Print this page

රටට ගෙනෙන සෑම පොහොර වර්ගයක් ම අවස්ථා තුනකදී පරීක්ෂා කරනවා

නොවැම්බර් 11, 2014

බාල පොහොර ගෙනවිත් බෙදා හැර නැති අතර අවශ්‍ය රසායනාගාර පිහිටුවා තිබෙන බවත් රටට ගෙනෙන සෑම පොහොර වර්ගයක් ම අවස්ථා තුනකදී පරීක්ෂා කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

අද පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනිණි.

විපක්ෂය පිළිතුරු දීමට තරම් යමක් ඉදිරිපත් කළේ නැහැ. වී වගා කරන භූමිය හෙක්ටයාර් 98,000ක් දක්වා වැඩි කිරීමට හැකිවීමෙන් වාර්තාගත අස්වැන්නක් ලබා ගත හැකි වුණා. සහලින් අපේ අපේක්ෂාවන් ඉටු කර ගත්තා. සංචාරකයන් සඳහා අවශ්‍ය සහල් හැර වෙනත් සහල් ගෙන්වන්නේ නැහැ. කෘෂි කර්මාන්තය පාලනය කරන්නේ ස්වභාවධර්මයයි. ඊට අපට විරුද්ධවන්ට බැහැ. නියඟය නිසා බඩඉරිඟු වගාවට හානි වූ නිසා ඒවා ගෙන්වීමට ඉඩ දුන්නේ කුකුළු ගොවිපොළ රැකගැනීමටයි.

පොහොර ටෙන්ඩරය පිළිබඳ ව පැමිණිලි ලැබූ වහාම ගත යුතු පියවර ගත්තා. කෘෂිකර්මය සඳහා වෙන් කර ඇති මුදල අඩු වී ඇත්තේ ජනතාව රසායනික පොහොර භාවිතය අඩු කර ඇති නිසයි. වෙළෙඳපොළේ පොහොර මිලත් අඩු වෙලා. කාබනික පොහොර භාවිතය වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. රසායනික පොහොර පසට උරා ගැනීමට ඇති හැකියාව නැහැ. අපේ පස මැරිලා. අධි භාවිතය ඊට හේතුවයි. නැවත පුනරුත්ථාපනය කිරීමට කාබනික පොහොර භාවිත කළ යුතුයි. රසායනික පොහොර දැමිය යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට යැයි ද ඔහු සඳහන් කළේය.

NDH/HC