Print this page

නිලධාරීන්ට ඔවුන් කැමති දේශපාලන මතයක් දරන්න අයිතියක් තිබෙනවා

නොවැම්බර් 13, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) අපේ ආයතනවල වැඩ කරන නිලධාරීන්ට ඔවුන් කැමති දේශපාලන මතයක් දරන්න අයිතියක් තිබෙන බවත් එය වරදක් ලෙස දකින්නේ නැති අතර මොන දේශපාලන මතය දැරුවත් එම නිලධාරීන් විශේෂ වැඩ කොටසක් කරනවා යැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ නවවෙනි දින විවාදයට එක්වෙමිනි.

අද පස්වරු 1.00 සිට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ 123, 309 සිට 311 දක්වා වැය ශීර්ෂයන් විවාදයට ගත් අතර එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්විණි.

ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ සිටින පුහුණු, නුපුහුණු සේවකයින්ට සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. අද වනවිට පුහුණු ශිල්පීන් ලබාගැනීමට ආයතන දැඩි තරග කරනවා. ඒ හේතුවෙන් සේවකයින්ට ඉහළ වරප්‍රසාද රැසක් හිමි ව තිබෙනවා. අද මෙම විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විෂයයට අදාළ දේ වෙනුවට ඇමැතිවරයාට මඩ ගසමින් වෙනස් මතයක් ගෙන යන්න උත්සාහ දැරුවා. මේ අය ඇමැතිවරයා ගෙන යන වැඩපිළිවෙළට බයයි. ඒ නිසයි මඩ ගසා හෝ සත්‍ය වසන් කරන්න උත්සාහ කළේ යැයි ඔහු කීය.

රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ ලබා දුන් නිවාස ණය එකතු කරන බව සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රකාශ කළා. එය සම්පූර්ණ බොරුවක්. ආහාර මුද්දරලාභීන්ගෙන් කිසිදිනෙක යළි ණය එකතු කර නැහැ. එක් යුගයක නිවාස විසිපන් ලක්ෂයක් හැදුවා කියලා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කිව්වා. මම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් 1971 සිට මේ දක්වා ඇති නිවාස සංගණනයන් ගෙන්වා ගත්තා. එය සැලකිල්ලට ගැනීමේදී එජාප පාලන කාලයේ හදලා තියෙන්නේ නිවාස නව ලක්ෂයකට ආසන්න ගණනක් පමණයි. මෙයින්ම  අවබෝධ වෙනවා විපක්ෂය ජනතාවට බොරු බේගල් කියනවා යැයි ද ඔහු පැවසීය.
NDH/HC