අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැය විවාදයේ දී විපක්ෂයේ වගකීම වන්නේ ඒ සම්බන්ධව සාධනීය ව සම්බන්ධවීමයි

    නොවැම්බර් 14, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) අය-වැය විවාදයේ දී විපක්ෂයේ වගකීම වන්නේ ඒ සම්බන්ධව සාධනීය ව සම්බන්ධවීම වුවද පිළිතුරු දෙන වෙලාවට විපක්ෂයේ මන්ත්‍රීරුන්ට ඒගැන දැනගැනීමට අවශ්‍යතාවක් නැහැයි කියන්නේ හුදෙක් ම මඩ ගැසීම සහ හුදෙක් ම කරුණු නොමැතිව නිකං පුවත්පතක නැතිනම් තවත් නාලිකාවක තමන්ගේ කතාව ගෙනියන වැඩපිළිවෙළ අරමුණු කර ගෙන කතා කරන බව යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවෙනි දින විවාදයට එක්වෙමිනි.

     

    අද පස්වරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ 122, 210 හා 211 වැය ශීර්ෂයන් විවාදයට ගැනුණි.


    අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. “මාධ්‍ය නිදහස ගැන කතා කරනවා, රයිට් ටු ඉන්ෆෝර්මේෂන් නැතිනම් තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන කතා කරනවා, පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින්, කරුණු කාරණා විකෘති කරමින්, සත්‍යයෙන් තොර, කිසිම සාධකයන් නොමැති ව අතර ඉදිරිපත් වෙනවා.

     

    ඒ විවේචනය කිරීමත් මාධ්‍යයේ එක අංශයක් හැටියටයි අපි සලකන්නේ. කරුණු කාරණ තිබ්බත් නැතත් අඩු ම වශයෙන් ඒ විවේචනය කරන ගරු මන්ත්‍රීවරු ඒ සඳහා ඉදිරිපත් කරන කරුණු කාරණා දැනගැනීමට - රයිට් ටු ඉන්ෆොර්මේෂන් කියලා කතා කරනවා නම් මේ සභාවේ සිටීම ඉතා වැදගත් වෙනවා. එක පැත්තකින් කතාවක් කරලා ඉතාමත් ම විවේචනාත්මක ලෙස කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරමින්, අඩුපාඩු ගණනාවක් ඉදිරිපත් කරමින්, එක් එක් ආයතනවල පත් වීම් සම්බන්ධව කතා කරමින් එක එක ආයතනවල තියෙන යම් යම් අක්‍රමිකතා ගැන කතා කරමින් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් ඔවුන් ඒ මිනිත්තු 10 - 15 ගත කරලා, ඊට පිළිතරු කතාව කරන කොට මෙතැනින් බැහැර යනවා. මෙතෙන්දිම  රයිට් ටු ඉන්ෆෝර්මේෂන් කියන එක එහෙම නැතිනම් තොරතුරු ලබා ගැනීම කියන එක යම්කිසි විදියකට කප්පාදුත් වෙනවා. ඔබතුමාලා පාර්ලිමේන්තුව පාවිච්චි කරන්නේ ඒ වරප්‍රසාදවලට මුවා වෙලා කාට හරි මඩ ගහන්න, තොරතුරු රහිත ව ප්‍රචාරයක් ලබාගන්න නම් මං හිතනවා මූලික අරමුණ පිළිබඳ ව නැවත වරක් හිතන්න වෙනවා. මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා එවැනි කටයුතු කරනවා නම් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට බැරි නම්, පාර්ලිමේන්තුව තුළ ඒ ආකාරයට කටයුතු කරන්නට බැරිනම් මං හිතනවා අපි මේ හිස් පුටුවලට කතා කරන එකෙන් පැහැදිලි වෙන්නේ තමන් දරන මතය තමන්ට සනාථ කරන්නට තහවුරු කරන්නට බැරි සහ ඒ වෙනුවෙන් වරප්‍රසාද පාවිච්චි කරමින් ආවරණයක් ලබාගන්නට ගන්නා උත්සහයක් හැටියටයි මම දකින්නේ. මං ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා.

     

    විවාදය ආරම්භ කළේ ගයන්ත කරණාරත්න මන්ත්‍රීතුමා, ඔබතුමා දන්නවා අය-වැය විවාදයේ දී විපක්ෂයේ වගකීම වන්නේ ඒ සම්බන්ධව සාධනීය ව සම්බන්ධවීම. ඒ අඩුපාඩු ව ගැන මම ඔබතුමාට කියන්නේ අපි පිළිතුරු දෙන වෙලාවට ඒවට අවශ්‍යතාවක් නැහැයි කියන්නේ හුදෙක් ම මඩ ගැසීම සහ හුදෙක් ම කරුණු නොමැතිව නිකං පුවත්පතක නැතිනම් තවත් නාලිකාවක තමන්ගේ කතාව ගෙනියන වැඩපිළිවෙළ අරමුණු කර ගෙනයි -  දැන් කතා කරපු කථිකයෙක් කිව්වා යූ ටූබ් එකට දාගන්නයි මගේ වුවමනාව කියලා. මං ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා, අනාගත බලාපොරොත්තු ඇති ව ඉන්න ඔබ තුමාට ඒ සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාගෙන් ම මම ආරම්භ කරනවා.

     

    විශේෂයෙන් ම මම මෙතැන නොහිටියේ  - තුන් හතර පාරක් කතා කරලා තියෙනවා මාධ්‍ය ඇමතිවරයා නැහැයි කියලා. මම ඒ ගැන මූලාසනයට කනගාටුව ප්‍රකාශ කරන අතර ම- අපි දැකපු සිහිනයක්, මේ රට දැකපු සිහිනයක්, සැබෑ කරන මොහොතක, සැමදාම සිහින සිහින විදියට තබන්නේ නැතුව එය යථාර්ථයක් බවට පත් කරන්නට ගිය ප්‍රධානම වැඩ පිළිවෙළක් කොළඹ - නුවර අධිවේගී මාර්ගය. අද ආරම්භ කරනවා. මුල්ගල් තබනවා. අප ආරම්භ කරපු සෑම වැඩපිළිවෙළක් ම ඉලක්ක කරගත්ත කාලය හෝ ඊට පෙර අවසාන කරන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මම අද මෙය අවස්ථාව කරගන්නවා ඒ අපි දැකපු සිහිනය, මධ්‍යම කඳුකරයේ ජනතාව දැකපු සිහිනය, පළාත් පහක් පමණ ඒකට ආවරණය වෙනවා, කොළඹ නුවර අධිවේගී මාර්ගය අද ඒකට විශේෂත්වයක් තියෙනවා අද ඒක දීර්ඝ කරනවා කොළඹ - නුවර - උතුරු අධිවේගී මාර්ගය ලෙස. මීට අවුරුදු පහකට ඉස්සෙල්ලා උතුරු අධිවේගී මාර්ගයක් ගැන කතා කරන්නට තිබ්බේ නැහැ. බිමින් තියා උඩින්වත් යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අද ඒ අධිවේගී මාර්ගය ක්‍රියාත්මක වෙනවා බිලියන 500ක පමණ මුදලක් මේ වෙනුවෙන් වැය වෙනවා අවුරුදු හතරක් ඇතුළත පළමුවැනි අදියර අවසාන කරන්නට බලාපොරොත්තු වෙනවා. එයට සහභාගී වීමට අවශ්‍ය නිසා. ගලගෙදර, සෙංකඩ දොරටුව විවෘත කිරීමට පමණයි මම හිටියේ.

     

    ඔබතුමාගේ කතාවේ දී සඳහන් කළා රට රකින නිල් පවුර සම්බන්ධව මුද්‍රණ දෙපාර්තමේන්තුවට ගෙවීම් කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ගෙවීම් කරලා තියෙනවා කියලා. මම සභාගත කරනවා. මේ සම්බන්ධව මිලියන 2.59ක බිලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙවලා තියෙනවා. මේක ඉතා වැදගත්. මොක ද පළවැනි වතාවට දෙපාර්තමේන්තුවට දේශපාලන පක්ෂයක් සල්ලි ගෙවනවා. මේ අවස්ථාව තියෙනවා. මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාණිජ මුද්‍රණ අංශයෙන් සියලුම දේශපාලන පක්ෂවලට සහ අනෙකුත් ඕනම ආයතනයකට මුද්‍රණය කර ගන්න ඉඩකඩ තියෙනවා. (ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාට) ඔබතුමා මාධ්‍ය ගැන දැඩි උනන්දුවක් දක්වන නිසා ම ඔබතුමාගේ මාධ්‍ය කටයුතුත් ඔබතුමාගේ පක්ෂයෙත් කරන්න පුළුවන්. අපිට වට්ටමක් එහෙම දෙන්න පුළුවන් නම් ඒකත් අපි සලකලා බලන්නම්. ඒ ගැන කිසි ම ගැටලුවක් නැහැ. ඒ අයිතිවාසිකම තියෙනවා. මීට පෙර මේ ආයතන, රාජ්‍ය මාධ්‍ය ආයතන පාවිච්චි කරමින් දේශපාලනය කරපු අවස්ථාවන් එමට තියෙනවා. මට සඳහන් කරන්න පුළුවන්. හැබැයි එකක් කරපු වරදට තවත් වරදක් කරනවයි කියන ප්‍රතිපත්තියේ මම නොහිටින නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ. මේ සෑම දේකට ම අපි මුදල් ගෙවනවා. පළවැනි ගෙවීම කරලා තියෙනවා. තවත් ගෙවීම් කිහිපයක් කරන්න තියෙනවා. අපි ඒක ගෙවනවා. පහසුකමක් හැටියට ඔබතුමාට වුණත් ඒක ලබාගන්න පුළුවන්. කාලයක් දෙනවා ගෙවීම් කරන්න. පසුගිය කාලේ එහෙම පැහැර හැරලා තියෙනවා නම් ඒකට නීත්‍යනුකූලව පියවර ගන්න පසුබට වෙන්නේ නැහැ.  

     

    රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා මෙතන නොහිටියත් එතුමා කතාකළා චැනල් ෆෝ ආයතනය සම්බන්ධව. විදේශවලින් කරන බලපෑම්වලට අපි ක්‍රියාත්මක වෙන්නේ නෑ. එතුමාට සදාචාරාත්මක අයිතියක් නැහැ. චැනල් ෆෝ ආයතනයේ මැක් රේ මෙහෙට ආපු වෙලාවේ චොගම් සම්මන්ත්‍රණය වෙනුවෙන් පැමිණි අවස්ථාවේ එජාප මූලස්ථානයටයි එතුමාව අරන් ගියේ. ඒ නිසා ඒ වෙනුවෙන් පෙනී සිටියේ කවුද කියන එක රටම පැහැදිලි ව දන්නවා. ඔවුන්ගේ ක්‍රියාකලාපය සහ ප්‍රධාන විපක්ෂය වන එජාපය හැසිරෙන ආකාරය සහ ඒ ඩයස්පෝරාව කියන කතා සම්බන්ධව අපි කාලය නාස්ති කළ යුතු නැහැ. ඔබතුමා හොඳටම දන්නවා ඔවුන් මොන ආකාරයෙන් ද ඒවා හසුරුවන්නේ කියලා. මේ ර‍ටේ යුදමය තත්ත්වය අවසාන වෙයි කියලා හිතුවේ නැහැ. අවසාන වුණාට පස්සෙත් ඒ වෙනුවෙන් මේ රටේ ජීවිතය පුද කරපු රණ විරුවන් වෙනුවෙන් යුද අපරාධ ගැන කතා කරන කොට ඒ යුද අපරාධ හරහා හෝ බලයට එන්න උත්සාහ කරන්නේ කවුද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. මම ඔබතුමාව ආමන්ත්‍රණය කරන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි වෙන කෙනෙක් නැති නිසා. හර්ෂ මන්ත්‍රීතුමා ඉන්නවා. මේ ප්‍රශ්න අහපු කිසි ම කෙනෙක් මෙතන නැහැ. මම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අපට හිතෙන්නෙත් නැහැ. අපි බැඳීත් නැහැ. මොක ද ප්‍රශ්න අහපු පුද්ගලයා - විශේෂයෙන් අර රයිට් ටු ඉන්ෆොමේෂන් කියන එක බොහොම වැදගත්, මේක ම තමයි රයිට් ටු ඉන්ෆොමේෂන් එකට වෙලා තියෙන්නේ.

     

    කරූ ජයසූරිය තමුන්නාන්සේලාගේ නියෝජ්‍ය නායක, උප නායක, අනුනායක සියලු දෙනාම කතා කළා. කතා කරලා අපෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නැතුව, ඒකට අවස්ථාවක් නොදී මෙතනින් යනවා. එතකොට රයිට් ටු ඉන්ෆොමේෂන් එතනම කැඩිලා. ඒක වැඩක් නැහැ. මේ රටේ සියලුම ඉන්ෆොමේෂන් මං හිතන්නේ සති අන්තයේ පුවත්පත් ටික ගත්තොත් රයිට් ටු ඉන්ෆොමේෂන් කියලා දෙයක් නැහැ. ඔය කියන මාධ්‍ය නිදහස සැබවින්ම පෙන්නන කැඩපතක් විදියට මේ කියන පුවත්පත් පෙන්වන්න පුළුවන්. රටේ පුවත්පත් සඟරා තියෙනවා 185කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. මේ රටේ රූපවාහිනී නාලිකා තියෙනවා 20ක්. ගුවන්විදුලි තියෙනවා 48  -  50ක් විතර. මෙයින් රජය සතු ව තියෙනවා රූපවාහිනී නාලිකා දෙකක්. රේඩියෝ චැනල් 2ක් තියනවා. ලේක් හවුස් ආයතනය තියෙනවා මුද්‍රිත මාධ්‍ය ලෙස. ඔච්චර තමයි තියෙන්නේ. අනිත් සියල්ල මේ කතා කරපු බොහෝ දෙනෙක් කතා කරපු ඒවායේ පසුබිමට හා හරයට වඩා මේ අය කල්පනා කරන්නේ අද ගිහිල්ලා එක්කෝ අර අන් එඩිටඩ් ඒ අවශ්‍යතාව කොහොමද ඉෂ්ට කරගන්නේ කියලා. ඔවුන්ගේ අරමුණ සැබවින් ම කොතැනද තියෙන්නේ කියලා පේනවා. නිවැරදි මාර්ගයකට මේ අමාත්‍යංශය ගෙනියන්න කියලා, සාකච්ඡා වන අමාත්‍යංශය හසුරුවන්න කියන එක නෙමෙයි අවංක අදහස.


    මෙතන හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා විශාල විවෙචනයක් කළා. එතුමාට පිළිතුරු දෙන්න මට අවස්ථාවක් නැහැ. ඒ ගැන මම කනගාටු වෙනවා. මම එතුමාට අභියෝගයක් දුන්නා. එතුමා ඒ අභියෝගය භාරගත්තා නම් හොඳයි. ඒත් එක්කම එතුමා සඳහන් කළා මුද්‍රණ දෙපාර්තමේන්තුවේ 6 දෙනෙක් ඉන්දැද්දි 6 වෙනි එක්කෙනාව වැඩබලන මුද්‍රණාලයාධිපති ලෙස පත්කරලා තියෙනවා කියලා. මේක විශාල වරදක් හැටියටයි සඳහන් කළේ. සේවා ව්‍යවස්ථාවේ ආයතන 11ක් නම් කරලා තියෙනවා. පශ්චාත් උපාධියක් අත්‍යවශ්‍යයි ප්‍රධානියෙක් වෙන්න. එතන හිටපු කිසි කෙනෙකුට ඒක නැහැ. තිබ්බ එක ම පුද්ගලයාට තමයි වැඩ බලන්න දීලා තියෙන්නේ. ඒත් එක්කම රාජ්‍ය සේවා කොමිසමෙන් දීලා තියෙනවා අවුරුදු 4ක කාලයක් ඒ සුදුසුකම සම්පූර්ණ කරගන්න. එහෙම කර ගත්ත කවුරුත් ඇත්තෙත් නැහැ. නීත්‍යනුකූලව නිවැරදි තීන්දුවක් අරගෙන කටයුතු කරලා තියෙන්නේ. එතුමන්ලට උත්තර දීලා වැඩකුත් නැහැ. ඒ නිලධාරියාට අසාධාරණයක් වෙන නිසා තමයි මං මේ ටිකත් කියන්නේ.

     

    ඔබතුමා කතාකළා (ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට) මාධ්‍ය වේදීන් තෝරාබේරා ගෙන තමයි ලැප්ටොප් බෙදලා දුන්නේ. ඒක ඒ තරම් සුදුසු නැහැ කියලා. ලැප්ටොප් ලබාදීමේ දී අපි ගත්තේ එක ම එක ප්‍රතිපත්ති තීරණයයි. මේ ලැප්ටොප් එක දෙක අපි බෙදන්න යන්නේ නැහැ. අපි ආයතනවලට වෙන් කළා. මාධ්‍ය ආයතනවලට දෙන්නේ 20ක් ද 30ක් ද 40ක් ද කියා අපි තීන්දු කළා. ඒක බෙදාහදා ගැනීම ඒ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට හෝ ප්‍රධානීන්ට තමයි භාර කළේ. අපි ඒ වගකීම භාරගත්තේ නැහැ. පාර්ලිමේන්තුවේ කතානායකතුමාගෙන් ඉල්ලීමක් තිබ්බා. අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය අපි භාරදුන්නේ ගරු කතානායකතුමාටයි. කිහිපදෙනෙකුට ලබාගන්න බැරි වෙන්න ඇති. පුළුවන් කමක් තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ දී ඒ වෙනුවෙන් කටයුතු කරන්න. එවැනි අසාධාරණයක් ඒ හරහා වෙන්නේ නැහැයි කියන එක පැහැදිලිව ම සඳහන් කරන්නට ඕන.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya