද්ධව 16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුව 'සාර්ථකත්වය සඳහා වෙළඳාම: සම්බන්ධ වීම, තරග කිරීම, වෙනස් වීම' යන තේමාව යටතේ 2016 ඔක්තෝබර් මස 12 සහ 13 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇත. ජාත්‍යන්තර වෙළෙඳාම කෙරෙහි මෙරට තිබෙන විවෘතභාවය සහ ඒ ස‍ඳහා පවතින හිතකර ව්‍යාපාරික පරිසරය මතු කර පෙන්වීමට මෙම සමුළුව දායක වනු ඇත. ඒ අනුව ජාත්‍යන්තර වෙළඳ කේන්ද්‍රයේ මූල්‍ය දායකත්වයද සහිතව 2016 ලෝක අපනයන සංවර්ධන සමුළුවෙහි සත්කාරකත්වය ශ්‍රි ලංකාව විසින් දැරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රය සහ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නව ටයර් කට්ටල ප්‍රසම්පාදනය කිරීම

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය නව ටයර් කට්ටල ප්‍රසම්පාදනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි. මේ සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,108 ක් පමණ වැය වනු ඇත.

    ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ යෝජිත වෛද්‍ය පීඨය සඳහා ඉඩමක් මිල දී ගැනීම හා ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම


    1991 වසරේදී ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපනය කරන ලද වයඹ විශ්වවිද්‍යාලය දැනට අධ්‍යයන පීඨ 4කින් සමන්විත වේ. මෑතකදී ශීඝ්‍ර දියුණුවකට පත්ව ඇති කුරුණෑගල ජාතික රෝහල සම්බන්ධ කරගනිමින් වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය යටතේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම සඳහා තීරණය කරනු ලැබ ඇත. ඒ සඳහා ඉඩමක් මිල දි ගැනීමටත්, අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම සහ යටිතල පහසුකම් සැපයීම පිණිසත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

    දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු දිග කොටස වන පින්නදූව සිට ගොඩගම දක්වා කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි ප්‍රතිපාදන භාවිත කර නව ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක කිරීම


    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු දිග කොටස වන පින්නදූව සිට ගොඩගම දක්වා කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි ප්‍රතිපාදන රුපියල් බිලියන 1.93ක් භාවිත කර ප්‍රාදේශීය මාර්ග 11ක් පුනරුත්ථාපනය කිරීම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් රාජකාරි කටයුතු සඳහා මෝටර් රථ 04ක් මිල දි ගැනීම සහ එකී අධිවේගී මාර්ගයේ 114 කිලෝමීටරය ආසන්නයේ බෑවුම් බිඳවැටීම් ප්‍රතිසංස‍්කරණය කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සඳහා යෝජිත මහල් 17කින් සමන්විත ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු

    මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා 2000 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දි ඇති නමුත් විවිධ හේතූන් නිසා ඉදි කිරීම් කටයුතු ප්‍රමාද වී ඇත. 2014 වර්ෂයේදී ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා කොන්ක්‍රීට් කුලුනු සහිත පාදම ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. රුපියල් මිලියන 5,688.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදි.

    විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ රාජ්‍ය නිවේදිත නිලධාරින් සඳහා නවාතැන් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

    නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් කඳවුරට රාජකාරි හා සේවා අවශ්‍යතා සඳහා පැමිණෙන රාජ්‍ය නිලධාරින් සහ විශේෂ කාර්ය බලකා නිලධාරින්ගේ නවාතැන් පහසුකම් සඳහා දැනට පවතින වසර 40ක් පැරණි ගොඩනැඟිල්ල වෙනුවට නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 24.6ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 - 2019 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ පරිපාලන, නවාතැන් සහ වාහන නැවතුම් පහසුකම් ඉහළ නංවීම සඳහා මහල් 03කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම


     ප්‍රභූ ආරක්ෂාව සැලසීම, කැරලි මර්දන ක්‍රියාකාරකම් සිදු කිරීම සහ පාතාල ක්‍රියාකාරකම් මැඬලීම ඇතුළත්ව නීතිය හා සාමය රැකීම පිණිස ආරක්ෂිත ක්‍රියාන්විතයන්හි නිරත වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරින් සැලකිය යුතු ප්‍රමාණයක් දෛනික රාජකාරියෙහි නිරත වේ. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කඳවුරේ පරිපාලන, නවාතැන් හා වාහන නැවතුම් පහසුකම් ඉහළ නැංවීම සඳහා මහල් 03කින් යුත් ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 58.6ක පිරිවැයකින් ඉදි කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 - 2019 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ අංක 51 දරන ගොඩනැඟිල්ල තෙමහල් ගොඩනැඟිල්ලක් ලෙස ඉදි කිරීම


    යුද හමුදා බලඇණිවලට සමාන පුහුණුව, ප්‍රභූ ආරක්ෂක පුහුණුව, කැරලි මර්දන පුහුණුව, සෝදිසි හා බෝම්බ නිෂ්ක්‍රීය පුහුණුව ලබාදීම මෙන්ම දේශීය හා විදේශීය වශයෙන් ආරක්ෂක නිලධාරි කණ්ඩායම් පුහුණු කිරීම කටුකුරුන්ද ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධාන පුහුණු පාසල ආශ්‍රිතව සිදු කෙරේ. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම පුහුණු පාසලේ පිහිටි වසර 75 ක් පමණ පැරැණි නේවාසික ගොඩනැඟිලි ඉවත් කොට ඒ වෙනුවට පුහුණුව ලබන නිලධාරින් 300 දෙනකු සඳහා එකවර නේවාසික පහසුකම් සැලසිය හැකි තෙමහල් ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 88.2 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 - 2019 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.


    රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල වැටුප් සංශෝධනය - 2016

     

    රජයේ සේවකයින් සඳහා ඔවුන්ගේ මූලික වැටුපට අමතරව ලබා දුන් විශේෂ දීමනා සහ රුපියල් 10,000/-ක් වූ අන්තර් දීමනාව අදියර වශයෙන් මූලික වැටුපට එකතු කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය පරිදි අංක 03/2016 දරන 20160225 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කරන ලද අතර, ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරින්ගේ වැටුප් මේ වන විටත් සංශෝධනය කරනු ලැබ ඇත. ඊට සමගාමීව රාජ්‍ය සංස්ථා, ව්‍යාවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල මූලික වැටුප් සංශෝධනය කිරීම පිණිස ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි සකස් කරනු ලැබ ඇති චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන 2016 ක්‍රියාත්මක කිරීම


    ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හා ජීව‍නෝපාය වැඩිදියුණු කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ යැයි එම ප්‍රදේශවල ජනතාව විසින් තීරණය කරනු ලබන ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස ග්‍රාම නිලධාරි කොට්ඨාසයකට රුපියල් ලක්ෂ 10ක් බැගින් ලබා දීම සඳහා 2016 අයවැය මඟින් යෝජනා කරන ලදී. එම යෝජනාව පරිදි අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇත. ඒ අනුව ග්‍රාම සේවා කොට්ඨාසයක් සඳහා ග්‍රාමීය යටිතල සංවර්ධන වැඩසටහන් 2 ත් 5 ත් අතර ප්‍රමාණයක්, ග්‍රාමීය ප්‍රජා සංවිධානවල නායකයින් ඇතුළත් කමිටුවක් මඟින් හඳුනා ගත යුතු අතර ඒ යටතේ ප්‍රජා ජලසම්පාදන ව්‍යාපෘති, පානීය ජලය සැපයීම, කුඩා පරිමාණයේ විදුලි ජනන ව්‍යාපෘති, ග්‍රාමීය මාර්ග, පාලම්, බෝක්කු, සපත්තු පාලම් ආදිය ඉදි කිරීම හා වැඩිදියුණු කිරීම, ඇළ මාර්ග, අමුණු, වැව්, වගා ළිං යනාදි කෘෂිකාර්මික කටයුතුවලට අදාළ වන කුඩා පරිමාණ වාරිමාර්ග කටයුතු සහ ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු වේ. මෙම වැඩසටහන 2016 ඔක්තෝබර් මස 31 දින වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ තොරතුරු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.


    අමාත්‍යවරුන්ගේ විෂයපථයට අදාළ කටයුතු සිය ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමේදී පැන නැ‍ඟෙන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දීම

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් නියෝජනය කරන ප්‍රදේශවල පවතින ගැටලු නිරාකරණය කරගැනීම පිණිස අදාළ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සෑම මසකම පාර්ලිමේන්තුව රැස්වන දෙවන සතියේ අඟහරුවාදා දිනවල පස්වරු 2.00 සිට අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සිය එකඟතාව පළ කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya