මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.05.19 - අමාත්‍ය මණ්ඩල තීරණ

    මැයි 19, 2014

    නේපාලයේ තිබුවාන් විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් අධ්‍යාපනික හුවමාරු හා සහයෝගිතා සම්බන්ධයෙන් නේපාලයේ තිබුවාන් විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    පරමාණු බල අධිකාරී විනාශකාරී නොවන පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානයෙන් විනාශකාරී නොවන පර්යේෂණ සේවා ලබා ගැනීම.

    විනාශකාරී නොවන පර්යේෂණ වනාහී ලෝහමය හා ලෝහමය නොවන (කොන්ක‍්‍රීට්) ආකෘතිය, එම ආකෘතිවලට හානියක් නොවන අන්දමින් භෞතික වශයෙන් පරීක්ෂණයට ලක් කිරීමේ ක‍්‍රමයට යම් කිසි ද්‍රව්‍යයක් දෝෂයන්ගෙන් තොරද යන්න බලා ගැනීම සඳහා මෙම ක‍්‍රමය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ දැඩි ලෙස භාවිත කරනු ලැබේ.

    මෙම ක‍්‍රමය කාර්මික භාණ්ඩවල තත්ත්ව සහතික ලබා ගැනීමට උපකාර වන අතර එ මගින් කාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමටද උපකාරී වේ. සියලූම රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා හා ස්ථාපිත මණ්ඩල විනාශකාරී නොවන පර්යේෂණ සහතික පරමාණු බල අධිකාරියේ විනාශකාරි පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානයේ සේවා ලබා ගත යුතුයැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    LLRC නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම වවුනියාවේ ගාමිණි විද්‍යාලය ජාතික පාසලක් වශයෙන් උසස් කිරීම සහ වවුනියාව බෝගස් වැව විද්‍යාලයේ යටිතල පහසුකම් ලබා දීම, වව්නියාව සහ මන්නාරම යන දිස්ත‍්‍රික්කවල අවතැන් වී ඇති ජනයා නැවත පදිංචි කරවීම කඩිනම් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම කටයුතු ක‍්‍රියාත්මක කෙරේ.

    වවුනියාවේ ගාමිණි විද්‍යාලය ජාතික පාසලක් වශයෙන් උසස් කිරීමටත්, වවුනියාව බෝගස් වැව විද්‍යාලය සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර එම විද්‍යාලයට අවශ්‍ය සියලූ මූලික පහසුකම් ලබා දීමටත්, වවුනියාව සහ මන්නාරම යන දිස්ත‍්‍රික්කවල අවතැන් වී ඇති ජනයා නැවත පදිංචි කර ඇති ජනතාවගේ දූ දරුවන් සඳහා වඩා හොඳ අධ්‍යාපන පහසුකම් ලබා දීමටත්, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා උපදේශක සභාවක් පිහිටුවීම

    විනයගරුක හා නීතිය පිළිපදින සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ප‍්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වන ප‍්‍රවීණතා දැනුම ලබා ගැනීම සඳහා නීතිය හා සාමය සඳහා උපදේශක සභාවක් පත් කිරීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස්, හෙපටයිසීස් බී සහ හිමොෆිල්ස්, ඉන්ෆ්ලූවන්සා වර්ග බී හි සංයුක්ත දියරමය බීපී, යූඑස්පී හෝ ඊපී, අයිපී හෝ ඩබ්එච් ඕ අයිපී මාත‍්‍රා 1,200,000 ක් මිලදී ගැනීම

    අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව මගින් නිර්දේශිත පරිදි මෙම ටෙන්ඩරය ඇමරිකානු ඩොලර් 2,340,000.00 යන මුදලකට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ශ‍්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ඉහළ ගුණාත්මකභාවයකින් යුත් අධි ශක්ති විකිරණ චිකිත්සක උපකරණ හා අදාළ යටිතල පහසුකම් සැපයීම සඳහා වූ ව්‍යාපෘතිය

    මධ්‍යම ඉංජිනේරු කාර්යාංශ උපදේශක මණ්ඩලය මගින් නිර්දේශිත පරිදි අධිශක්ති විකිරණ චිකිත්සක ආවරණ බංකර් පහත සඳහන් රෝහල් පහට ප‍්‍රමුඛතාව දී ඉදිකිරීමටත්, එම ටෙන්ඩරය ඇස්තමේන්තු ගත රු.1,103,061,593,.82 යන මුදලකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     ජාතික පිළිකා ආයතනය
     යාපනය ශික්ෂණ රෝහල
     කරාපිටිය ශික්ෂණ රෝහල
     මහනුවර ශික්ෂණ රෝහල    
     මඩකළපුව ශික්ෂණ රෝහල


    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන හා පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම

    අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ඉහත කී ව්‍යාපෘතිය සඳහා වූ ටෙන්ඩරය රු. 156,222,000.00 ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත‍්‍රය වැඩි දියුණු කිරීම සඳහා වන නව උපාධි පාඨමාලා හඳුන්වා දීමට අවශ්‍ය ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම - කැලණිය විශ්වවිද්‍යාලය

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන්ට ඇති ඉල්ලුම සපුරාලීම සඳහා විශ්වවිද්‍යාලයන්හි තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා ඊට අදාළ නව උපාධි පාඨමාලා සහ තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් උසස් අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීමේ කඩිනම් අවශ්‍යතාව රජය හඳුනා ගෙන ඇත.

    මෙම අවශ්‍යතාවට පිළියමක් වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණ අධ්‍යයන අංශය විසින් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය, තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය සහ කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය යන නව උපාධි පාඨමාලා තුනක් ආරම්භ කිරීමටත්, විවෘත මෘදුකාංග විසඳුම් හා නඩත්තුව සම්බන්ධයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහාත්, තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.    


    කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටංගල ප්‍රදේශයේ පිහිටුවීමට යෝජිත විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉදිකිරීම් කටයුතු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සපුගස්කන්දෙහි දැනට පිහිටි පුහුණු මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ලෙස නවීකරණය සහ වැඩිදියුණු කිරීමේ කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත පැවරීම.

    ඉහත සඳහන් ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් කටයුතු ලබාදීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්යා ඩලස් අලහප්පෙරුම මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    නිපුණතා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය මගින් දැනට ම ලබා දී ඇති මිලියන 53.7ක විශේෂ හැර ගැනුම් හිමිකම තවත් විශේෂ හැර ගැනුම් හිමිකම මිලියන 12.0කින් ඉහළ දැමීම.

    ශ‍්‍රී ලංකා රජය ද දායක වන නිපුණතා සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම සඳහා මිලියන 53.7ක (ඇ.ඩො. මිලියන 83) විශේෂ හැර ගැනුම් හිමිකම ලබාගැනීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමග කටයුතු කිරීම සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ජාත්‍යන්තර සංවර්ධන සමායතනය තවත් මිලියන 12.0ක විශේෂ හැර ගැනුම් හිමිකම ලබා දීමට එකඟ වී ඇති අතර ඒ අනුව මුළු දායකත්වය මිලියන 65.7ක් (ඇ.ඩො. මිලියන 101.5) බවට පත් වේ. මේ ණය මුදල වසර 5ක සහන කාලයක් සහිත ව වසර 25කින් ගෙවා නිම කළ යුතු අතර ණය මුදල සහ පොලී අනුපාත පහත දැක්වෙන පරිදි කොටස් දෙකකින් සමන්විත වේ.

    1) වි.ගැ.හි. මිලියන 51.6ක් සඳහා අදාළ වන වාර්ෂික පොලී අනුපාතය සියයට 1.25කි.
    2) වි.ගැ.හි. මිලියන 14.1ක් සඳහා අදාළ වන වාර්ෂික පොලී අනුපාතය සියයට 1.4කි.

    මේ ණය ගිවිසුම සම්බන්ධ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන

    ජපානයේ ප‍්‍රමුඛ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව සලසාදීම මගින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් ගේ හැකියා ගොඩ නැංවීම සඳහා වන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජපාන ආධාර ප්‍රදානය 2010 වසරේ දී ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදි. මේ යටතේ දැනටමත් නිලධාරීන් 60 දෙනෙකුට රාජ්‍ය මුදල්, රාජ්‍ය පරිපාලනය, ග‍්‍රාමීය සංවර්ධනය, හා සාර්ව හා සංවර්ධන ආර්ථිකයන් යන විෂය ක්ෂේත‍්‍රවල පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව ලැබී ඇත. ඉහත ශිෂ්‍යත්ව වැඩසටහන 2014 වසරේ දී ක‍්‍රියාත්මක කිරීමට ජපන් යෙන් මිලියන 215ක (රුපියල් මිලියන 245) ආධාර ප‍්‍රදානයක් සිදු කිරීමට ජපන් රජය එකඟ වී ඇත. අදාළ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    දේශීය බැංකුවල මූල්‍යාධාර යටතේ ප‍්‍රමූඛ මාර්ග පුනරුත්ථාපනය කිරීම

    පහත මාර්ග කොටස්වල පුනරුත්ථාපන හා වැඩි දියුණු කිරීමේ කටයුතු සඳහා මූල්‍යාධාර ලබාගනු පිණිස දේශීය බැංකු සමග ණය ගිවිසුම්වලට එළැඹීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

     

     පැරණි කොළඹ - ගාල්ල මාර්ගය (ඒ2) කි.මී. 17.50 සිට කි.මී. 25.20 දක්වා

     බිබිල - ඌරනිය - මහියංගණය මාර්ගය (බී 57) කි.මී. 0.00 සිට කි.මී. 10.00, හා කි.මී. 18.00 සිට කි.මී. 22.00 දක්වා

     මල්ලවපිටිය - රම්බොඩගල්ල - කැප්පෙටිපොළ මාර්ගය (බී 264) කි.මී. 0.00 සිට කි.මී. 15.75, හා කි.මී. 20.25 සිට කි.මී. 37.81 දක්වා

     ඇඹිලිපිටිය - මොරකැටිය - කිරිඉබ්බන්ආර - උඩමවුආර මාර්ගය (බී 549) කි.මී. 6.12 සිට කි.මී. 14.84 දක්වා

     වැලිගත්ත - බූන්දල - කිරින්ද මාර්ගය කි.මී. 0.00 සිට කි.මී. 19.20 දක්වා

     තංගල්ල - කදුරුපොකුණ - බෙලිඅත්ත - කදුරුපොකුණ - දේද්දුවාවල මාර්ගය කි.මී. 0.00 සිට කි.මී. 12.76 දක්වා

     

    PM/HC_CMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya