අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.03.23

    මාර්තු 25, 2016

     2016.03.23 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය රස්වීමේදී ගනු ලැබූ තීරණ පහත සඳහන් පරිදි වේ.


    මාතර මහනගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි කසළ කළමනාකරණය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

     විධිමත් පරිදි කසළ බැහැර කෙරෙන ස්ථානයක් සහ ජීව වායුව උපයෝගි කරගෙන කසළ මඟින් විදුලිබලය ජනනය කෙරෙන කර්මාන්තශාලාවක් මාතර කොටවිල ප්‍රදේශයේ පිහිටුවීමේ ව්‍යාපෘතියක් 2015 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව සැලසුම් කර තිබිණි. 2015 දැයට කිරුළ ප්‍රදර්ශනය අවලංගු කිරීමත් සමඟ එම ව්‍යාපෘතියේ කටයුතු ඇණහිටින ලදී. ඒ අනුව, මාතර මහනගර සභාවට සහ මාතර ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල බරපතළ ගැටලුවක්ව පවතින කසළ බැහැර කිරීමේ ගැටලුව විසඳීම සඳහා දැනට තාවකාලිකව ඇණහිට තිබෙන එකී කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ සහාය ඇතිව කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, කුණ්ඩසාලේ-හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය සහ අලුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා දේශීය බැංකු වෙතින් අරමුදල් සම්පාදනය කිරීම

    පොල්ගහවෙල - පොතුහැර - අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, කුණ්ඩසාලේ-හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය සහ අලුත්ගම

    මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දේශීයව සපයා ගත යුතු අරමුදල් දේශීය බැංකුවකින් ලබාගැනීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'පිබිදෙමු පොලොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (2016 - 2020) යටතේ ක්‍රියාත්මක කෙ‍රෙන කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය

    - පොලොන්නරුව හා ඊට යාබද දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා ක්‍රියාවට නංවනු ලබන සංවර්ධන ව්‍යාපෘති ඇතුළත් 'පිබිදෙමු පොලොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (2016- 2020) පස් අවුරුදු සැලැස්ම යටතේ යෝජිත ප්‍ර‍මුඛ සහ අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස කුරුණෑගල සිට හබරණ හරහා දඹුල්ල දක්වා කිලෝ මීටර 80 ක දිගින් යුතු දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය හඳුනා ගනු ලැබ තිබේ. නැ‍ඟෙනහිර සහ උතුරු මැද පළාත්වල ජනතාව සඳහා ආරක්ෂාකාරී සහ ඉක්මන් ප්‍ර‍වාහන සේවාවක් සැපයීමත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දුම්රිය මාර්ග ජාලයට සම්බන්ධ කරගැනීම මඟින් ප්‍රාදේශීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමත් මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දායක වීමට චීන සමූහාණ්ඩුව එකඟ වී ඇති අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු කඩිනම් කිරීම පිණිස ව්‍යාපෘති කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට හා දුම්රිය මාර්ග පථය සඳහා හඳුනා ගෙන ඇති ඉඩම් පවරා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වන්දි පාරිතෝෂික දීමනා ගෙවීම - දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව

    දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ කරන ලද ආයතනවල සේවය කළ නිලධාරින් සඳහා ගෙවිය යුතු වන්දි සහ පාරිතෝෂික මුදල් අදියර වශයෙන් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම

    සමාගම් සංස්ථාපනය කිරීම, පරිපාලනය හා කළමනාකරණය, ඒකාබද්ධ කිරීම, ගණන් බේරා වසා දැමීම, සමාගම් ආරවුල් නිරාකරණය යනාදි කරුණු සම්බන්ධයෙන් 2007 අංක 07 දරන සමාගම් පනත මඟින් විධිවිධාන සැලසෙන අතර, දැනට මෙම පනත වසර 10 කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතියි. එම පනතෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම පිණිස පත් කර ඇති උපදේශක සභාව විසින් හා විගණකාධිපතිවරයා විසින් ඉහත පනතට කඩිනමින් සිදු කළ යුතු සංශෝධන කිහිපයක් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එකී යෝජිත සංශෝධනයන් ඇතුළත් කරමින් 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරිම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හොරණ නගර මධ්‍ය සංවර්ධන සැලැස්ම - හොරණ බස් නැවතුම්පළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර -II ක්‍රියාත්මක කිරීම

    - නාගරික සංවර්ධන අධිකාරිය විසින් හොරණ නගරය සඳහා සකස් කරනු ලැබ ඇති සංවර්ධන සැලැස්ම තුළින් යටිතල පහසුකම් ප්‍ර‍මාණවත් නොවීම, මාර්ග තදබදය හා අවිධිමත් ඉඩම් පරිහරණ යන ගැටලු මෙන්ම නගරයේ සංවර්ධනය සඳහා වන මූලික අවශ්‍යතාද හඳුනා ගනු ලැබ තිබේ. නගරයට පැමිණෙන සහ නගරයෙන් පිටවන බස් රථ සඳහා අවශ්‍ය නැවතුම් ඉඩකඩ සැපයීම හා නගරයට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස පවත්නා බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම නගරයේ මධ්‍ය ව්‍යාපාරික ප්‍රදේශය වැඩිදියුණු කිරීමෙහිලා අත්‍යවශ්‍ය වේ. මෙම බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතියෙහි අදියර I හි වැඩ කටයුතු දැනටමත් අවසන් කරනු ලැබ ඇති අතර, කුඩා කඩ කාමර, සනීපාරක්ෂක පහසුකම්, බස් මගී වේදිකා ඉදි කිරීම හා ප්‍රවේශ මාර්ගය සකස් කිරීම ඇතුළු හොරණ බස් නැවතුම්පළ සංවර්ධන ව්‍යාපෘතියෙහි අදියර II හි ඉදි කිරීම් කටයුතු රුපියල් මිලියන 182 ක වියදමකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යෝජිත සමාජ සුබසාධන මධ්‍යස්ථානය - මට්ටක්කුලිය

    කොළඹ උතුර නාගරික ප්‍රදේශයේ වෙසෙන අඩු වරප්‍ර‍සාදලත් සහ අඩු ආදායම්ලාභී ජන කොටස්වල දෛනික අවශ්‍යතාවන් සපුරාලීම මඟින් ඔවුන්ගේ ජන ජීවිතය යහපත් කිරීමේ අරමුණින් සමාජ සුබසාධන මධ්‍යස්ථානයක් මට්ටක්කුලිය ප්‍රදේශයේ ඉදි කිරීමට යොජනා වී ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ මහනගර සභාවේ සහයෝගයෙන් ඉදිකිරීමට යෝජිත ගොඩනැඟිල්ල තුළ ළමා හා මාතෘ සායන, සෞඛ්‍ය මධ්‍යස්ථාන, විද්‍යුත් චැනල සේවාව, පුස්තකාලයක්, ශරීර සුවතා ඒකකයක්, කැරම් හා චෙස් ක්‍රීඩා පහසුකම් සහ කාර්යාල පහසුකම් ඇති කෙරේ. ගොඩනැඟිල්ල ඉදි කිරීම වසරක් තුළ නිම කෙරෙන අතර ඉදි කිරීම් අවසානයේදී ගොඩනැඟිල්ලේ හිමිකාරීත්වය සහ කළමනාකරණය කොළඹ මහනගර සභාව වෙත පවරනු ලැබේ. රුපියල් මිලියන 250 ක වියදමින් යෝජිත මට්ටක්කුලිය සමාජ සුබසාධන මධ්‍යස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තිරසර කෘෂිකර්මය තුළින් දරිද්‍රතාව තුරන් කිරීමේ මධ්‍යස්ථානයේ වාර්ෂික දායක මුදල් ගෙවීම

     තිරසර කෘෂිකර්මය තුළින් දරිද්‍රතාව තුරන් කිරීමේ මධ්‍යස්ථානය (The Centre for Alleviation of Poverty through Sustainable Agriculture - CAPSA) එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කොමිසම මඟින් පාලනය වන ආයතනයක් වන අතර, ජීවනෝපාය සඳහා ප්‍රධාන වශයෙන් ද්විතීයික භෝග මත යැපෙන දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමිය ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා සාමාජික රටවල යෝග්‍ය ප්‍රතිපත්ති දිරිගැන්වීම සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා කෘෂිකර්මයට අදාළ සංවර්ධන හා පර්යේෂණ කටයුතු සිදු කිරීම එහි ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකාව මෙම මධ්‍යස්ථානයේ සාමාජිකයකු ලෙස රටෙහි කෘෂිකාර්මික සංවර්ධනයට අදාළ සේවාවන් ලබාගැනීම ඇතුළු විවිධ ප්‍රතිලාභ හිමි කර ගෙන ඇත. ඒ අනුව, එම මධ්‍යස්ථානයේ සාමාජිකයකු ලෙස ගෙවිය යුතු දායක මුදල් ඉදිරියටත් ගෙවීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත

    අනිවාර්ය සමථකරණය සඳහා යොමු කළ යුතු ආරවුල් සම්බන්ධයෙන් වන මූල්‍යමය වටිනාකම් සීමාව දැනට පවතින රුපියල් 250,000/- සිට රුපියල් 500,000/- දක්වා ඉහළ නැංවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දි ඇත. ඒ අනුව, ඒ සඳහා පිළියෙල කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ඉඩමක් මිල දී ගැනීම

    දැනට රුපියල් 630,000/-ක මාසික බදු මුදලකට බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ස්ථානගත කිරීම සඳහා රජය සතු ගොඩනැඟිල්ලක් ඉදි කිරීම ඵලදායී වන බැවින්, ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් බත්තරමුල්ල නව පාර්ලිමේන්තු පාරේ පිහිටි පර්චස් 40ක බිම් කොටසක් රුපියල් මිලියන 31.5ක මුදලකට මිල දී ගැනීම පිණිස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මධ්‍ය ආදායම්ලාභී නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ කඩිනම් වැඩසටහන

    සියලු දිස්ත්‍රික්කයන්හි නාගරිකව හා උපනාගරිකව වෙසෙන මැදි ආදායම්ලාභීන් උදෙසා නිවාස ලබා දීමේ පස් අවුරුදු වැඩසටහනක් පෞද්ගලික අංශයේ ද සහ‍යෝගය ඇතිව දියත් කර ඇති අතර, එම වැඩසටහන ඉදිරි පස් අවුරුදු කාලය තුළ ක්‍රියාත්මක වනු ඇත. එම වැඩසටහන කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහන් සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ගම් උදාව වැඩසටහන යළි ආරම්භ කිරීම

    දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙසෙන දිළිඳු හා අවවරප්‍රසාදිත ජනතාව වෙත ළඟා වී ඔවුන්ගේ ජීවිත හා ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා 1980 දශකයේදී සාර්ථකව දියත් කරන ලද 'ගම් උදාව' වැඩසටහන ජනතාවගේ භෞතික, මානසික, සමාජයීය හා අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා නිවහන මූලික වන්නේය යන මූලධර්මය මත පදනම්ව ක්‍රියාත්මක විය. කෙසේ වුවද, 1990 දශකයේ මැද භාගයේදී මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම නතර විය. මානව ජනාවාස සංවර්ධනය වටා ගොඩනැඟුණු මෙම ඒකාබද්ධ සංවර්ධන ප්‍රයත්නය හා ඊට අනුබද්ධිතව පැවැත්වූ ගම් උදාව ප්‍රදර්ශනය මෙම වසරේ සිට මැතිවරණ කොට්ඨාස කිහිපයක් ආවරණය කරමින් ප්‍රාදේශීය මට්ටමින් නැවත දියත් කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ගිණුම් බදු අනුකූලතා පනත (Foreign Account Tax Compliance Act) ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවා ආයතනය සමඟ අන්තර්-රාජ්‍ය ගිවිසුමකට ඇතුළත් වීම

    ඇ‍මෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ‍අන්‍යොන්‍ය පදනමින් බදු තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ඇ‍ෙමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවා ආයතනය සහ ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අන්තර්-රාජ්‍ය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඒරියල් බන්ඩල් සන්නායක සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම

    ලංකා විදුලිබල මණ්ඩලයෙහි බෙදා හැරීම් කලාප 1 සඳහා ඒරියල් බන්ඩල් සන්නායක (Aerial Bundled Conductors Alu - ABC) සැපයීම හා බෙදා හැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2016 මාර්තු මස 01 දින සිට මාස අටක (08)ක කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු හතරකට (04) එළඹීම

    පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි කාලීන කොන්ත්‍රාත්තු හතරක් ප්‍රදානය කිරීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ප්‍රවාහන සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ A 3 මාර්ගයේ ජා ඇල සිට හලාවත දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම

    ප්‍රවාහන සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ A 3 මාර්ගයේ ජා ඇල සිට හලාවත දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් මිලියන 90.5 කට සමාන විශේෂ හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර ණය මුදලක් (ආසන්න වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 126.7ක් පමණ) ලබාගැනීම පිණිස ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට හා එම ආයතනය සමඟ මූල්‍යමය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇ.එ.ජ.ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ණය ගිවිසුමකට එළඹෙන ලදී. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලකට යටත්ව වසර 10ක ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව නව ව්‍යාපාරයක් ඇරඹීමට හෝ පවත්නා ව්‍යාපාරයක් පුළුල් කිරීමට ලබා දෙනු ඇත. ඒ අනුව, එම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත්, සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ ණය ගිවිසුම්වලට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya