Print this page

මොන අභියෝග ආවත් බලාගාර ඉදිකිරීමේ හැකියාව තිබුණේ ජනපතිටයි

නොවැම්බර් 07, 2014

මොන අභියෝග ආවත් ඉහළ කොත්මලේ බලාගාරය ඇති කිරීමේ හැකියාවත් නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේ හැකියාවත් තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


අමාත්‍යතුමිය මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ 119 වැනි වැය ශීර්ෂයත් සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ 115 වැනි වැය ශීර්ෂයත් අද පස්වරුවේ විවාදයට ගැනිණි.

ගල්අඟුරු බලාගාරයක් යනු කාර්මික තාක්ෂණ ක්‍රියාවලියක්. රන්දෙනිගල බලාගාරය 58 වතාවක් කැඩුණා. කොත්මලේ බලාගාරය පළමු වසර දෙකේදී මාස ගණනාවක් වසන්නට සිදු වුණා. එජාප කාලේදී ජලවිදුලි බලාගාර විවෘත කරාලු. නමුත් ඒ සියලු බලාගාරවල ධාරිතාවට වඩා නොරොච්චෝලේ බලාගාරයේ ධාරිතාව වැඩියි. ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදු වී ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනවා. මගේ අමාත්‍යාංශයේ අවංක නිලධාරීන්ට මඩ ගහන්න එපා. සාම්පූර් බලාගාරයට ගිවිසුම් ගැහුවේ 2006දී. ඒක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්. මෙතන ඉදිරිපත් කළ චෝදනා බොහොමයක් පදනම් විරහිතයි. නීත්‍යනුකූල නොවන කිසිදු කටයුත්තක් විදුලිබල අමාත්‍යාංශයේ හෝ මණ්ඩලයේ සිදු වන්නේ නැති බව ඇය අවධාරණය කළාය.

ටෙන්ඩර්වල වරදක් තිබෙනවා නම් කියන්න. විදුලිබල අමාත්‍යාංශයේ සිදු වී ඇති සියලු ටෙන්ඩර් කටයුතු විනිවිදභාවයෙන් සිදු ව තිබෙනවා. මේ වසර අවසන් වන විට දිවයිනේ සියලු දෙනාට ම විදුලිය ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා යැයි  පැවසුවාය.

NDH/HC