Print this page

උතුරේ සිංහල ජනතාව පදිංචි කර ඇති බවට ඇතැමුන් නඟන චෝදනා අසත්‍යයි

නොවැම්බර් 21, 2014

(දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) දෙමළ ජනතාවගෙන් 99%කට ඔප්පු ලබා දී තිබෙන බවත් උතුරේ සිංහල ජනතාව පදිංචි කර ඇති බවට ඇතැමුන් නඟන චෝදනා අසත්‍ය බවත් නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.


නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ 153, 286, 288 හා 327 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

ඉඩම් අමාත්‍යාංශය මඟින් විශාල සේවයක් ඉටුකරනවා. ඉඩම් අයිතිය ඇති විශාල පිරිසක් විදේශගතව සිටිනවා. කාලාවරෝධ පනත ක්‍රියාත්මක වුනොත් ඒ අයගේ ඉඩම් අයිතිය අහිමි වෙනවා. ඒ නිසා කාලාවරෝධ පනතට අපි විරුද්ධ වුණා. කිසිවකුට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා යැයි ඔහු කීය.

කිලිනොච්චියේ පවුල් 20,000කට ඔප්පු ලබා දුන්නා. එය අගය කළ යුතුයි. යුද්ධය අවසන් වීමත් සමඟ ග්‍රාම සේවා වසම් 25ක ජනතාව නැවත පදිංචි කරවූවා. අපගේ පළාතේ ඉඩම් ආරවුල් විසඳීමට කටයුතු කරන ලෙසත් ඔහු පෙන්වා දුන්නේය.

NDH/HC