Print this page

පාර්ලිමේන්තුව මාස තුනකට වරක් රැස් වුණොත් හොඳයි - අගමැති

ඔක්තෝබර් 29, 2014

අද එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයකු මේ ආසනවල නැති බවත් පාර්ලිමේන්තුව රැස්වන එකෙන් විපක්ෂය වැඩක් ගන්නේ නැතිනම් පාර්ලිමේන්තුව මාස තුනකට වරක් රැස් වුණොත් හොඳයි කියා මා යෝජනා  කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.


අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

මේ අය-වැය ආණ්ඩුවට විතරක් අයිති එකක් නොවේ. විරුද්ධ පක්ෂයටත් ආණ්ඩුවට වගේ ම අය-වැය ඉතා වැදගත්. විපක්ෂයත් ආණ්ඩුවේ අපිත් සියලු දෙනාම සේවය කරන්නේ ජනතාවටයි. ජනතාවට පහසුකම් ලබාදීමට අයවැය මඟින් කටයුතු කරන විට විපක්ෂයත් එහි වගකීමක් ගත යුතුයි. එහෙම නැතුව අයවැය විවාදවලට සහභාගි නො වී වේදිකාවල්වල විවේචන විතරක් කළාට ජනතාවට ඇති වන සෙතක් නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයකු මේ ආසනවල නැහැ. පාර්ලිමේන්තුව පවත්වන දිනයකට රුපියල් කෝටි ගණනක් වැය කරනවා. මේ පාර්ලිමේන්තුව රැස්වන එකෙන් විපක්ෂය වැඩක් ගන්නේ නැතිනම් පාර්ලිමේන්තුව මාස තුනකට වරක් රැස් වුණොත් හොඳයි කියා මා යෝජනා  කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.

මේ රටේ පැවැත්වෙන මැතිවරණ දිහා බලාගෙන සහන දෙනවා කියන කාරණය විපක්ෂයේ මෝඩ කතාවක් විතරයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය  ලබාදෙන ලෝකයේ තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. දියුණුයි කියන රටවල මේ වගේ නිදහස් අධ්‍යාපනයක් හෝ සෞඛ්‍යයක් නැහැ. සෞඛ්‍ය, අධ්‍යපනය ශක්තිමත් කිරීමට අපි ක්‍රියාකර තිබෙනවා. මෙවර අය-වැයෙන් මේ ක්ෂේත්‍ර දියුණු කිරීමට පියවර ගත්තා. විදේශ රැකියාවන්හි යෙදෙන අයට විශ්‍රාම වැටුප් ලබාදීමටත්, මහපොළ වැඩිකිරීමටත් මෙවර අය-වැයෙන් කටයුතු කර තිබෙනවා. 

කොළඹ නාගරය අලංකාර කිරීමට වත්මන් රජය පියවර ගත්තා. කොළඹ පැල්පත්වාසීන් දැන් නැහැ. ඔවුන්ට පහසුකම් සහිත අංග සම්පූර්ණ තට්ටු නිවාස ලබා දුන්නා. ඒ අයගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට කටයුතු කළා. විපක්ෂය හැමදාම ඔවුන්ව පෙන්නලා මැතිවරණ වාසි ලබා ගත්තා. අද ඔවුන්ට එම සටන් පාඨය නැතිවෙලා. ලෝක ආර්ථිකය තුළ චීනයෙන් පසුව ආර්ථික වේගයක් තිබෙන රට ලංකාවයි. මේ තත්ත්වයට එන්න ආණ්ඩුව ගෙන යන ආර්ථික ප්‍රතිපත්ති ඉවහල් වුණා. එය නිවැරැදි බව අද පෙනෙනවා. විධායක ජනාධිපති ක්‍රමය මේ රටට අවශ්‍යයි. දශක තුනක් පැවැති යුද්ධය නිමා කිරීමට හැකි වුණේ ඒ නිසයි. අද වන විට රටවල් 11ක ත්‍රස්තවාදී යුද්ධ පවතිනවා. එයින් දහස් ගණනක් මිනිසුන් මිය යනවා. ඒ බියෙන් අපිව මුදා ගත්තේ ජනාධිපතිතුමායි. ඒ නිසා මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.

ඊයේ රාත්‍රියේ කොස්ලන්ද ප්‍රදේශයේ සිදු වූ නාය යෑම පිළිබඳ ව තමා කනගාටු වන බවත් එම සිද්ධියට අදාළ සියලුදෙනාට අවශ්‍ය සහන ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

NDH/HC